Image courtesy : BBC World Service

ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා ය.

දකුණු ආසියානු කලාපයේ කාන්තා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිතයම කැප කල සුනිලා අබේසේකර නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධිධාරිණියකි.

විශේෂයෙන්, මානව හිමිකම් ආරක්ෂා කිරීමට කළ මහගු මෙහෙය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1999 වසරේදී සම්මානයෙන් පුද ලද සුනිලා, විශේෂයෙන් එම සම්මානය සුනිලා වෙත පිරිණමන ලද්දේ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ව සිටි කොෆී අන්නන් මහතා විසිනි. එම සම්මානය මානව හිමිකම් ක්ෂෙත්‍රය වෙනුවෙන් ලාංකිකයෙකු ලැබූ ඉහලම සම්මානය ද විය.

1952 වසරේ උපත ලද සුනිලා අබේසේකර ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වූ චාල්ස් අබේසේකර මහතාගේ දියණියක් වූ අතර විශිෂ්ඨ ගායන කුසලතාවයක් හිමි සුනිලා රංගන ශිල්පිණියක වශයෙන් වෙදිකාවේද කටයුතු කළා ය. බඹරු ඇවිත් සිනමා පටයේ ‘හඳුනාගත්තොත් ඔබ මා’ ගීතය ගායනා කිරීමෙන් රසිකයන් අතර අමතක නොවන සළකුණක් තැබීමට සුනිලා සමත් විය.

රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක පුරෝගාමී මෙහෙවරක් කල සුනිලා විශේෂයෙන් මානව හිමිකම් සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබදව සමුගන්නා තෙක්ම දැඩි කැපවීමෙන් කටයුතු කළා ය.

මානව හිමිකම් වෙනුවෙන් ජාතිකවත්, ජාත්‍යන්තරවත් හඩ නැගීම නිසා රාජපක්ෂ ආණ්ඩුවේ වෛරයට බදුන් වුවත්, සුනිලා සිය හෘද සාක්ෂියට එකගව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් වූ සිය අරගලය නොනවත්වා කරගෙන ගියේ රාජපක්ෂ රෙජීමයට ද අභියෝගයන් එල්ල කරමිනි. එපමණක් ද නොව, පසුගිය කාලයේ දී විශේෂයෙන් යුද්ධයෙන් පීඩිත මිනිසුන්, ගැහැණුන් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සුනිලා සුවහසක් මිනිසුන්ගේ සැබෑම සහෝදරියක් වූවාය. එබැවින්, එවන් සහෝදරියකගේ නික්ම යෑම අද දවසේ ද යුක්තිය සහ නිදහස වෙනුවෙන් අරගල කරන මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හදවත් කම්පාකරනු නොඅනුමානය.

හෙමින් සැරේ පියා විදා… ඔබ..දැන් අප හැර ගොස්ය..ඔබ නොමැති අඩුව යුක්තිය සහ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු සහෘදයින්ට ගැඹුරැ ලෙසින් දැනෙනු ඇත.

අපෙන් සමුගත් සුනිලා අබේසේකර සහෝදරිය, ඔබට අපේ ගෞරවය!

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පළා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගේය පද රචනය: ධර්මසේන පතිරාජ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර