බඩට ගහන්න එපායැයි කියූ
සෝමපාලගේ
පමණක් නොව අඹු දරැවන්ගේත්
බඩ​ට මරණීය පහර
මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව
මෙයයි සාතන්ගේ බණ දෙසන කළ

සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ මහා කවිවර “ආයුරක්ඛන්තු ආවඩා ලියූ” රත්නශ්‍රී විජේසිංහ ගෙන් නොවේ. මේ දිනවල ඊනියා දේශප්‍රේමීන්ට ‘නැමැත්තෙකු’ වී ඇති නැති නම් “දෙමළ සිනමා නලුවෙකු වී ඇති” තවත් අයෙකුට “ඩයස්පෝරාකරයෙකු” වී ඇති දෙමළ කවියේ විශිෂ්ඨතම සලකුණ වන වීඅයිඑස් ජෙයපාලන්ගේ නමක්නේරෝරැ පුල්ලිවේලි කව්‍ය සංග්‍රහයෙනි.

මිලේච්ඡ්යන්ගේ පාලනය සමයක අන්තෝජටා බහිජ​ටා සංහිදියා යුගයක සිය මෑණියන්ගේ සොහෙන් කොත දැකගැනීමට ඒ අසල හිද ඇය සමග මොහොතක් සමාධි ගතවන්නට, තමන් ඉපැදුණු සුදු වැලි පොලොව මත මොහොතක හිද අතීත ස්මරණක යෙ​දෙන්නට පැමිණි පුතෙකු සගයෙකු ඊනියා දේශප්‍රේමයේ නාමයෙන් අත්අඩංගුවට ගෙන අදට දින තුනකට ආසන්න වී ඇත. අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඔහු ආගන්තුකයෙකු කිරීමේ කොන්තතරාත්තුව කොළඹ මහාභි මානී මාධ්‍ය විසින් බාරගෙන තිබේ.

දෙමළ වර්ග සංහාර ඝාතකයන්ට රණවිරුවන් යැයි කියා දකුණේ පිරිස් මල්මාල් පැලැන්දූව ද එදා 1980 වැඩි වර්ජනයේදී එම ඝාතකයන් ගේ උණ්ඩයකට ගොදුරු වූ සෝමපාල නැමති සිංහල කම්කරුවා වෙනුවෙන් සහ කම්කරු පන්තිය වෙත එල්ලවන සිංහල ආණ්ඩුවෙන් බලපෑමට එරෙහිව සිය කවිය මෙහෙයවූ ඒ ජෙයපාලන්ව මෙදා අත්අඩංගුවට ගෙන මානසික වද හිංසා පැමිණවිමින් සිටිමේ ඉතිහාස ගත වරදට වන්දිය සුලුපටු නොවනු ඇත.

සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාලුවෝ වැනි “ගේම්” ඝනයේ සිනමා පට වෙනුවෙන් මාරගෙන මැරෙනවායැයි කී අපේ ​කොළඹ කලා කව වල සහෝදරවරු ජෙයපාලන්ව අත්අඩංගුවට ගෙන දවස් තුනකට ආසන්න වී ඇතත් තවමත් ඔහුවන් සිටින්නේ නොදුටු ලෙසිනි.

ජෙයපාලන් අත්අඩංගුවට ගත් පසුදා රාත්‍රියේ මම මගේ කවිකාර මිත්‍රයන් කීපදෙනෙක් වෙත කථාකර කල හැකි යමක් තිබේ නම් කරමු කියා යෝජනා කලෙමි. අහෝ කරුමයක මහත.. ලැබුණු සෑම පිලිතුරකම සමාන සාධක විය.

අපි දන්නේ නෑ හරියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ?

තවත් පිරිස් ඇසුවෙන වීසා ප්‍රශ්ණයක් නේද?

ඔව් වීසා ප්‍රශ්ණයක් තමයි. මිනිමරු ආණ්ඩුවලට කෑම කන විදිහත් ප්‍රශ්ණක් කර හිරේ විලංගුවෙන් දැමිය හැකිය. ප්‍රශ්ණය වීසා වුවත් එයට ප්‍රති ප්‍රශ්ණයද එහිම අඩංගුය. ජෙයපාලන්ට තමන්ගේ උපන් භූමියට පැමිණීමට සංචාරක වීසා ගන්නට සිදුවූයේ ඇයි ?

සිය ජීවිතය බේරා ගැනීමට සිය උපන් දේශයෙන් පලායාමට සිදුවීම මානවයෙකු මුහුණ දෙන අති බිහිසුණුම අත්දැකීමක් වන අතර එම ජීවිත කාලය පුරාම ක්ෂිතිමය අත්දැකීමක් ද වෙයි.

පෑසී කහ ගැහුණු
තුරුලතා අතරින්
රත්තරන් අත්තටු ගසා පියාඹන
සමනළයෙකු සේම ලෙළ දිදී
පරඩලා පර්ච් පත පතිත වෙයි
තණ මතට,
අලුත් සරණාගතයෙකු ලෙසින්…

මේ මහා මිහිතලයේ
ජීවිකය හිමි නැතිව
පහසුකම් අහුලමින් හඹා යන
මිනිස් පාරඩලාවන් වී – අපි
පොළව මත පොරබදමු…..

කෝ අපිට මව්බිමක්…

පසුගිය 9 වැනිදා ජෙයපාලන නැවත පැමිණියේ ඒ මව්බිම සොයා ගෙනය. නමුත් ඔහුට ඔහුගේ වැලි පොලව මත රිසි සේ සරන්නට ඉඩ ලැබුණේ නැත. ඒ වෙනුවට මේ මොහොත වනවිට ​​ආගමන විගමන අසුරවන් විගඩමක් නටමින් ඔහු කාමරයකට රදවා ගෙන සිටිනවා ඇත. නැතිනම් ඔහුව කිනම් මොහොතක රටින් පිටුවහල් කරනවා ඇත.

දෙමළ වර්ගය නසා පොඩි උනුත් පොලොවේ ගසා උතුරට ගෙන ආවා යැයි කියා සිංහල ස්වෝත්තමවාදීන් කෑමොර දෙන අන්තෝජට බහිජටා වසන්තයේ තරම ජෙයපාලන් නම විශ්ෂට මිනිසාට තමන්ගේ දේශයේ නිදහසේ සැරිසැරීමට ​නොදීම තුළම මොනවට පැහැදිලි වෙයි.

දෙමළ කවීන්ට සිංහල පාලකයන් කෙතරම් බියද කියා කියතොත් ඔහු පුදු​​වෛයි රත්නතුරෙයි අතුරුදහන්කර ඔහුට ජීවත්වීමට තීබූ අයිතිය අහිමිකර ඇත. අද දිනයේදී ජෙයාලන් පිටුවහල් කරනු සිට මව්බිමෙන් පිටුවහල් කරනු ඇත.

මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව රෙද්ද පල්ලෙන් ​​බේරෙන – මේ යුගයේ සාතන්ගේ බණ දෙසනා කරති.

මංජුල වෙඩිවර්ධන සහෝදරයා වන්නිපොස් වෙබි අඩවියට පවසා තිබූ වාක්‍යය බොහෝ දෑ පවසයි.

“ජෙයපාලන් දන්නැති රටක සිංහල කවියෙක් වීම තරම් ලැජ්ජාවක් සහ වේදනාවක් තව කොහෙන්ද?”

ජෙයපාලන්, අපිට සමාවෙයන් ලොකු අයියේ !!!

පසන් ​ජයතිලක
| Pasan Jayathilake