ලාංකීය නව දමිළ කවිය ගැන කෙරෙන කතාබහක් ව.අයි.ස. ජෙයපාලන් කවියා පිළිබදව කෙරෙන කතා බහක් වන තරමටම ඔහු ලාංකීය නව දමිළ කවිය සමග ​​ෙඑද්‍රීයව සම්බන්ධය. එමෙන්ම ජෙයපාලන්ගේ එදා මෙදා තුර කවි පිළිබදව කෙරෙන අධ්‍යයනයක් නව දමිළ කවියේ ගමන් මග හදුනා ගැනීම සදහා පුළුල් ආලෝකයක් සැපයීමටද සමත්ය.

කලාකරුවෙකුගේ පහල වීම හුදු ඔපපාතිකව සිදුවෙන්නක් නොවේ. තම සමාජ පරිසරයේ නිර්මිතයක් ලෙස ජෙයපාලන් කවියා නව දමිළ කාව්‍ය ක්ෂේත‍්‍රයට එක්වන විට ඔහු එම තත්වයට පත්වීම ස`දහා හේතුභූත වූ කරුණු පිළිඹද විමසීමක් කිරීම අත්‍යවශ්‍යය.

කලාකරුවෙකුගේ උපත, පවුලේ පසුබිම, ළමා කාලය පිළිඹ`ද දත්තයන් රැස් කිරීම, විවරණය කර බැලීම ඔහුගේ පෞද්ගලිකත්වය හාරා ඇවිස්සීමක් හෝ පුද්ගලාභිවාදනයක් නොවීමට නම් ඒ අදාළ දත්තයන් ඔහුගේ ජීවිතය තුළ, අධ්‍යාත්මය තුළ සිදු කරන ලද බලපෑම් අවබෝධකර ගැනීමේ අභිලාෂයෙන් සිදුවන්නක් විය යුතුය. අනෙක් අතට කලාකරුවෙකුගේ කෘති තුළ චිත‍්‍රණය වී ඇති ජීවිතයට හේතු වූ සැබෑ ජීවිතය වටහා ගැනීමට ද එය උපකාරී වෙයි.

ව.අයි. සම්මුගම්පිල්ලෙ සහ රාමනාදන් රාසම්මා යන දෙපලට උපදින ප්‍රථම දරුවා ලෙස ව.අයි.ස. ජෙයපාලන්ගේ උපත 1944 වසරේදී යාපනයේ උඩුවිල් ග්‍රාමයේදී සිදුවේ. සරුසාර ගොවිබිමක් වශයෙන් ප‍්‍රචලිත උඩුවිල් ප්‍රදේශය වූ කලී ජෙයපාලන්ගේ මවගේ උපන් ගමයි. ජෙයපාලන්ගේ ළමා කාලය ගත වෙන්නේ රත් පැහැ සරු පසින් යුත් තල් ගස් වලින් සෙවන ලැබූ භෞතික පරිසරයකින්ද, වැඩවසම් ක‍්‍රමය තුළ මුල් බැසගත් පරිසරයකින්ද යුක්ත වූ සමාජයකය. ඔහු තම අධ්‍යාපනය උඩුවිල් මුරුගමූර්ති විදුහලෙන් ආරම්භ කරයි. එහෙත් ඒ පාසැලේ ජෙයපාලන්ගේ අධ්‍යාපනය අවුරුද්දකටත් වඩා අඩු කෙටි කාලයකට සීමා වෙයි.

ජෙයපාලන් කවියාගේ පසුකාලීන කාව්‍ය නිර්මාණ කෙරේ ප‍්‍රබල බලපෑමක් එල්ල කරන නෙඩුන්තීවු (ඩෙල්ෆ්ට්) දුපත සමග ඔහුගේ සම්බන්ධය ඇති වන්නේ මේ සමගයි. එම දූපත වූ කලී ජෙයපාලන් කවියාගේ පියාගේ උපන් ගමයි. ජෙයපාලන් නෙඩුන්තීවු මහේෂ්වරී විදුහලේ අධ්‍යාපනය ලැබීමට පටන් ගනී. භූගෝලීය වශයෙන් ගත් විටද, සමාජ පරිසරය අනුව ගත් විටද, නෙඩුන්තීවු දූපත වනාහී ඔහු එතෙක් වාසය කළ උඩුවිල් ප්‍රදේශයට වඩා හාත්පසින් වෙනස් ලක්‍ෂණ දරයි. යාපනය දිස්ත්‍රික්කයට අයත් යාපනයේ සිට ඉතාමත් දුරින් පිහිටි දූපත වන නෙඩුන්තීවු වනාහී අපූරු සෞන්දර්යාත්මක ලක්ෂණ දරන දූපතකි. පැල ඉනි වැට වෙනුවට ගල් වැටි බැද ඇති, අශ්වයන් නිදැල්ලේ සරන, නෙඩුන්තීවු දූපත ධීවර රැකියාව ප්‍රධාන ජීවනෝපාය කරගත් බහුතරයකින් යුක්ත වූවකි. දිගින් කිලෝමීටර් 11 පමණද පළලින් කිලෝ මීටර 08 ක් පමණ වූද නෙඩුන්තීවු දූව ජෙයපාලන් දූපත්වාදී මානසිකත්වයක සිරකිරීමට සමත් නොවූ බව පසුකාලීනව ඔහුගේ කාව්‍ය නිර්මාණයන් තුළට දායක වී ඇති නෙඩුන්තීවු දූපත හා සම්බන්ධ අත් දැකීම් ප්‍රකට කර සිටියි. හිරු සමග කතා කිරීම යන අරුත් ඇති සූරියනෝඩු පේසුදල් නම් වූ කාව්‍ය සංග‍්‍රහයේ පෙරවදනෙහි නෙඩුන්තීවු දූපත හා සම්බන්ධ ස්මරණයන් ගැන ජෙයපාලන් මෙසේ කියයි.

ඒ දූපත පෘතුගීසින්ට, ලන්දේසීන්ට විරුද්ධව සටන් කරපු ඉතිහාසයකට උරුමකම් කියන දූපතක්. දූපතේ වපසරිය කිලෝ මීටර් 11 ක දිගටත්, කිලෝ මීටර් 08 ක පළලකටත් සීමා වෙනවා. ඒ වුණාට ගල්වලින් බලකොටුවක් බදින්නෙ නැතුව සතුරන්ට ඒකෙ රැදිල ඉන්ඩ බැරිවුණා. මං ඉස් ඉස්සෙල්ලා ඒ දූපතට යන කොට මගේ වයස අවුරුදු පහක් ඇති. ලස්සණ මුහුදු වෙරළ, අශ්වයො දුවපැන ඇවිදින තැනිතලාව, මිනිස් ශ්‍රමයේ අනවරත අරගලයේ ප‍්‍රතිඵල විදිහට ගල් බැමි වලින් වටවුණු වගා බිම් … සවස් යාමේ පේළියට එකතු වෙලා මිරිදිය ළිදට යන කාන්තාවෝ … නොයෙක් විදියේ රැකියා කරන මිනිස්සු ……. දුහුවිලි විසිරෙන පාරේ වතුර කළයක් අරගෙන ගිය දෙවතාවියක් මගේ කවියෙත්, මගේ ප‍්‍රථම ප්‍රේමයෙත් සලකුණු තියල ගියෙත් ඒ දූපතෙයි ……’’

ජෙයපාලන් නෙඩුන්තීවූ මහේෂ්වරී විදුහලේ අධ්‍යාපනය ලබා පසුව නෙඩුන්තීවු මධ්‍ය මහ විදුහලේ අධ්‍යාපනය ලබන අතර කාලය තුලදී පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ ඔහුගේ හිතුවක්කාරී හැසිරීම් රටාව නිසයි. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ පාසැල් අධ්‍යාපනය ගැන කළකිරී ඔහු දැනුම සෙවීමේ අරමුණින් පාසැලින් බැහැරට යොමුවීමයි. ඔහුගේ මේ හැසිරීම් රටාව නිතර නිතර පාසැල් මාරු කිරීම සදහා හේතුවෙයි. ඔහුගේ මවුපියෝ ඔහුට නේවාසික පහසුකම් සහිත මිෂනාරී පාසැලක අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්නේ මේ හිතුවක්කාරී හැසිරීම් පාලනය කර ශික්ෂණයකට යටත් කිරීමේ අරමුණින් යුතුවයි. යාපනයේ ඉලවාෙලෙ හෙන්රි විදුහල සේම කොළඹටද ඔහුගේ පාසැල් ජීවිතය ව්‍යාප්ත වන්නේ මේ නිසයි. මෙය ජෙයපාලන්ගේ කාව්‍ය ජීවිතය කෙරෙහි දෙයාකාරයනික් වැදගත් වෙයි. එකක් නම් විවිධ භූගෝලීය, සංස්කෘතික, සමාජීය පරිසරයන් හී සැරිසැරීමට, ඇසුරු කිරීමට හැකිවීම තුළ ඇතිවන පුළුල් අත්දැකීම් පරාසයයි. අනිත් වැදගත් කරුණ නම් මිශනාරී අධ්‍යාපනය යටතේ ඔහුට ලැබෙන ඉංග්‍රීසි දැනුම විශ්ව සාහිත්‍යයේ දොරගුළු විවෘත කර දීමයි. එසේ නැතිව සම්මත පාසැල් අධ්‍යාපනය තුලින් අපේක්‍ෂිත රැකියා ඉලක්කයන් සපුරා ගැනීමට හේ සමත් නොවෙයි.

ජෙයපාලන්ගේ පාසැල් ජීවිතයේ අවසානයත්, විශ්ව විද්‍යාල ජීවිතයේ ආරම්භයත් අතර වූ කාලය ඔහුගේ කාව්‍ය ජීවිතය පමණක් නොව මුළු ජීවිතයම ප්‍රබල පරිවර්තනයකට ලක් කිරීමට සමත් වෙයි.

ව.අයි.ස. ජෙයපාලන් තමා කවියෙකු බවට පත්වීම කෙරේ බලපෑ කරුණු සහ ආභාසයන් පිළිබද ‘‘මුන්රාවදු මනිදන්’’ (තෙවැනි මිනිසා යන අරුත් ඇති ලංකාවේ පලකරන දමිළ සගරාවකි.) නම් වාර සගරාවේ 1996 මැයි ජූනි කලාපයට දී ඇති සම්මුඛ සාකච්ඡුාවක දී පවසා ඇත. තමා කුඩා කාලයේ කියවූ කෘතීන් අතරින් ඔමාර් ඛය්යාම්, ඛලීල් ජිබ්රාන් ආදී කවීන්ගේ ආභාසය පුළුල් ලෙස ලැබුන බව ඔහු පවසයි. එමෙන්ම කුර්-ආන්, බයිබලය වැනි ආගමික ග‍්‍රන්ථවල ආභාසයද ඔහුගේ කියවීම කුඩා වෘතයකට සිමා නොවීමට හේතු වූ බව සදහන් කරයි. ඔහුගේ චින්තනය භාෂාමය, ආගමික සහ සංස්කෘතික සීමාවන් ඉක්මවා යෑමට හේතුවූ බවට එය මහා නිදසුනකි. එපමණක් නොව, ඔහු ‘‘සූරියනෝඩු පේසුදල්’’ කාව්‍ය කෘතියේ පෙරවදනෙහිදී මෙසේ ස`දහන් කරයි.

‘‘තාත්තා සිංහල ප‍්‍රදේශවල දිගු කාලයක් වෙළදාමේ යෙදුණ කෙනෙක්. අම්මා ඉංග්‍රීසි ඉගෙන ගෙන ගුරු වෘත්තියේ යෙදුණා. ඒ නිසා අපේ ගෙදර සිංහල, ඉංග්‍රීසි කවි නිතර නිතර ඇහෙන දෙයක් වුණා…..’’

මෙලෙස පවුලේ පසුබිම කලාකරුවන්ගේ ජීවිතය කෙරේ කර ඇති බලපෑම පිළිබ`ද නිදර්ශන කලාකරුවන්ගේ චරිත කතා, කාව්‍ය පෙරවදන්, අතීතාවර්ජනයන් ආශ‍්‍රිත ලිපි කියවන විට බහුලව දක්නට ලැබේ. කුලයෙන්ද ආර්ථික ශක්තියෙන්ද ඉහළ ස්ථරයන් නියෝජනය කළ ජෙයපාලන්ගේ පවුල් පසුබිම විසින් දිරි දුන්නේ කවියෙකු වීමට නොවේ. ඒ සියල්ල වෙනස් කිරීමට 1960 ගණන් වල ලාංකීය දමිළ සමාජය – විශේෂයෙන්ම යාපනය පුරා පැන නැගුණු විමුක්ති අරගලයන් හේතු විය. එය ජෙයපාලන් විමුක්තිවාදියෙකු බවට පත් කළේය. ඔහුගේ කවිම`ග තීරණය කළේය. එපමණක්ද? නැත. ජෙයපාලන් තම පංතියට අයත් පවුල් පසුබිමෙන් ද පලවා හැරියේය.

ජෙයපාලන් තම ජීවිතයේ තරුණ වියට එළඹෙමින් සිටින මොහොත වන විට ලාංකීය දෙමළ සමාජය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන ධාරාවන් දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබුණේය. එයින් එක ධාරාවක් වූයේ දෙමළ ජනතාවගේ භාෂාව, ජාතිය, සංස්කෘතිය පදනම් කරගත් කුලීන ප්‍රභූ දේශපාලනයයි. මේ දේශපාලන ධාරාව කුල ක්‍රමයේ ආරක්ෂකයා වශයෙන්ද කටයුතු කළේය.

දෙවන දේශපාලන ධාරාව වන්නේ කුල ක්‍රමයට විරුද්ධව නැගුණු වාමවාදී මූලයක් සහිත විප්ලවකාරී දේශපාලනයයි. ජෙයපාලන් මුලින් සදහන් කළාක් මෙන් මෙයින් තෝරා ගන්නේ දෙවෙනි දේශපාලන ධාරාවයි.

කුල ක්‍රමයට එරෙහි ප්‍රගතිශීලී ධාරාව තුළ කටයුතු කරමින් සිටින ජෙයපාලන්ගේ ජීවිතයෙහි වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කෙරෙහිද ප්‍රබල බලපෑමක් කිරීමට සමත්වන සිද්ධියක් ලෙස ජෙයපාලන් වන්නි ප්‍රදේශයට සංක්‍රමණය වීම සැලකිය හැකිය.

දකුණේ මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුුතු වල යෙදී සිටි ජෙයපාලන්ගේ පියාට 1958 දී ඇතිවූ ජාතිවාදී පහර දීම් නිසා සියළු සේසත එහි දමා අනාථයෙකු ලෙස යාපනයට ඒමට සිදුවේ. එයින් දකුණේ වාසය තිත්ත වී ජෙයපාලන්ගේ පියා වන්නි ප්‍රදේශයේ ගොවිපලක් ආරම්භ කරයි.

මේ අතර ජාතිවාදී පහරදීම්වලට ලක්වී අනාථයන් ලෙස පැමිණි උතුරු නැගෙනහිර සහ කදුකරයේ දමිළ ජනයා වන්නි ප්‍රදේශයේ පදිංචි කිරීමේ කටයුතු සහ පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සිදු කෙරෙයි.

වන්නි ප්‍රදේශය ජෙයපාලන්ගේ කාව්‍ය කෙරෙහි දක්වා ඇති දායකත්වය ඔහුගේ කෘති සමස්තයක් වශයෙන් ගෙන කරන විග්‍රහයකදී මනාව පෙනී යයි.

වන්නිය වූ කලී එක අතකින් ස්භාවික සෞන්දර්ය පිළිබද කෝෂ්ටාගාරයකි. එහෙත් ජෙයපාලන්ගේ කවි ඇස එතැන නතරව අන්ද මන්ද නොවෙයි. අව්, වැසි, නියන් සා ආදී ස්භාවික විපත් වලින්ද, යාපනය වෙළද පංතියේ සූරාකෑමෙන් ද නිලධාරිවාදයේ පීඩනයෙන්ද ආතුර වූ වන්නි වැසියන්ගේ අධ්‍යාත්මයන් සිය කාව්‍යයන්ට ගෝචර කර ගැනීමට ජෙයපාලන් සමත් වන්නේ ඔහු සතු මානවවාදී සමාජ දැක්ම හේතුවෙනි.
1970 ට පසුව දෙමළ සමාජය වේගයෙන් ජාතිකවාදී දිශාවට තල්ලූ කරනු ලබන ලාංකීය රාජ්‍ය තන්ත‍්‍රයේ බැහැර කිරීම්වාදී කි‍්‍රයාමාර්ගයන් උත්සන්නවෙයි. 1960 ගණන්වල ආරම්භ වී වර්ධනය වෙමින් පැවති කුලවාදයට එරෙහි ප‍්‍රගතිශීලී ව්‍යාපාරය ලප් තැනම ලොප් කිරීමට ඒ ක්‍රියාමාර්ගයන්ට හැකිවෙයි. ජාතීන් අතර සමගියත්, සහයෝගිතාවත් සටන් පාඨය කරගත් සමාජවාදී ව්‍යාපාරයකට ඇති වලංගුතාව අහෝසිකර ‘‘දමිළ ඊළම’’ පිළිබද සටන් පාඨය පෙරට එන අයුරින් රාජ්‍ය මර්ධනය උත්සන්න වෙයි. ව.අයි.ස. ජෙයපාලන් ශිෂ්‍යයෙකු ලෙස යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වන්නේ මෙවැනි සමාජ වාතාවරණයක් තුළය.

1975 දී ජෙයපාලන් සරසවියට ඇතුළු වන විට ඔහු අනෙක් ශිෂ්‍යයන්ට සාපේක්ෂව වයසින් මුහුකුරා ගොස් සිටියේය. අත්දැකීම් ක්‍ෂේත‍්‍රය අතින් ද ඔහු පොහොසත් ස්ථාවරයක සිටියේය. තම සරසවි ජීවිතය තුළ වසර දෙකක් මහා ශිෂ්‍ය සංගම් සභාපති ධූරය දැරීම තුළ ඔහු අසීමිත අත්දැකිම් සම්භාරයක් ලබා ගත්තේය. මේ කාලය වන විට යාපනය විශ්ව විද්‍යාලය තුල සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවෝද අධ්‍යාපනය ලබමින් සිටියහ. ජෙයපාලන් පෙනීසිටි මාක්ස්වාදී විප්ලවකාරී ස්ථාවරය යටතේ සිංහල සිසු සිසුවියන්ගේ පුළුල් සහය ඔහු වෙත ලැබිණි. එමෙන්ම දකුණේ ජාතිවාදී කෝලහල ඇතිවන අවස්ථාවන් හීදී. එක් අතකින් ආණ්ඩුවේ මර්දනයට එරෙහි වීමටත් අනෙක් අතින් ජාතිවාදී වියරු වැටීම් වළක්වා ගැනීමේත් අසීරු කාර්ය ඔහු වෙතින් සිදු කෙරිණ. ආර්ථික විද්‍යා උපාධියක් ලබා ගැනීම යන කරුණ ජෙයපාලන්ගේ සරසවි ජීවිතයේ එක් ඵලයක් පමණි. ඊටත් වඩා පුළුල් ක්‍ෂේත‍්‍රයක හැසිරෙමින් වාද විවාදවල යෙදෙමින් ලියමින්, කියවමින්, අරගල කරමින් තම විශ්ව විද්‍යාලයීය ජීවිතය පුළුල් අඩවියක් කරා ව්‍යාප්ත කර ගැනීමට ජෙයපාලන් සමත් වෙයි. ඔහු සදහන් කරන අන්දමට දෙශනශාලා ඔහුට ලබාදුන් දෙයක් නැති තරම්ය. එහෙත් විශ්ව විද්‍යාලයෙන් බොහෝදේ ලබාගැනීමටද පෙරළා විශ්ව විද්‍යාලයට බොහෝදේ ලබා දීමටද ඔහු සමත් වෙයි. බුද්ධිමතුන්ගේ, සටන්කාමීන්ගේ, කලාකරුවන්ගේ මෙන්ම පීඩිත පාංතික, කුලහීන කොටස් සමග ඇසුර එයට හේතුවෙයි.

’‘කළු ජූලිය’’ නමින් දමිළ ජනතාවගේ සිත් තුළ බියකරු ලෙස සටහන් වී ඇති 1983 වසරේ ජූලි මස තුලදී සිදුකළ දෙමළ ජනතාවට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වනාහී දෙමළ සමාජයේ, දෙමළ දේශපාලනයේ පමණක් නොව සමස්ත ලාංකීය සමාජ දේහයේම ප්‍රබල විපර්යාසයන්ට මග පෑදුවක් විය.

මේ ජූලි කලබල ආරම්භ වන විට ජෙයපාලම් සිටින්නේ දකුණේ මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් අතරෙයි. මුස්ලිම් අයෙකු ලෙස වෙස් මාරු කරගෙන කොළඹට පැමිණ අනාථයෙකු ලෙස යාපනයට පැමිණීමට හැකිවීම තුළ ජෙයපාලන්ගේ ජීවිතය බේරෙයි. කළු ජූලිය සහ මුස්ලිම් ජනයාගෙන් ලැබුණු රැුකවරණය පසුකාලීනව ජෙයපාලන්ගේ කාව්‍ය ජීවිතයේ පමණක් නොව මුළු ජීවිතයේම ප්‍රබල වෙනසක් ඇති කිරීමට සමත් වෙයි. ඔහු කොළඹ සිට යාපනයට එන විට තමන් දමිළ ඊළාම් ව්‍යාපාරයට බැදී සටන් කරන බවට තීරණය ගෙන අවසන්ය. එමෙන්ම තමන් අපේක්ෂා කරන විමුක්තිය තුල මුස්ලිම් ජනතාවගේ විමුක්තියත් අඩංගුවිය යුතු බව ඔහු දැඩිව අදිටන් කර ගනියි.

එයින් පසුව එළඹෙන වකවානුව වූ කලී ව.අයි.ස. ජෙයපාලන් දමිළ ඊලාම් විමුක්තිය උදෙසා ආයුධ සන්නද්ධ අරගලයට එක් වීමයි. එහිදී කවියෙකු ලෙස රාජ්‍ය මර්ධනයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කවි ලියයි.

පසුව ජෙයපාලන් තමා එක්ව සිටි සටන්කාමී ව්‍යාපාරය අත්හැර යයි. විමුක්ති ව්‍යාපාර අභ්‍යන්තරයේ ඇතිවන මතභේද සහ විමුක්ති ව්‍යාපාර අතර ගැටුම් එකිනෙකා මරා ගැනීම් බවට පරිවර්තනය වීම, විමුක්ති ව්‍යාපාර බහුජන අරගල මාවතින් බැහැර වීම ආදිය ඔහු එසේ ව්‍යාපාරය අතහැර යාමට බලපා ඇතිබව ඔහුගේ කාව්‍ය නිර්මාණයෝ සාක්ෂි දරති.

‘‘පහරදුන් නිසාම
දකුණු කකුලින්
අපේ සතුරාට
දුන්නේ කවුද අයිතියක්
වම් කකුලින්
අපව පාගන්න ?’’

යැයි ජෙයපාලන් ‘‘ඊළම් බිම සහ අපේ මුහුණු’’ කාව්‍යයේදී අසයි.

සන්නද්ධ විමුක්ති අරගලය අතහැර ඉන්දියාවට යන ජෙයපාලන් කවියා ඉන් පසුව නෝර්වේ, ස්විඩන්, ජර්මනි ආදී රටවල් වල වාසය කරමින්, විටින් විට ලංකාවට පැමිණියත් තම මවුබිම ලෙස සටන් කළ ප්‍රදේශය අතහැර පිටුවහල් ජීවිතයක් ගත කරයි. ලාංකික දමිළ කවියේ නව ප්‍රවණතාවක් ලෙස සැලකෙන පිටුවහල් කළවුන්ගේ කවිය ඔහු තම අනන්‍යතාව සටහන් කරමින් සිටියි.

විමුක්තිය යන්නට සෑම පීඩිත කොටසකගේම විමුක්තිය අන්තර්ගත කර ගැනීමට ජෙයපාලන් කවියාට හැකිවීම ඔහුගේ කාව්‍ය දෘෂ්ටිය කුලවාදී, ජාතිකවාදී හෝ නැතහොත් පුරුෂෝත්තමවාදී කවයකට සීමා නොවීමෙන් පෙනෙයි. අනෙක් අතට ඔහු සමාජයේ ජනප්‍රියවීමේ අපේක්ෂාවෙන් වංචනික ලෙස විරෝධාකල්ප භාවත කරන්නෙක් නොවේ. ඔහු දෙමළ සමාජය තුල ගැඹුරෙන් කාවැදී ඇති කුල ක්‍රමයට එරෙහිව අරගල කළ අතර ධීවර මුදලාලිගේ සූරා කෑමට හසුව සිටින ධීවර කම්කරුවාගේද, යාපනය නිලධාරී ආධිපත්‍යයට යටත්ව සිටින වන්නි ජනයා කෙරෙහිද, කුලීන දෙමළ පවුල්වල බැල මෙහෙවරකම් කරන කදුකරයේ දමිළ ජනයා ගැනද, රාජ්‍ය තන්ත‍්‍රයේ පීඩාවට පත්ව සිටින උතුරු නැගෙනහිර දෙමළ ජනයාද පමණක් නොව දකුණේ රාජ්‍ය තන්ත‍්‍රයේ පීඩාවට ලක්වන දකුණේ කම්කරු පාංතික කොටස් ගැනද කාව්‍ය දෘෂ්ටිය යොමු කලේය.

1980 වැඩ වර්ජනයේ දී සෝමපාල නම් කම්කරුවෙකු ආරක්ෂක අංශ වෙඩි පහරින් මිය යද්දී දකුණේ සිංහල කම්කරු පාංතිකයන් කෙරේ එල්ලවන ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව උතුරේ ජෙයපාලන්ගේ කවිසිත මෙසේ ප්‍රතිචාර දක්වයි.

’‘බඩට ගහන්න එපා කියූ
සෝමපාලගේ
පමණක් නොව අඹු දරුවන්ගේත්
බඩට මරණීය පහර
මෙයයි කලියුගයේ ධර්මිෂ්ඨ බව
මෙයයි සාතන් බණ දෙසන කල……

(නමක්කෙන්රොරු පුල්වෙලි කාව්‍ය සංග්‍රහයෙනි)

එපමණක් නොව සමහර අවස්ථාවන්හිදී ජෙයපාලන් කවියා ජාත්‍යන්තර සිදුවීම් ද කාව්‍යානුභූතී කර ගනියි. මැරීනා මුහුදු වෙරළේ අලංකාරය උදෙසා ධීවර පවුල් ඉවත් කිරීම එවැනි අවස්ථාවකි.

උතුරේ වාසය කල මුස්ලිම් ජනයා ඒ ප්‍රදේශයෙන් පලවා හැරීම පිළිබදව දමිළ කවීන් දැක්වූ ප‍්‍රතිචාරය දමිළ කවීන්ගේ හෘදය සාක්ෂිය ප්‍රශ්ණ කිරීමකට පත්කරන්නක් විය. මෙය ජෙයපාලන්ගේ කවිසිත දැඩිලෙස කම්පනයට පත්කළ සිද්ධියක් විය. එම ඛේදවාචකයට අවුරුදු 5ක් පූර්ණ වීම නිමිත්තෙන් 1995.10.30 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමේදී ජෙයපාලන් ගායනා කළ කවියක අවසානය මෙසේය.

’‘ඇඩූ කදුලෙනි
සය අවුරුද්දක්ම මොවුහු
කරුමය නම් එය
විනාශ වෙද්දෙන් මේ රට
විනාශ වෙද්දෙන් මගේ ජාතිය
විනාශ වෙද්දෙන් මගේ කවි
විනිශ වෙද්දෙන් මගේ දමිළය……’’

ජාතිවාදී යුද්ධයකින් සමාජය විනාශය කරා ගමන් කරද්දී තම තමන්ගේ දෙසටම ඇගිල්ල දිගුකර ගැනීමට හැකිනම්, තමන් අයත් ජාතියේ ජාතිවාදය ප්‍රරශ්ණ කිරීමට හැකිනම් එයම සැබෑ සහෝදරත්වයයි. ජෙයපාලන් කවියා මෙම කවිය ගායනා කර පැය ගණනක් ඉක්ම යත්ම ලංකා ආණ්ඩුවේ රිවිරැස හමුදා මෙහෙයුමත් සමග යාපනයේ වලිකාමම් ප්‍රදේශය අතහැර ලක්ෂ ගණනින් දෙමළ ජනයාට චාවකච්චේරි, වන්නිය දෙසට පලා යෑමට සිදුවේ.

කවියෙකු වශයෙන් සමකාලීන සමාජ යථාර්ථයන් තම කාව්‍ය අනුභූතීන් කරගන්නා ජෙයපාලන් කවියාගේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ එම කවි ප්‍රචාරකවාදී ස්වභාවයක් නොගැනීමයි. එම නිසා ඔහුගේ කවි කාව්‍යමය ශක්තියෙන් අනූන වෙයි. එමෙන්ම ජෙයපාලන් කවියාගේ කවිබස නිරවුල්, ධ්වනිතාර්ථවත් ස්වභාවයක් ගනී. මෙහිදී කවියා ජන සාහිත්‍යයෙන් ලත් ආභාෂය පෘථුල ලෙස උපයෝගී කර ගනියි.
මේ වන වට ව.අයි.ස. ජෙයපාලන් කවියාගේ කෘතීන් පහක් පලවී ඇත. මේ කාව්‍ය කෘති වලට අමතරව ඔහු විසින් ලියන ලද ‘‘සෙක්කු මාඩු’’ (සෙක්කුවෙ ගොනා) යන කෙටි කතාවද ඇතුලත් වෙයි. ඊට අමතරව ජෙයපාලන් විසින් ජාතික ප්‍රශ්ණය සහ මුස්ලිම් ජනතාව නමින් පොත් පිංචක් ලියා ඇති අතර ඔහු විසින් පුවත්පත්, සගරා ආදියට ලියන ලද විශාල ලිපි සංඛ්‍යාවක් ද වෙයි.

දෙමළ සමාජය තුළ ව.අයි.ස. ජෙයපාලන් පිළිබදව විවධ ආකල්පයන්, විවේචනයන් පවතී. සමහරුන් සදහන් කරන අන්දමට ඔහු අරාජිකවාදියෙකි. සාම්ප්‍රදායික හින්දු සංස්කෘතික රාමුව තුල තබා ඔහුගේ ජීවිතය විවේචනයට ලක්වන අවස්ථාද ඇත. ඔමාර් ඛය්යාම්ගේ දර්ශනයට අනුව තම ජීවිතය පවත්වාගෙන ගිය අයෙකු ලෙස ජෙයපාලන් හදුන්වන අයද ඇත. එහෙත් මේ කිසිවෙක් ජෙයපාලන් හොද කවියෙකු යැයි කීමට මැළි නොවෙති.

මේ අතර පිටුවහල් කළ සාහිත්‍ය යන නමින් හැදින්වෙන දමිළ සාහිත්‍යයේ නව ප්‍රවණතාවට උතුරු නැගෙනහිර අද්‍යතන සමාජය තුළින් නැගෙන චෝදනාවක් වෙයි. එය ජෙයපාලන්ටද වලංගුය එනම් අතිශය දුෂ්කකර අවස්ථාවන්හිදී තම මවුබිමෙන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙන් පිටව ගොස් කරනු ලබන හඩ නැගීම යුද්ධ කලාපයක් තුළ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත එයින් ගලවා ගැනීමට කොපමණ උපකාර වන්නේද, උපකාර වී ඇද්ද යන්නයි. යුද්ධයට එරෙහිව, එහි සකල විධ පීඩනයන්ට එරෙහිව නගන හඩ යුද්ධයෙන් පීඩා විදින සමාජයේ හඩක් ලෙස එම සමාජයේම සිට නොනැගීම තුළ ඒ විරෝධාකල්පය හුදු දේශපාලන රැකවරණය පතා විදේශ රැකවරණ සෙවීමට ඉදිරිපත් කරන ලියවිල්ලක් පමණක් බවට පත් නොවන්නේද යන්නයි. මේ සම්බන්ධයෙන් සාධාරණ පිළිතුරු සාහිත්‍යකරුවන් තුළ ඇතිවාට සැක නැත.

ව.අයි.ස. ජෙයපාලන් කවියා යනු පරමාදර්ශී චරිතයක් නොවීම ගැටලූවක් කරගතයුතු නැත යන්න මගේ අදහසයි. නව දමිළ කවියේ බොහෝ දුරකට ජෙයපාලන්ගේ කවි විහිදී ඇත. අනෙක් අතට වී.අයි.ස. ජෙයපාලන්ගේ වර්තමානය විසින් පෙන්නුම් කරන්නේ දමිළ සමාජයේ ප්‍රගතිශීලී ව්‍යාපාරය ගමන් කර ඇති එක් දිශානතියකි.

සාමිනාදන් විමල් | Saminathan Wimal

[දමිළ කවියේ ශ්‍රී ලංකීය සලකුණ යනුවෙන් නිලාර් එන්. කසීම් විසින් රචනා කළ ජෙයාලන් චරිතාපදානය සහ ඔහුගේ කාව්‍ය විමසා බැලීමේ කෘතියෙන් පෙර වදනින් උපුටා ගත ඉහත ලිපිය නැවත පළකරන්නේ, ජෙයපාලන් “ඉන්දීය සිනමාකරුවෙක්/නැමැත්තේක්/නෝර්වේ කවියෙකු/එන්ජීඕකාරයෙක් කිරීමට වෙරදරන ඊනියා දේශප්‍රේමීන්ට සහ සිය අතීත සගයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය සේවකයෙකු කියා සිය සීමාව ලකුණ කළ නිලාර් එන්. කසීම් ගේ අවධානය පිනිසයි.]

උපුටා ගැනීම – LNW