සූදු පොලවල් වල නැතහොත් ගමේ නමින් කිව්වොත් ‘බූරැ පොළවල්‘ වල(මෙම වචනය බහුලව භාවිතාවන නමුත් සත්‍ය ලෙසම මේවා නීති විරෝධි සූදු පොළවල්ය) ඔට්ටු අල්ලන පිරිස් බහුලව භවිතාකරන වචන ‘සෙට්‘ වලින් ප්‍රධාන එකක් වන්නේ ‘වානා වා, පෝනා පෝ‘ නැතිනම්, ‘අවොත් ආවා, ‘ගියොත් ගියා‘ නැතිනම් ‘එනවා නම් වරෙන්, ‘යනවා නම් පළයන්‘ වැනි ඒවා ය. එයින් අදහස් වන්නේ ඕනම දේකට ඔට්ටුයි. සූදු ගසන විට එවන් දේවල් වලට මුහුණ දිය යුතුය. එහිදී ප්‍රථිපලය අහඹුය. එය සූදුවේ ප්‍රවීනතාවය, දක්ෂතාවය, නිපුණබව වගේම කපටිකම සහ බොරැව මත ලැබෙන ප්‍රථිපලය ‘වෙනස්‘ වේ. එසේම මේ දේවල්ම භාවිතා කරමින් ප්‍රතිඵලය ‘වෙනස් කරගත‘ හැකිය.

නමුත් රටක නීති පද්ධතියක් ආරක්ෂා කිරීමට, නිළ ඇදුම් ලා ගනිමින් සිටින පොලීසියේ නිළධාරින්ට එවැනි බූරැ පොළක හැසිරීමක මෙන් තමන්ට ඕනෑ අයුරින් තීරණ ගැනීමටත්, තමන්ට රිසි පරිදි චණ්ඩිකම් පෑමටත් නීතියෙන් අවසර දී නැත. බූරැ පිටියේ මෙන් වානා වා පෝනා පෝ පන්නයේ ක්‍රියාවන් සදහා කිසිදු අවසරයක් නීතියේ නැත. නමුත් පසුගිය 15 වනදා හලාවත නගරයේදී එවන් වානා වා පෝනා පෝ පන්නයේ සිට නීති රකිනවා යැයි කියන උසස් ම පොළිස් නිළධාරියෙක් දැක ගැනීමටත් අවන් පන්නයේ ‘චන්ඩි පාට්‘ දැක ගැනීමටත් හැකි විය.

2012 ධීවර විරෝධයට පොලීසිය විසින් වෙඩි තබා ඇන්ටනී ප්‍රනාන්දු ධිවරයා ඝාතනය කරමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් සිදුකල අපරාධයට එරෙහිව සාමකාමී ලෙස විරෝධය පාමින් සිටි විරෝධතාකරැවන්ට, හලාවත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගෙන් ලැබුනේ ඉහත සදහන් කළ බුරැ පොළවල් වල ප්‍රතිචාරයන්ය. එනම් ‘වානා වා, පෝනා පෝ‘ පන්නයේ ප්‍රතිචාරය.

එම උසස් පොලිසි නිළධාරියා එසේ ප්‍රකාශ කලේ විරොධතාකරැවන් කිසිදු අන්දමේ සාමය කඩවන ලෙස, කිසිදු හැසිරීමක් සිදුනොකළ තත්ත්වයක් තුළය. නමුත් එහිදී ‘බූරු පොළවල්‘ වල සිදුවන කපටි හොර සහ මැර වැඩක් පොලීසිය විසින්ම සිදු කළ නිසාය. එනම් පොලීසිය විසින් සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් යකඩ කූරැත් සමග විරෝධතාකරැවන් අතරට යොදවා තිබීම හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වයකදී පොලීස් නිළධාරියා විසින් දැක්වූ ප්‍රතිචාරයන්ය. සාමකාමී විරෝධයක නිරත ජනතාවට නීතිය රකිනවා යැයි කියන පොලිස් නිළධාරීන් ප්‍රතිචාර දැක්වූවේ සූදු පිටි, බූරැ පොළවල් වල හැසිරෙන වල්මත් වූවන් ලෙසය.

එයින් කියැවෙන අනෙක් බිය ජනක දෙය නම් කිසිදු නීතිමය තත්ත්වයක් නොසලකා වුවත් ඔනෑම දෙයක් මෙම නිළධාරීන්ට කළ හැකි බවය. එය සෘජුවම, කිසිදු හිරිකිතයකින් තොරව ‘අවශනම් අපිට ගහන්නත් පුලුවන්‘ යැයි පොලීසිය පවසන්නේ එබැවිනි.(බලන්න වීඩියෝව)

මෙය එක් පසකින් මෙවන් ආණ්ඩුවක පොලීසිය, මෙවන් දෙයක් ප්‍රසිද්ධියේම පැවසීම පුදුම විය යුතු තත්ත්වයක් ද නොවේ. මිනිසුන්ගේ ජීවිත පිළිබදව කිසිදු වගවිභායක් නැති පාලනයක, එම පාලනය ආරක්ෂා කිරීමට සිටින(මිනිසුන් ආරක්ෂාවට නොවේ) මෙවන් අවනීතික පොලීසියකින් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ මේ හලාවත නගරයේ දී ම මීට දෙවසරකට පෙර ඇන්ටනීට වෙඩි තබා, ඔහුව ඝාතනය කර, ලොවටම පෙන්වූයේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධි, ප්‍රචණ්ඩ ආණ්ඩුකරණයක ස්වරෑපයයි. කටුනායකදී ද, රතුපස්වල දී ද පෙන්වුයේ එයයි. ඊට පෙර වැලිකඩ සිරකරැවන්ට වෙඩි තබමින් ද, ව්විනියාවේ හිරගෙදර තුල පහරදී මරා දැමුණු නිමලරෑබන්, ඩෙල්රැක්ෂාන්ගේ ඝාතනවලින් ද පෙන්වූයේ එයයි. යුද්ධයෙන් වසර 5කට ආසන්න වෙමින් තිබියදී ද, ‘‘එල්.ටී.ටී.ඊ යේ 12,000ක් පුනරුත්ථාපනය කරලා එළිය දෙනවා. හරිනම් එවලේම මරන්න තිබුණා.පතරොම් දොළොස් දාහක් පමණයි යන්නේ.‘‘ යනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ එම නිසාය. රාජපක්ෂලාට මෙන්ම මෙවැනි ඇමතිවරැන්ට මෙන්ම ඔවුන්ව ආරක්ෂා කරමින් ජනයා පීඩනයට පත්කරන රාජපක්ෂ පොලීසියේ මෙවන් නිළධාරීන්ට ද මිනිසුන්ගේ ජීවිත පිළිබදව කිසිදු වගකීමක් නැත. මිනිසුන්ගේ ජීවිත ද, මහපොලව ද මහමුහුද ද මෙවැනි පාලකයින්ට සූදු පොලේ දමා සූදු කෙලිය හැකි භාණ්ඩ බවට පත් කර ගෙන හමාරය. පුදුමය නම්, එම දූෂිත, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය හදුන්වන්නේ ‘ආසියාවේ ආශ්චර්ය‘ කියා ය!