Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images

CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා ලැබ සිටි දේශපාලඥයන්ට එරෙහිව නැවත නඩු විමසීම් මේ දිනවල හදිසියේම කැඳවනු ලැබීය. එම සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මේ ගැන ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරවනු ලැබීය. එම අවධියේම ත්‍රිකුණාමල සිසුන් පස් දෙනා ඝාතනය පිළිබඳ යටගොස් තිබූ නඩුවද නැවත විභාග කිරීම ඇරඹිණ. ඒ සම්බන්ධයෙන් සෙබළුන් ගණනාවකට එරෙහිව චෝදනා ලැබුණි.

මේ සිදු වන්නේ මූනිච්ඡාවට කරන හුදු මවාපෑමක් බව තතු දන්නා අයට නම් අරුමයක් නොවීය. නමුත් CHOGM අහවර වී සති දෙකක් යාමටත් පෙර තමන්ගේ සහකාර චෞරයන් රාජපක්ෂ රෙජීමය විසින් සුපුරුදු වැයික්කියට නැවත මුදා හරීවි යැයි කියා බොහෝ දෙනෙකු නොසිතීය. නමුත් එය දැන් සිදුව හමාරය.

‘ඩේවිඩ් කැමරන්ට හොඳ පාඩමක්’ ඉගැන්වීමට මේ බලු රෑණ නැවත දඩයමට මුදා හරින්නේ ලාංකීය ජනයාගේ සුභාශිංසනය මැදයි. කූඩුවලින් එලියට එන ඔවුන්ගේ මුව පුරා ඇති සමච්චල් සිනාව නැත්නම් ඔවුන්ගේම භාෂාවට අනුව ‘කිංඩි හිනාව’ ඔවුන් මෙසේ විහිදුවන්නේ කැමරන්ට කිංඩියට බව සිතා ගන්නා ඔබ(ලාංකීය ජනයා), නොදන්නා ( නොදන්නවා නොව නොදන්නා බව තමන්ටම සපථ කර ගන්නා) ‘ඕකට හොඳ වැඩේ’ ‘ අධිරාජ්‍යවාදීන් පර බල්ලන්’ ‘එල්ටීටීඊ ඔත්තුකාරයන්’ ‘ නැත්නම් පර සුද්දට අපි දුන්න බැටේ’ කියමින් දෑත් පිරිමදිමින් සිනාසෙනු ඇත. ඒත් මහත්වරුනි මේ බලු රෑන් දඩයම් කරන දඩබිම වන්නේ ලංකා පොළොවයි. එහි විවිද වැයික්කිවල සරණා මෙවැනි බලු රෑන් හුරතල්කරන මහින්දගේ රාජපක්ෂ පැලැන්තිය මෙහෙයවන මෙම බලු රෑන්වලට කැමරුන්ට එරෙහිව කළ හැකි කෙන්ගෙඩියක් නැත. මෙම බලු රෑන්වල දඩයම් වන්නේ ඔබලාමය. එනිසා මොවුන්ගේ මේ වියරු ‘කිංඩි හිනාව’ ඔවුන් යොමු කර ඇත්තේ ඔබලා වෙතමය.

ඒ ඇයි කියා ඔබ මොහොතක් හිතනවානම් ඔවුන් ඔබට මේ ගරහන්නේ ඔබගේම කරමතම නැග බව ඔබට පෙණෙනු ඇත. මෙවැනි රස්තියාදුකාර බලු රෑන්වලට තම මනාපය දීම තුලින් ඔබගේම නායකයන් ලෙස මොවුන් පාර්ලිමේන්තුවලට යවනු ලබන්නේ ඔබලාම මිස සුදු අධිරාජ්‍යවාදීන් හෝ එල්ටීටීඊ කාරයින් විසින් නොවේ.

දේශපාලඥයින්, මෙහිදී මා හඳුන්වන්නේ පාර්ලිමේන්තුවට පළාත් සභා හෝ ප්‍රාදේශීය පාලනයට ඔබේ මනාපයෙන් පත්ව ඇති දේශපාලඥයන්, කීදෙනෙකුට එරෙහිව මිනී මැරුම් චෝදනා තිබේද? එසේ චෝදනා නොලැබුවා වුවත් ප්‍රසිද්ධියේ ඔවුන් කී දෙනෙකු මිනී මරා තිබේද? කුඩු වෙළෙදුන්, ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කරන්නන්, හොරුන් සහ තක්කඩින් කී දෙනෙකු ඔබේ මනාපයෙන් මේ තැන්වලට පත් කර සිටීද? එසේ එතැනට ගියවුන්ගෙන් කී දෙනෙකු ඔබට (ජනයා) තර්ජනය කරමින්, පහරදෙමින්, ප්‍රසිද්ධියේ ගස් බඳිමින් ඔවුනගේ කැමැත්ත අනුව නොහැසිරෙන්නේද? ඒත් ඔබ ඔවුනට ඔබේ මනාපය නැවත නැවතත් දී ඇත. දෙමින් පවතී. එසේ නම් ඔවුන් ඔබට කිංඩි සිනාවක් පෑම අරුමයක්ද? ඇත්ත තත්වය නම් ඔවුන් ඔබට එසේ ‘කිංඩි සිනාවක්’ නොදාම බැරිය. අපට කීමට සිදු වන්නේ ‘කුම්බලා ඔලු කෑවානම් දුක විදපන් බළලෝ ‘ කියාය.

රාජපක්ෂ පැලැන්තිය ඇමරිකාවට බැණ අඩගසමින් කෑ මොර දෙන විට ඔබ හෝයියා කියා අත්පොළසන් දෙමින්, විසිල් ගසමින්, වටයක් නොව වට දෙකක්ම කරකැවී නටයි. ‘දුන්න බැටේ’ කියා සිතමින් සතුටින් උද්දාම වී ඔල්වරසන් දෙනු ලබයි. මහින්දට බේත් ටික ගන්නට යන්නේද ඇමරිකාවටයි. බැසිල්ගේ වේදනාව නිවා ගන්නේද ඇමරිකා සංචාරයකිනුයි. ගෝඨාගේ පවුලම මෙන්ම රාජපක්ෂ සනුහරයම ජීවත් වන්නේද ඇමරිකාවේය.

නමුත් ‘අපේ චූන් අපට චූන්’ ලෙසින් චූන් වන ඔබලා දෙස බලන රාජපක්ෂලා තවත් පදයක් දෙකක් ගයා ඔබව චූන් කරන්නේ ‘ගහපන් බඩ පිනුමක්’ කියන්නාක් මෙනි. රතිඤ්ඤා වැල් පත්තු කර කිරිබත් මහපාරවල බෙදමින් ඒ අනුව ඔබ බඩ පිනුම් ගසයි. ඔබ කවුද කියා රාජපක්ෂලා දනී.

වහසිබස් දොඩන රාජපක්ෂලා රට තුල නීතිය බල්ලාට දමන්නේ ඔබේ පූර්ණ ආශිර්වාදය මැදයි. නීතිය කෙලෙසන විට ඔබේ අත් පොළසන් නාදය ඔවුන් දෙසවන රැව් පිළිරැව් දෙයි. විරුද්ධ පක්ෂය යැයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුනේ භාෂාවත් යූනඑන්පියේ භාෂාවත් රාජපක්ෂලාගේ භාෂාවට නොවෙනස්ය. රාජපක්ෂගේ භාෂාව අධිරාජ්‍ය විරෝධය, බටහිර විරෝධය, මානව අයිතීන් කෙළෙසීමට විරුද්ධවන අයට ඇතිවන විරෝධය, ලොව වෙනත් රටවල් ලංකාවේ මානව අයිතීන් උල්ලංගනය කිරීම කතා කිරීමට ඇති විරෝධය මේ අතර ප්‍රධාන වෙයි. අඩු වැඩි වශයෙන් අන් පක්ෂ ද මේ භාෂාවම භාවිතා කරනු ලබයි. එසේ නම් එතුලින් සිදු වන්නේ රාජපක්ෂලාගේ දේශපාලන භාෂාව තව තවත් ශක්තිමත්වීම මය.

ඒවාගේම අපි බොහෝ විට ‘අද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ අද නීතියක් නැහැ ‘ කියා කීමට පුරුදුව ඇත. ඒ අපි එසේ කියන්නේ අපට මේ ‘පර සුද්දන්’ සදා දී ගිය ‘සෑම මිනිසෙකුම නීතිය ඉදිරියේ සමාන අයෙකුය’ යන අධිරාජ්‍යවාදී නීතිය ගැන සිතමින් සහ එය නිවැරදිය යන මතයක සිටිමිනි.

නමුත් අපි අද පසුකරමින් සිටින ‘අධිරාජ්‍ය විරෝධී අවධියේ’. අපට පර සුද්දාගේ නීතියෙන් වැඩක් නැත. ඇත්ත නම් අපි අද අපේ නීතිය බලපවත් වන්නෙමු. සියළුම යටත් වැසියා අධිපතියාට යටත්ව ජීවත් විය යුතුය යන අපේ නීතිය රට තුල ක්‍රියාත්මක වේ. රට තුල නීතියක් නැත කීම අමුම අමු බොරුවකි. එතුල ක්‍රියාත්මක වන්න් අපේ නීතිය වන අධිපතියාගේ වුවමනාව සහ ඔහුගේ වචනය නීතිය ලෙස ගැනීමයි. අධිපතියාට අවශ්‍ය නම් ගැත්තාට කැමති දෙයක් කිරීමට ඔහුට අයිතියක් ඇත. මරා දැමීම, දූෂණය කිරීම හෝ සමච්චලයට ලක් කිරීම එම නීතිය තුල ඉතා සාමාන්‍ය දෙයක්ය. ලංකා සිංහල සමාජය එය ඉතා ආදරයෙන් වැළඳ ගෙන අනුමත කර ඇත. (දෙමළ මිනිසුන් පමණක් තම මානව අයිතීන්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය ගැන කතා කරති)

අධිරාජ්‍යවාදීන්ගේ නීතියට අනුව නම් අපි( රජයේ නිලධාරියෙක් හෝ මැති ඇමතිවරයෙක්) ජනාධිපතිට හෝ ජනාධිපතිගේ සහෝදරයෙකුට හෝ පවුලේ අයෙකු ඉදිරිපිට කොන්ද දෙකට නමා හෝ දණ බිම ඇණ හෝ බිම දිගා වී නමස්කාර නොකරන්නෙමු. ඒත් අපි අද සම්පූර්ණයෙන්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස්ව අපේම නීති ක්‍රමයට අනුව ජීවත්වන බැවින් ඔවුන් ඉදිරියේ කොඳු නමන්නේ, දණ ඔබන්නේ අපටම වූ අපේ චූන් අනුවයි. CHOGM සමුළුවට ගී ගයන ලංකා ගායක ගායිකාවන් ලංකාව ගැන වර්ණා කරමින් එහි ඇති ශ්‍රේෂ්ඨ උතුම් බව ගායනා කරයි. යම් රටක් තුල මිනිසුන් අතුරුදහන්වේනම් සංචාරකයන් පවා ප්‍රසිද්ධියේ මරා ඔවුන්ගේ සහකාරියන් දූෂනය කරයි නම් එම රටෙහි ඇති උතුම් බව ගැන තමන්ම ගායනා කළාට ලෝකය ඔබට උත්තමාචාර පවත් වන්නේ නැත. සෑම ෆැසිස්ට් රාජ්‍යයකම කරන අයුරින් තමන්ගේ උතුම් බව වර්ණා කරමින් තමන් ගැනම ගුණ ගී ගයමින් සියළුම මානුෂික නීති උල්ලංගනය කරන්නේ නම් එම රටට ගරු කරන ලොවක් නැත. ඇත්තෙන්ම මිනිස් නිදහස අනුමත කරන රටකට, භියකින් තොර සමාජයක් ඇති රටකට ලෝකය හිස නමනු ලබයි.

මා ජීවත් වන ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිවීමට පෙර වැඩවසම් අවධියේදී රඳළයා සහ ප්‍රවේණිදාසයා ලෙස රඳළයාට කැමති දෙයක් තම දාසයාට කිරීමේ අයිතිය රඳළයාට පැවතිණි. රඳළයාට එරෙහි වු අය රඳළයාගේ උදහසට ලක් වූ අතර එසේ උදහසට ලක් වූ අය දණ්ඩනයට ලක් විය. බොහෝ විට ඔවුන් මරා දමනු ලැබීය. එසේ නැත්නම් මෙසේ උදහසට ලක් වූවන් ‘මරා දැමීමට නිදහස් කළ’ (Vogel frei) අය ලෙස ප්‍රකාශ කරනු ලැබීය. අද වන විට රාජපක්ෂ සනුහරයට සහ ඔවුන්ගේ දඩ බල්ලන්ට එරෙහි වූ ලාංකිකයෙකු ද ‘මරා දැමීමට නිදහස් කළ’ (Vogel frei) අයෙකු ලෙස නොනිල ලෙස ගම්‍ය වෙයි. නමුත් රාජපක්ෂලාට එරෙහි වන්නන් මරා දැමීම, දණ්ඩනයට ලක් කිරීම ඔබ ඉවසන්නේ ඔබ ද එය අනුමත කරන ඔබ පිලිගන්නා නීති ක්‍රියාදාමය නිසාවෙනි. එසේ නම් කැමරන්ලාට හෝ නව නීදන් පිල්ලෙලාට දමනවා යැයි ඔබට හඟවන රාජපක්ෂලාගේ ‘කිංඩි හිනාව’ ඇත්තටම යොමුව ඇත්තේ ඔබටමයි.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi