[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්]

‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එය නොවැරදීම හමු වෙනු ඇත’’
– චම්පික රණවක (‘නේෂන්‘ පුවත්පත -29.9.2013)

බරපතල මතභේදයට තුඩුදුන් අළුත් නීතියක් රාජපක්ෂලා 2011 දී හඳුන්වා දුනි: එනම්, නාගරික සහ ග‍්‍රාම සැලසුම් (සංශෝධිත) කෙටුම්පතයි. ‘පූජා බිම් පනත’ වශයෙන් පොදුවේ හැඳින්වුණු මෙම අපේක්ෂිත නීතිය යටතේ, ඕනෑම තැනක පිහිටි ඉඩමක්, ‘ආරක්ෂිත ප‍්‍රදේශයක්’, ‘සංරක්ෂණ ප‍්‍රදේශයක්’, ‘ගෘහ නිර්මාණ/ඓතිහාසික ප‍්‍රදේශයක්’ හෝ ‘පූජණීය ප‍්‍රදේශයක්’ සේ නම් කොට අත්පත් කර ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යවරයාට බලය පැවරුණි.

2011 දෙසැම්බර් 2 වැනි දා, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්, සියලූ පළාත් සභාවල අනුමැතියකින් තොරව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවට තීන්දු කළහ. හේතුව, ඉඩම් යනු, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා සතු විෂයයක් වූ බැවිනි. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ආණ්ඩුව මේ කෙටුම්පත ඉල්ලා අස්කර ගත්තේය.

එයින් වසරක් ගියේ නැත. අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව දණ්ඩනීය දෝෂාභියෝගයක් ගෙනාවේය. එයින් මාස කිහිපයක් තුළ ඇය පස්සේ පන්නාගොස් ඇයව එලවා දැමූ ආණ්ඩුව, රාජපක්ෂ හෙංචයියෙකුව අධිකරණයේ ඉහළම පුටුවේ වාඩි කෙරෙව්වේය.

ගිය සතියේ මේ අවනීතික අගවිනිසුරුවරයා ස්වකීය රූකඩ හාම්පුතුන් කෙරෙහි තමා තුළ ඇති පක්ෂපාතීත්වය ඔප්පු කරමින්, ඉහත කී ඉඩම් බලතල පළාත් සභා සතු විෂයයක් නොවන බවට තීන්දු කෙළේය. ඒ පෙරලිකාරී තීන්දුව, දෙමළ අයිතීන්ට පමණක් නොව, සකල ශ‍්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතීන්ට සහ නිදහසට වැදුණු මරු පහරකි. උදාහරණයක් වශයෙන්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ඕනෑම ප‍්‍රජාවකගේ ඉඩමක් ආණ්ඩුවට පවරා ගත හැකි ඉහත කී ‘පූජා බිම් පනත’ නීතිගත කර ගැනීමට දැන් ආණ්ඩුවට පිළිවන් වන්නේය.

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප‍්‍රතිඵලය ගැන රාජපක්ෂ සහෝදරයන් විසප්පු වී සිටින බව රහසක් නොවේ. උතුරේ ඡන්දය, පවුල් සන්තකයට සකල බලය පවරා ගැනීමේ රාජපක්ෂ ප‍්‍රයත්නයන්ට එරෙහිව ඇති අභියෝගයක් වශයෙන් පමණක් නොව, තමන්ට සිදු වූ පෞද්ගලික මදිපුංචි කමක් වශයෙන් ද රාජපක්ෂවරු සළකති. උතුරට පටවන ‘සංවර්ධන’ වැඩපිලිවෙල ඇතුළත් ‘උතුරු වසන්තය’, පෞද්ගලිකවම මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ ය. එසේ තිබියදී, දෙමළ ජනතාව තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය පාවිච්චි කරමින්, රාජපක්ෂ සහෝදරයන්ව අවමානයට පත්කොට තිබේ. රාජපක්ෂලා තමන්ට එරෙහිව එන කිසි ‘කෙණහිලිකමකට’ සමාව දෙන ජාතියක් නොවේ. එය, සරත් පොන්සේකා සහ ශිරානී බණ්ඩාරනායක හරහා මොනවට ඔප්පු කෙරුණි. ඩයස්පෝරා දෙමළ විරෝධතා මධ්‍යයේ රාජපක්ෂගේ දෙවැනි ‘ඔක්ස්ෆෝර්ඞ් දේශනය’ අවලංගු කිරීමට සිදුවූ අවස්ථාවේ, ඔහු ප‍්‍රතිචාර පෑවේ, ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමේ නියෝග පැනවීමෙනි.

පොදුවේ ලාංකිකයන් කෙරෙහි ද, විශේෂයෙන් දෙමළ ජාතිය කෙරෙහි ද රාජපක්ෂලා දක්වන ආකල්පය සමාන වන්නේ, යටත් ජාතීන් කෙරෙහි යටත්විජිත පාලකයන් දැක්වූ ආකල්පයටයි. ස්වදේශීයයන්ව පාලනය කොට, උන්ට උගන්වා, උන්ට මග පෙන්වා, උන්ගේම යහපත වෙනුවෙන් දඩුවම් ද කළ යුතු බව කීමට එදා යටත්විජිත පාලකයෝ අභිරුචියක් දැක්වූහ. ‘රාජපක්ෂ-සම්මජ්ජාති ලන්තයේ’ ජනතාව ද, රාජපක්ෂලා විසින් සළකනු ලබන්නේ සදාකාලික අඳබාලයන් සහ ස්වකීය ඕනෑඑපාකම් වටහාගත නොහැකි, පහසුවෙන් රැවටෙන සදාකාලික මුග්ධයන් වශයෙනි. ඉතිං, ඔවුන්වත් පාලනය කළ යුතුය. ඔවුන් නොමග යන විට දඩුවම් කළ යුතුය.

මේ රාජපක්ෂ ලෝක දැක්මට අනුව, තමන්ගෙන් පිටස්තර වෙන කිසි අදහසක් (විසම්මුතිය) අව්‍යාජ නැත. වැලිවේරියේ දී මෙන් සිංහලයන් විසම්මුතික වීමේ දී, එය සැළකෙනු ලැබෙන්නේ රුදුරු විදේශිකයන් විසින් දූෂණය කරනු ලැබීමෙන් ඇති කරන ලද ප‍්‍රතිවිපාකයක් වශයෙනි. දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව විසම්මුතික වීමේ දී එය සැළකෙනු ලැබෙන්නේ, ඔවුන්ගේ ජන්ම කුප්ප කමක් වශයෙනි. හේතුව, උන් උපතින්ම ‘අන්‍ය වාර්ගිකාගමික’ වීමයි.

උතුරේ දෙමළුන් නැවතත්(පළාත් සභා මැතිවරණයේ දී) අයාලේ ගොස් තිබේ. උන්ට පාඩමක් ඉගැන්විය යුතුය. ඒ නිසා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුනුබහන් නෛතිකව ඉරා දැමිය යුතුය. ඒ සඳහා වරකට එක් අධිකරණ විනිශ්චයක් වශයෙන් ගෙන, සිංහල ජාතිවාදය සහ දෙමළ විරෝධී භීතිකාව කිතිකවා, ආණ්ඩුවේ ක‍්‍රෑර පියවරවලට එරෙහිව නැගී සිටිය හැකි උතුරු-දකුණු සන්ධානයක් වෙතොත්, එය කුඩු කර දැමිය යුතු වන්නේය.

දෙමළ ජාතික සන්ධාන නායකත්වය යටතේ පවතින උතුරු පළාත් සභාව, දකුණේ විපක්ෂ බලවේගවලින් ඉවත් කොට තබා ගැනීමේ කාර්ය භාරය පැවරී ඇත්තේ ආණ්ඩුව ඇතුළේම සිටින අන්තවාදීන්ටයි. උතුරේ මැතිවරණ තීන්දුව, බෙදුම්වාදයක් සඳහා වන ජයග‍්‍රහණයක් වශයෙන් හුවාදක්වා, දෙමළ ජාතික සන්ධානය කොටි සංවිධානය සමග සම කරමින්, උතුරු පළාත් සභාවට එරෙහිව කෙරෙන දේශපාලනික සහ නෛතික ප‍්‍රහාරයන් දේශපේ‍්‍රමී පියවර වශයෙන් භෞතීස්ම කළ යුතු බවට ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.

චම්පික රණවකට අනුව, ‘යුද්ධයෙන් ලද ජයග‍්‍රහණය(මේ මැතිවරණය මගින්) දේශපාලනිකව පරාජය කොට ඇති තතු යටතේ’ දෙමළ ජාතික සන්ධානයේ උතුරු ජයග‍්‍රහණය, ‘බිහිසුණු ප‍්‍රතිඵල ලඟා කර දිය හැකි’ වන්නේය. විමල් වීරවංශගේ වලිගයක් යැයි කියන ‘රාවණා බලය’, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් දියත් කරන බවට තර්ජනය කරයි. සිහිනුවණ ඇති, සංවේදී සහෝදරයෙකැ යි කියන බැසිල් රාජපක්ෂ ද මේ ජාතිවාදී නඩයට එක් විය: ‘නැවත වරක් තරුණයන් අතට අවි නොදෙන්නැ යි උතුරේ දෙමළ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටි’ ඔහු, මේ ගැන ‘දකුණේ වැසියන් ඇස ගසාගෙන සිටිය යුතු’ බවත්, ‘එසේ නොවුණහොත්, භීම සමයක් නැවත උදා විය හැකි බවත්’ මතක් කර දුනි.

ආණ්ඩුව වැඩ කරන්නේ ලාංකිකයන්ගේ අවශ්‍යතා පෙරදැරිව නම්, අඩු වශයෙන් සිංහලයන්ගේවත් අවශ්‍යතා පෙරදැරිව නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට නැවත එක් වීමට දෙමළ දේශපාලනයට ඉඩ හරිනු ඇත. 13 වැනි සංශෝධනයට අත නොතබනු ඇත. දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභාවට ඔවුන්ගේ ආණ්ඩුකරණයේ ගැටළු-උදාහරණයක් වශයෙන්, දෙමළ සහ තමිල්නාඩු ධීවරයන් අතර තිබෙන ගැටුම්-වැනි ප‍්‍රශ්න විසඳා ගැනීමට ඉඩ හරිනු ඇත.

එහෙත් රාජපක්ෂලා හැසිරෙන්නේ, කොටි සංවිධානය මෙන්ම, ජාතික හෝ ජනතා අවශ්‍යතාවන්ගෙන් පේ‍්‍රරණය ලැබ නොවේ. සියල්ල තමන් සතු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය කරයි. සකල බලය තමන්ගේ ඔඩොක්කුවේ සදාතනිකව තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය කරයි. එනිසා දෙමළාගේ පැත්තෙන් ප‍්‍රකෝපකාරී තල්ලූවක් ලැබේ ය යන අපේක්ෂාවෙන්, උතුරු පළාත් සභාව කඩාකප්පල් කිරීමට සහ ඊට පහර දීමට ආණ්ඩුව මාන බලනු ඇත. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට අභියෝග කරතොත්, ‘නැවත වතාවක් දෙමළ ප‍්‍රජාවට සහ එහි අනාගත පරම්පරාවට නන්දිකාදල් කලපුව පැත්තට දුවන්නට සිදුවනු ඇතැ’ යි වහසිබස් දොඩන චම්පික රණවක, කළු ජුලියේ අතීතයත් රටට මතක් කර දෙන්නේ එබැවිනි.

ජාතිවාදී ගිනි ඇවිළවීමෙන් තොරව, සිංහල-බෞද්ධයන්ගේ එකම විමුක්තිදායකයන් වශයෙන් රාජපක්ෂලා කෙසේ නම් වැජඹෙන්න ද?

මධ්‍යස්ථවාදීන්ගේ සන්ධානයක්

උතුරේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රීයව ප‍්‍රකාශයට පත්කළ අභිමතය කෙළසීමට සහ උතුරු පළාත් සභාව කඩාකප්පල් කිරීමට නිකුත් කෙරෙන ප‍්‍රථම රාජපක්ෂවාදී දේශපාලන-නෛතික ඔල්වර හඩ, මේ අධිකරණ තීන්දුවයි.

2013 තිබෙන දෙමළ ජාතික සන්ධානය, 1977 තිබූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නොවේ. 1977 දී මේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වෙනම රාජ්‍යයක් සඳහා ජනතා වරමක් දෙමළ ජනතාවගෙන් විවෘතවම ඉල්ලූවේය. 2013 දී දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ නැත. එය ලැබූ විශිෂ්ඨ ජයග‍්‍රහණය වූ කලී, වෙනම රාජ්‍යයක් සඳහා නොව, එම පළාතේ ස්වයං-පාලනයක් සඳහා දෙමළ ජනතාව ලබා දුන් වරමකි.

මේ වැදගත් වෙනස වටහා ගැනීමට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් මෙන්ම, දෙමළ ඩයස්පෝරාවේ දැඩි මතධාරීන් ද අසමත් ය. එම අන්තවාදී දෙපාර්ශ්වයම සිතන්නේ මෙය වෙනම රාජ්‍යයක් සඳහා දුන් කැමැත්තක් වශයෙනි. දෙමළ ජාතික සන්ධානය මගින් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශනය තුළත්, ජයග‍්‍රහණයෙන් පසුව නිකුත් කළ ප‍්‍රකාශනයන් තුළත් බෙදුම්වාදය ප‍්‍රතික්ෂේප කොට තිබීම එම බිහිරන්ට ඇසෙන්නේම නැත.

රාජපක්ෂලා බලන්නේ, අතීතයේ කොටි සංවිධානයේ ක‍්‍රියාකාරකම් සිහියට නංවන, අතිධාවනකාරී මාර්ගයකට දෙමළ ජාතික සන්ධානයත් තල්ලූ කිරීමටයි. එම පක්ෂය කොටි සංවිධානයේ චින්තයෙන් නිදහස්ව නැති බවට, දිල්ලි නුවර සහ වෙනත් තැන්වල බිය රෝපණය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයි. එම පක්ෂය, කොටි හිතවාදී ඩයස්පෝරා කොටස් මගින් නටවනු ලබන බවක් ඉන්දියාවට සහ ලෝකයාට ඒත්තු ගැන්විය හැකි නම්, උතුරු පළාත් සභාව දේශපාලනිකව සහ නෛතිකව නට්ටං කිරීමේ ජාත්‍යන්තර අවසරපත රාජපක්ෂලාට දිනාගත හැකි වනු ඇත.

දෙමළ ජාතික සන්ධානය දේශපාලනික මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක දිගටම රැුඳී සිටිමින් දකුණේ විපක්ෂය සමග වැඩ කළ යුත්තේ එබැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණය අළුතෙන් දෙන ලද විනිශ්චය, බලතල බෙදාහැරීමේ ප‍්‍රතිපත්තියට සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් අනතුරකි. ඒ මගින්, දෙමළ සහ මුස්ලිම් ජනයා පමණක් නොව, සිංහලයාවත් රාජපක්ෂලාගේ කෑදරකමට බිළි ගනු ඇත. ඊට දෙමළ ජාතික සන්ධානය/දෙමළ ජනතාව පමණක් නොව, සමස්ත විපක්ෂයමත්, රාජපක්ෂලාට සහාය පාන මොළේ කළඳක් ඇති සෑම සිංහලයෙකුමත් විරෝධය දැක්විය යුත්තකි.

‘දේශපේ‍්‍රමී පෙරමුණක’ පිහිටා රාජපක්ෂලා අභිබවා යාමට තැතනීමෙන් දේශපාලනික වශයෙන් හෝ මැතිවරණමය වශයෙන් දකුණේ විපක්ෂයට දිනාගත හැකි කිසිවක් ඇත්තේ නැත. ජනතා විමුක්ති පෙරමුණ සහ චම්පික රණවක/විමල් වීරවංශලාට මේ පළාත් සභා මැතිවරණයේ දී අත්වූ අප‍්‍රසන්න ඉරණම දෙස බැලීමෙන් එය වටහාගත හැකිය. ජාතිවාදී අවකාශය රාජපක්ෂලා එක කටට ගිලගෙන සිටිති. ඒ නිසා, ඕනෑම නුවණැති විපක්ෂයක්, ස්වකීය දේශපාලනික අදාළත්වය සෙවිය යුත්තේ වෙනත් තැනකයි. දෙමළ ජාතික සන්ධානයේ ජයග‍්‍රහණය ගැන ජෙනරාල් සරත් පොන්සේකා කළ ප‍්‍රකාශය තුළින් එම කාරණය ඔහු වටහාගෙන ඇති බව පෙනේ: ‘‘දෙමළ ජාතික සන්ධානයේ ජයග‍්‍රහණය ගැන කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ.. ඒකෙන් බෙදුම්වාදෙකට පාර කැපෙන්නේ නැහැ.. බෙදුම්වාදී බිල්ලාව අනවශ්‍ය විදිහට දකුණේ ජනතාවගේ සිත්වලට ගිල්ලන්න හදන්නේ, තමන්ගේ පැවැත්ම සඳහා ජාතිවාදය වැළඳගන්න දකුණේ දේශපාලන පක්ෂ..’’

රටටත්, විපක්ෂයටත්, උතුරු-දකුණු-නැගෙනහිර සමගියක් අවශ්‍ය කොට තිබේ. ගින්නෙන් දැවෙන අළුත් නරකාදියක් බිහි කිරීමේ රාජපක්ෂලාගේ සැලස්ම සාර්ථකව ව්‍යර්ථ කළ හැක්කේ, මධ්‍යස්ථ කොටස්වල එක්සත් විපක්ෂ සන්ධානයකින් පමණි.

තිසරණී ගුණසේකර | Thisarane Gunasekara

පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්