ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක් ඇති කරමින් අප්‍රිකානු මෙන්ම ලතින් ඇමෙරිකානු නායකයින් සහ ඔවුන්ගේ තානාපතිවරුන් රාජපක්ෂට වචනයක් දී තිබේ. එනම් එක්සත් ජාතීන්ගේ තෙවන යෝජනාවට විරුද්ධව තම මතය ප්‍රකාශ කරන බවය. මේ අතර ඇතැම් තීරණාත්මක රාජ්‍යයන් කිහිපයක් අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටින බව ලැබෙන තොරතුරු වේ. විශේෂයෙන් ජපානය අදාළ යෝජනාව පිළිබඳව දක්වන අදහස තවමත් ස්ථීර නොමැති අතර තවත් රටවල් කිහිපයක් එම ස්ථාවරයම දරමින් සිටිති. කෙසේ වෙතත්, ඉන්දියාව සුපුරුදු පිළිවෙතම අනුගමනය කරමින් අදාළ යෝජනාවට පක්ෂව තම මතය ඉදිරිපත් කරනු ඇත. ඉන්දියාව සෑහෙන ප්‍රමාණයකින් අදාළ යෝජනාවේ කාරණා වෙනස් කිරීමට සමත් විය. නමුත් හෙට දිනයේ ප්‍රථිපල නිකුත්වන තෙක් කාරණා කිසිවක් ස්ථීර ලෙස සඳහන් කළ නොහැකිය.

මේ අතර ප්‍රකට නීතිවේදීයෙකු වන ජෙෆ්රි රොබර්ට්සන් ජිනීවා නුවරදී මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අදාළ යෝජනාවේ ඇති වැදගත්කම සහ ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමේ වැදගත්කම් පැහැදිලි කරනු ලැබීය. බැලූ බැල්මට අතිශය සාර්ථක පැහැදිලි කිරීමක් වූ එහිදී ඔහු ලංකාවේ නිතීයේ ආධිපත්‍ය ඛේදජනක ලෙස බිඳ වැටී ඇති ආකාරය ගැන පැහැදිලි කරමින් එය යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූයේ යැයි කියන යුධ අපරාධවලට සම්බන්ධ කොට දැක්වීය. එසේම හෙතම ආණ්ඩුවේ මිලිටරිකරණය පැහැදිලි කිරීම සඳහා උතුරු හෝ නැගෙනහිර පළාත ගෙන හැර පෑමට වඩා, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධූරයෙන් පළවා හැරීමෙන් පසු ලංකාවේ නාවික හමුදාව පැවැත් වූ මල්වෙඩි සංදර්ශනය ගැන සඳහන් කළේය. මෙය සැබවින්ම කරුණු වඩාත් සූක්‍ෂමව ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එමඟින් සමස්ථ ගැටලුවට තම අවදානය යොමු කරමින් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍ය ඉදිරිපත් කරනු ලබයි. එය එකිනෙකට සම්බන්ධ කිරීමයි.

නමුත් ලංකා ආණ්ඩුව පැත්තෙන් මෙය හාත් පසින්ම වෙනස්ය. එය එසේ සිදුවිය යුතුය. මන්ද බොරුකාරයා තමන් ප්‍රකාශ කළේ කුමක්ද යන්න මතක තබා ගත යුතු බැවිනි.

මෙරට ජනධිපතිවරයා මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කළ මෙරට තානාපති සේවාව අදාළ යෝජනාවට එරෙහිව තම කාර්ය ඉටුකිරීමේදී ඉදිරිපත් කළ මූලික සහ එකම කාරණය වූයේ එය ශ්‍රී ලංකාවේ ස්වරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානියක් වන බව පෙන්වීමය. මෙම තර්කය සෑහෙන ප්‍රමාණයකට සාදාරණ කාරණයක් ලෙස ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව පෙනේ. කෙසේ වෙතත් ලංකාවේ නිතීයේ ආධිපත්‍ය ගැන මෙන්ම සිදුවුණු අපරාධ සම්බන්ධයෙන් ලංකාව විසින් බොරු කියමින් සිටින බව සෑම දෙනෙකුටම අවබෝධ වූ කාරණය වේ. නමුත් එම කාරණා දෙවැනි කොට සැලකීමට තරම් ඇතැම් රාජ්‍යයන් තීරණය කරනු ලැබුවේ එම රාජ්‍යයන් විසින්ද අනුගමනය කරමින් සිටින ක්‍රියාපිළිවෙත රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙතම වීමයි. එබැවින්, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු නායකයින් පමණක් නොව ඇතැම් ආසියානු රටවලද අදාළ යෝජනාවට විරුද්ධ වීමට තීරණය කොට ඇත්තේ එම මුලික ගැලපීම කරන කොට ගනිමිනි.

මේ අතර යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ගැනීම සඳහා බොහෝමයක් රාජ්‍යයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් අතිශය කාර්ය බහුල වී සිටිති. ඔවුහු ඡන්දය ස්ථීර වශයෙන්ම විරුද්ධව ලැබෙන බවට අනුමාන කළ හැකි අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්වල තානාපතිවරුන් පිටුපසද ගමන් කරමින් මෙහි ඇති වැදගත්කම පැහැදිලි කරමින් සිටිති. එසේම අදාළ යෝජනාව කිසිඳු ආකාරයකින් ශ්‍රී ලංකාවේ ස්වරීභාවයට හානියක් නොකරන බව සහ ඉන් හානියක් සිදුවන්නේ දූෂිත රාජපක්ෂ ජනාධිපතිවරයාට, ඔහුගේ ඥාතීන්ට සහ ඔහු විසින් තම පෞද්ගලික වුවමනාවන් ඉටුකරගැනීම සඳහා පත්කොට ඇති තානාපති සේවයට මෙන්ම රටතුළ අවනීතිය පැලපදියම් කොට ඇති කල්ලි වලට බවයි. සැබවින්ම දෙමළ ජනතාවගේ ගැටලුව සහ යුද්ධය අවසාන අදියරේ සිදු වූයේ යැයි විශ්වාස කරන යුධ අපරාධ වලට අමතරව රටේ දේශපාලනික වශයෙන් සිදුවී කොට ඇති විකුර්තිය ඔවුන්ගේ පැහැදිලි කිරීම් සඳහා වඩාත් ක්‍රමෝපායිකව භාවිත කරමින් සිටින ආකාරය නිරීකෂණය කළ හැකිය.

දැකගත හැකි කණගාටුදායක සිදුවීම නම් කොටි සංවිධානය සහ ඊට හිතැති පිරිස් මීට වසර කිහිපයකට පෙර එනම් පළමු යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුගමනය කළ ඇතැම් ක්‍රමෝපායන් මෙවර ආණ්ඩුව සාදාරනීකරණය කිරීම සඳහා පත්කොට ඇති කණඩායම් විසින් සිදු කිරීමයි. එවැනි දෑ මඟින් පවතින තත්වය වෙනස් වීම වෙනුවට තවදුරටත් ආණ්ඩුවට අවාසීගෙන දීමට සමත් වී ඇත. තානාපති සේවය හෝ විදෙස් ප්‍රතිපත්තිය මහපාරට ගෙන ඒමෙන් සිදුවන්නේ රටේ සමස්ථ නොහැකියාව සහ දුර්වල කම පෙන්වීම පමණි. අදාළ යෝජනාවට එරෙහිව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබූ උද්ඝෝෂණ සියල්ලගේම පාහේ දැකගත හැකි වූයේ ඇතැම් මාහාචාර්යවරුන් ආචාර්යවරුන් ආණ්ඩුව සාදාරනීකරණය කිරීමට මීට වසර කිහිපයකට පෙර, රාජ්‍ය නොවන සංවිධානවලට බැන වදිමින් නැටූ නාඩගම වේ. මෙය ගැටලු විසඳන ක්‍රමය නොවන බව තෙවන වරටත් ඔප්පු කොට ඇත. මේ නිසා ලංකා ආණ්ඩුව සහ ඉන් වාසි ලබාගන්නන් සේම අන්ධ දේශප්‍රේමය මත ඊට සහයෝගය දක්වන්නන් සත්‍ය වශයෙන්ම රටට සිදුකරමින් ඇත්තේ හානියක් පමණි.

යුද්ධය අවසන් අදියරේ සිදු වූ අපරාධ විභාගකිරීම සර්ව සම්පූර්ණයෙන්ම අමතක කරනු ලැබුවත්, ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එලවා දැමීම සඳහා සිදුකළ සම්පූර්ණ ක්‍රියාවලීය සදරනීකරණය කළ හැකිද? ලේකම් නන්දසේන රාජපක්ෂ තම බලය භාවිතා කරමින්, සුදු වෑන් දමා සිදුකළ පහර ගැනීම් ප්‍රතික්ෂේප කළ හැකිද? යුද්ධයේදී පමණක් නොව යුද්ධයෙන් පසු සිදුකළ බොහොමයක් දෑ මඟින් රාජපක්ෂ ජනාධිපති ඔප්පුකරනු ලැබුවේ තමන් ඒකාධිපතියෙකු බවත්. හැකිනම් තමන් සමඟ සිටින ලෙස සහ නොහැකිනම් මකබෑවෙන ලෙසය. එය ඔහු ජාතික අයවැය තමන්ගේ පෞද්ගලික සුඛ ව්‍යහරණය සඳහා පාවිච්චි කිරීමෙන්ම දැකගත හැකි විය. සමස්ථ රටේ ක්‍රමවේදය තමන්ට සහ තම පවුලේ පෞද්ගලික වුවමනා එපාකම් වලට නතු කරමින් සිදුකළ භයානක වැඩපිළිවෙලේ එක් සුළු බලපැමක් ලෙස පමණක් අදාළ තෙවැනි යෝජනාවලීය දැක ගත හැකිය. ඉන් පසු දේශීය දේශපාලනය වෙනස් කිරීම අතිශය බැරෑරුම් කටයුත්තක් වනු ඇත.

අදාළ යෝජනාවලීය අවස්ථා කිහිපයකදීම සංශෝධනය කළ අතර ලංකා ආණ්ඩුව මුල සිටම ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් ඊට තවත් සංශෝධන එකතු වී අවසානයේදී වඩාත් සංකීර්ණ ස්වභාවයක් ඊට ලබා දෙනු ලැබීය.

තවත් පැය කිහිපයකි. රාජපක්ෂ විසින් සිදුකරනු ලැබූ හානියේ තරම මුළු ලෝකය විසින්ම උරගා බලනු ඇත. ලංකා ජනතාවට අතිශය බැරෑරුම් තත්වයනට මුහුණ දීම සඳහා තම අනාගතය සැලසුම්කර ගත යුතුව ඇත. රාජපක්ෂ හෝ ඔහුගේ වරිගය මෙන්ම ඔහුගෙන් වාසිලබාගන්නා කිසිවෙක් එම සංකීර්ණ ගැටලුවලට මුහුණ නොදෙනු ඇත. ඔවුහු අවුල හමුවේ පැනයන මංකොල්ලකාරයින් වනු ඇත. මෙම සංකීරණය, වසා ගැනීම සඳහා පැත්වීමට නියමිත මැතිවරණය වඩාත් නිරුවත් සහ ලැජ්ජා සහගත ලෙස භාවිත කරනු ඇත. පවුලේ නාලිකා, ජාතියේ නාලිකා, අභිමානයන් සියල්ලම තම නිරුවත් නිවට නියාලු මෙන්ම කෛරාටක බව පෙන්වමින් තවදුරටත් රටේ සමස්ථ සිංහලයින් හැඟීම් වල සහ දේශප්‍රේමයේ ආලවන්තයින් කරනු ඇත.

indexනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa