Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ නැවතත් කරළියට

1337354661-sri-lanka-victory-day-parade-rehearsal_1221247

Image Credit:www.demotix.com

අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින් මෙරට බෞද්ධයා ගැන ලෝකය පුරා වැරදි මත යවනවා” යන ශීර්ය යටතේ පළවු එම පුවතින් දක්වා සිටියේ ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා. වසර 30 ක් තිස්සේ වැරදි මත වෙනස් කිරීමට වැදගත් වෙනවා. අද තරුණ පරපුර බුදු දහම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනනවා. බුදුදහම ඉගෙනුමට ජනතාව පෙළඹිලා තියෙනවා’ යන්නයි.

මෙහි, මෙම ‘අපේ බෞද්ධයා‘ ගැන ලෝකය පුරා වැරදි මත යවනවා. වෙබ් අඩවි හරහා මේ දේවල් සිදුවෙනවා.‘ ප්‍රකාශය ගැන වඩා වැඩි අවධානයක් යොමුකිරීම වටී. එසේ වන්නේ එය මේ මොහොත් ඒ තරම්ව වැදගත් නිසාය.

මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පදනම් විය හැකි යැයි සිතිය හැක්කේ, පසුගිය දා චන්ඩි භික්ෂුන් විසින් විවිධ ආයතනයන්ට ගල් ගැසීම් සහ සාමකාමී විරෝධතාකරැවන්ට වෛරී සහගත ලෙස බැන වැදි පොලීසිය සමග එක්වී ඔවුන්ව එළවා දැමීම වැනි සිදුවීම් පිළිබද, සිදු වුනු දේ එළෙසින්ම එවේලේම වෙබ් අඩවි ගණනාවක් වීඩියෝ පට ද සමග ප්‍රචාරය කිරීම විය හැකිය.

ඇත්ත, දැන් මේවා බැලීමේ දී ඔහු කියන ලෙස ‘අපේ බෞද්ධයා‘ ගැන ‍ලෝකයා කුමක් සිතනු ඇති ද? ලංකාවේ ඔය කියන අපේ බෞද්ධයා අශිලාචාර ගති ඇති, ප්‍රචණ්ඩ භික්ෂුවකැයි ඕනෑම ශිෂ්ඨ සමාජයක් සිතනු ඇති. ප්‍රචණ්ඩ පිරිසක් සමග ගොස් වෛරී සහගත ලෙස බැණ වැදී ගල් ගැසීමේ වීඩියෝ පට නැරඹීමේදී ඕනෑම අයෙක් එසේ සිනු ඇති. රෑ දෙගොඩහරියේ අරක්කු බීලා, කිසිදු ලැයිසන් එකක් නැතිව, මහපාරේ කාර් එකක ගමන් කරමින්, වාහනවලද සිය කාරය හප්පා, නොනවත්වා ධාවනය කරමින් පසුව අධිකරණයෙන් වැරදිකරැ ලෙස පිළිගනිමින් හැසැරැනු භික්ෂුන් දෙසන බණත් කරන වැඩ ගැනත් ශිෂ්ඨ සමාජය කෙසේ සිතනු ඇති ද?

එබැවින් එසේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ‘අපේ බෞද්ධයා‘ගේ ඒ නොමනා ක්‍රියාකාරකම්වලට දඩුවම් ඒ ‘අපේ බෞද්ධයා‘ විදිය යුතු නොවේ. ඒ ප්‍රචණ්ඩ හැසිරීම්, අබෞද්ධ හැසිරීම්, වෛරීසහගත හැසීරීම් සත්‍ය ලෙසම ප්‍රචාරය කරන රාජපක්ෂලාගේ හුරතල්ලු නොවන වෙබ් අඩවි විදිය යුතුය. එබැවින් වැරදි කරන්නා නොව, එම වැරැද්ද ශිෂ්ඨ සමාජයට නොහොබිනා බැවින් එය තවත් ඉදිරියට සිදු නොවීය යුතු යැයි කල්පනා කරමින් ඒවා පිළිබදව විවේචනය කරන මාධ්‍ය වැරදිය.(එබැවි එයින් හැගෙන්නේ ප්‍රසිද්ධියේම ගල් ගසන වීඩියෝ පටය බොරැ බව?, බීලා, කාරය හප්පලා අධිකරණයෙන් වැරදි කරැ වී නැතිද? සාමකාමී විරෝධතාකරැවන්ට වෛරීසහගත ලෙස බැන වැදුනේ නැතිද?)

වරද තිබෙන තැන හොදින් දැන දැනත් මෙවන් ප්‍රකාශකරන නිළධාරීන් සිටින රටක ජනයාට කියන්නට ඇත්තේ දෙයියන්ගේම පිහිටයි යනුවෙනි.

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘

මෙයින් පැහැදිලිවන කරැණ නම් රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ ය. මේ වන විට මුද්‍රිත සහ විද්‍යුත් නාලිකා ඉතා සම්පූර්ණයෙන්ම වාගේ රාජපක්ෂ සහ රාජපක්ෂ හිතවතුන්ගේ හුරතල්ලු වන විට රාජපක්ෂලාට බොහෝ විට පාලනය කළ නොහැකි එකම මාධ්‍ය වෙබ් අඩවිය. ඒත් ඒවා මර්ධනයටත්, තමන්ගේ යටත්වැසියන් බවට පත්කර ගැනීම සදහාත් පසුගිය කාලය පුරාම දත කෑවේය. නීති්‍යානුකූළ නොවන ලෙස වෙබ් අඩවි ලියාපදිංචි කරමින් ඒවා තමන්ගේ පාලනයට නතු කර ගැනීමට උත්සහ කළේය. වේබ අඩවි ලංකාව තුළ අවහිර කරමින් අනියමින් තර්ජනය කළේය. ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් පසුගිය සතියේ ද ‘ගොසිප් ලංකා නිවුස්’ හා ‘ගොසිප් ලංකා’ යන වෙබ් අඩවියක් අවහිර කළේය.

මෙසේ වෙබ් අඩවි අවහිර කිරීම මූළික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් මූළික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සිදු වූයේ කිසිදු හේතුවක් නොදක්වා අධිකරණය විසින් එම මූළික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කිරීම නිසා එම ක්‍රියාවලිය නතර කර දමන්නටය. එයින් නිරාවරණය වූයේ ආණ්ඩුවේ මෙම වෙබ් භීතිකාවට අනියමින් සහය වෙමින්, පුරවැසියාගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට තිබෙන අවසාන තැනත් සොදාපාලුවට ලක්ව ඇති බවය. මේ තත්ත්වය නිසා විනාශ වී යන්නේ මහජනතාවගේ තොරතුරැ දැනගැනීමේ අයිතියයි. තොරතුරැ දැන ගැනීමේ අයිතිය ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අත්‍යවශ්‍යම කරැණකි. බොහෝ මාධ්‍ය රාජපක්ෂ හුරතලුන් වී ඇති මොහොතේ යම් හො සාධනීය සාකච්ඡාවන් මෙන්ම, සත්‍ය දැනගැනීමට තිබූ වෙබ් අවකාශය නැවත වරක් මර්දනය කිරීමට ‘අපේ බෙෘද්ධකම‘ නමින් කරළියට එමින් තිබේ. මේ සිදුකරන අදහස් වලින් වෙබ් අවකාශයේ තිබෙන සාධනීය තත්ත්වය මර්දනය කිරීමට දැන් අලුත් වටයකින් පාලකයන් සූදානම් වෙමින් තිබේ. එබැවින් ලංකාවේ මේ ගමන නැවත වරක් අපට මතක් කර දෙන්නේ ඉඩී අමින් වැනි පාලන ක්‍රමවේදයක් වෙත නොවේ ද?