Image Credit: jdsrilanka

සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා ඒවායේ ක්‍රියාකාරීත්වයෙන් තොරව යම්කිසි දියුණු සමාජයකට පැවතිය නොහැකි තරම්ය. සෑම සමාජයක්ම ක්‍රියාත්මක පැවතීමට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍යය. එම ක්‍රියාකාරකකම් ආර්ථික සංවර්ධනයේ, සමාජ සංවර්ධනයේ හෝ දේශපාලන සංවර්ධනයේ කියා වෙනසක් නොමැත. මේවායේ ක්‍රියාකාරිත්වයන් ඇණහිටි විට සමාජයක ඇති සමබරතාවය අඩුව ගොස් එක පැත්තකට ඇදී යන ඒකාග්‍රාහී සමාජයක් බවට එය පත්වීමට ඇති අවධානම ඉමහත්ය.

සෑම සමාජයකම පාහේ මෙසේ අඩුවැඩි ප්‍රමාණයක් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් සිටී. (මා ජීවත්වන ජර්මනියේ මෙවැනි සිවිල් සමාජ ක්‍රියාවන්හි නියැලෙන සංඛ්‍යාව මිලියන 20 කට වැඩි බව පැවසේ). සිවිල් සමාජ සංවිධාන ලෙස ගම්වල ප්‍රජාමණ්ඩල, මරණාධාර සමිති, ශ්‍රමදාන සමිති, ගොවි සමිති, ක්‍රීඩා සමිති, මහිලා සමිති, මරණාධාර සමිති ආදී සංවිධාන අප දන්නා ලංකා සමාජය තුල ඉතා සුළභ බොහෝ විට ගමක් පාසා දකින්නට ඇත. සිවිල් සමාජ සංවිධාන යනු රාජ්‍ය නොවන සංවිධානයි. රාජ්‍ය නොවන සංවිධානවලට ඉංග්‍රීසියෙන් යෙදෙන නම Non Government Organization එහෙම නැත්නම් NGO ය.

සිවිල් සමාජ සංවිධානයනට බියක් හැට ගණන්වනවිට ලංකා සමාජය තුල නොතිබුනි. ඒවාට ‘ඇන්ජීඕ’ කියා සිංහලයා ඇමතුවේත් නැත. අපේ ප්‍රජාමණ්ඩලේ, අපේ ණය දෙන සමිතිය, අපේ තොරණට ආධාර සමිතිය, අපේ ශ්‍රමදාන සමිතිය, ආදී නොයෙක් නම්වලින් ඒවා හැදින්වුනි. බොහෝ විට මෙම සංවිධානවල සභාපති, ලේකම් ආදීන් ගම් මට්ටමින් හැදින්වීමේදී ලේකම් මහත්තයා, සභාපති මහත්තයා ආදී ලෙසින් යොදා ගනු ලැබීය. මෙම සමිති පලාතේ යම් යම් උත්සව ආදියට මේ දෙදෙනා නියෝජිතයින් ලෙසද යවනු ලැබීය. සමහරවිට ඔවුන් එතුලින් යම් යම් ප්‍රතිලාභ ද ලබන්නට ඇත. ඒත් එවැනි අවස්ථාවක ඔවුන් පුද්ගලයින් ලෙස ඔවුන් කළ වැරැද්ද විවේචනය කළා මිස මෙවැනි සිවිල් සමාජ සංවිධාන හොර ගුහා යැයි කිසිවෙකු නොපැවසීය. එසේත් නැත්නම් ප්‍රජාමණ්ඩල හෝ ණය දෙන සමිති හොර ගුහා ලෙස, මේවා සමාජයට අහිතකර දේවල් ලෙස හැදින්වූයේද නැත.

සිවිල් සමාජ සංවිධාන කෙරෙහි අද වන විට වෛරක්කාරී අදහසක් සමාජ ගත වන්නේ කුමන හේතුවක් මතද? රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව දේශපාලන ආධිපත්‍ය දරන්නවුන්ගේ වෛරය යොමුවීම ඇරඹෙන්නේ කුමන් හේතූන් මතද? සියළුම ඒකාධිපති දේශාපලකයන් සිවිල් සමාජ සංවිධාන පිළිකෙව් කරති. එසේ වන්නේ ඇයි?

පෙරදී සමාජ සංවිධාන පැවතුනේ ගමක, නගරයක සුභ සාධන සහ පුන්‍ය කටයුතු සංවිධානය කිරීම අරමුණු කරගෙනයි. නමුත් විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි දේශපාලන පිබිදීමක් ඇති සමාජ ක්‍රියාකාරීන් සිවිල් සමාජ සංවිධාන තුලින් පවතින දේශාපාලන බලාධිකාරය සහ ඒවායේ ඇති අධිපතිවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධීබව විවේචනය ඇරඹේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තුල මේවා විශාල සමාජ බලවේග බවට පත්වේ. ලක්ෂ ගණන් මිනිසුන් වැරදි දේශපාලන ක්‍රියාදාමයන්ට එරෙහිව වීදි බැස්සහ. ඇමරිකාවේ මාටින් ලූතර් කිං ලාගේ නායකත්වයෙන් ලක්ෂ ගණන් මිනිසුන් කලු ජාතීන් යටපත් කිරීමට එරෙහිව, කලු ජාතික අයිතීන් සඳහා පාරස බසින අතර වියට්නාම් යුද්ධයට එරෙහිව ලෝකය පුරාම නැගෙන සාම බලවේගය බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රවටල සිවිල් සංවිධාන ලෙසින් මතුවී ආහ. මෙම සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරිත්වයට එරෙහිවන මෙම රටවල පාලකයින් මුලින්ම කුල්ලෙන්, පොල්ලෙන් සහ කදුළු ගෑස් සහ වෙඩි උන්ඩයෙන් මේවා යටපත් කිරීමට සූදානම් වූවා වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නැගෙන මෙම සිවිල් සමාජ අරගල ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තලා දැමිය නොහැකි වේ. එනිසා මෙම සිවිල් සංවිධාන සමග එකඟතාවයන් වලට යාමට මෙම රාජ්‍යයන්වලට සිදුවිය. නමුත් මෙම රාජ්‍යයන් ඔවුන් සමග එකඟවන්නේ සිවිල් සමාජ සංවිධායන්හි බලය නිසා මිස එම රාජ්‍යයන් රාජ්‍ය නොවන සංවිධානවලට ඇති ආදරයක් නිසා නොවේ. ඔවුන්ට හැකි සෑම විටකම මෙම සංවිධානවලට සහ ඒවායේ මූලික වූ අයට චෝදනා කිරීම සහ හිරිහැර කිරීම දිගින් දිගටම කරනු ලැබේ. උදාහරණයක් ලෙස ඇමරිකානු සාම ව්‍යාපාරය සහ යුද්ධයට එරෙහිව ගී ගැයූ ජෝන් ලෙනන්ට ස්ථිර වීසා දීම ඇමරිකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

1961 පෘතිගීසි හමුදා රජය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයන් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික නීතිවේදියෙකු ‘ඔබ්සර්වර්’ පුවත්පතට ලියූ ලිපියකින් ලෝකය පුරා ඇති කරන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ‘ක්ෂමා’ ආයතනය (Amnesty International) බිහිවේ. මෙවැනි සංවිධාන දිගින් දිගටම හැට ගණන්වලදී මතුවන්නේ ලෝකය තුල මිනිස් අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ ඇතිවන උද්ඝෝෂන තුලිනි. වදයට පැමිණවීමට එරෙහිව, නීතිමය ක්‍රියාදාමයක් නොමැතිව අත්අඩංගුවය ගැනීමට එරෙහිව, මිනිස් අයිතීන් උල්ලංඝනයන්ට එරෙහිව නැගෙන සිවිල් සමාජ ඉල්ලීම් ඉවත දැමිය නොහැකි ලෙස ලෝකය පුරා රැල්ලක් මෙන් හමායයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය තුල නැගී එන තරුණ ප්‍රගතිශීලී බලවේගයන් දිනෙන් දින සිවිල් සමාජය ලෙස සංවිධානය වෙන්නේ යුද්ධයට, ආයුධවලට සහ න්‍යාෂ්ඨික ආයුධවලට එමෙන්ම ඒකාධිපති දේශපාලනයට එරෙහිවයි. ඒවාගේම තුන්වන ලෝකයේ රටවල්තුල බටහිර රටවල් කරන මැදිහත්වීම්වලට එරෙහිව තමන්ගේ රාජ්‍යයන්ට, ආණ්ඩුවලට බලපෑම් ඇති කිරීමද මෙම සිවිල් සංවිධාන මගින් අරඹනු ලබයි. යුද්ධයට සහ න්‍යෂ්ඨික අවි වලට එරෙහිව නැගිටීම අති දැවැන්ත එකක් විය.

මේ අවධිය වන විට තුන්වන ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාර සහ දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය විරෝධී ව්‍යාපාර වලටද සහයෝගීතා ව්‍යාපාර මේ සිවිල් සමාජ කණ්ඩායම්වලින් මතුවේ. වියට්නාම් යුධ විරෝධය, පිනෝචේගේ ඒකාධිපති රාජ්‍යයට විරෝධය ලෙස මතුවන මෙම සිවිල් සමාජ මැදිහත්වීම පෙර තිබූ සමාජ සුභ සාධක මට්ටම අභිබවා දේශාපාලනමය තලයකට ගමන් කරයි. ඉහතින් සඳහන් කළ පරිදි ආරම්භයේදී මෙම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිවිල් සමාජ සංවිධාන කුල්ලෙන්, පොල්ලෙන් යටපත් කිරීමට උත්සාහ කළ ද අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සිවිල් සමාජය තුල ඇති නිරන්තර අරගලයට ඇහුම්කන් දීමට ධනේෂ්වර රාජ්‍යයට සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ධනේෂ්වර රාජ්‍යයක පවතින්නේ සිවිල් ජනයාගේ සංවිධානාත්මක කේවල් කිරීමේ බලය නිසාවෙනි. එය නිරන්තර සිදුවන කේවල් කිරීමක් තුල පවතී. යම් සමාජයක සිවිල් ජන සමාජ කොතරම් දුරට ශක්තිමත්ද එතරම් දුරට එම රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වනු ලබයි.

මේ අලුත් නැම්ම ඇතිවීමට ප්‍රථම ද සිවිල් සංවිධාන තම දේශපාලන අයිතීන් සඳහා සංවිධානය වීමේ අවස්ථා ඉතිහාසයේ නොයෙක් වර දකින්නට ඇත. උදාහරණයට 1915 දී පලමු ලෝක යුද්ධයට එරෙහිව ඕලන්දයේ හේග් නුවරට රැස්වන බුද්ධිමත් යුධ විරෝධී ස්ත්‍රීන් දහසක් විසින් යුද්ධයට එරෙහි සම්මුතියක් ඇති කර ගනිමින් ‘‘සාමය සහ නිදහස සඳහා ජාත්‍යන්තර ස්ත්‍රීන්” (WILF) ගේ සංවිධානය පිහිටුවති. මෙහි මූලික වූ සමහර ස්ත්‍රීන්ට තම රටවල් වලින් පිටුවහල් වීමට පවා සිදුවිය.

හැට ගණන්වල ආරම්භ වී හැත්තෑ ගණන්වල ශක්තිමත්ව වැඩෙන මෙම නව සිවිල් සංවිධානයන් අසූ ගණන් වන විට ලෝකය පුරා ජාල ගතවෙමින් ශක්තිමත් බලවේගයක් බවට පත්වේ. මෙම සංවිධාන එතෙක් සිවිල් සමාජ සංවිධානවල තිබූ සුභ සාධන කටයුතුවලින් එහා ගිය දේශපාලන බලය ප්‍රශ්න කිරීමේ ක්‍රියාදාමයට අවතීර්ණවීම අලුත් තත්වයක් ලෝකය තුල ඇති කරති.

මේ සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධානයන් ගොඩ නැගෙන අතර ඒවායේ ශක්තිය නිසාම ඒවාට තම රටවල් තුල මෙන්ම ජාත්‍යන්තර සංවිධාන (එක්සත් ජාතීන්ගේ මණ්ඩලය) තුලද තම අදහස් සහ ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි මට්ටමක අයිතීන් දිනා ගනු ලබති. මේ තත්වය ලෝකය තුල අලුත් දේශාපාලන නැම්මක් ඇති කරන අතර මෙම සංවර්ධනය අද වන විට තවත් ඉදිරියට ගමන් කරමින් පවතී. නමුත් තාමත් මෙම ආයතනයන් වල ඉල්ලීම් සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අයිතිය ඔවුන්ට තිබුනා වුවත් තීරණ ගැනීම්වලට අයිතියක් ඔවුන් සතු නොවේ. නමුත් දිනෙන් දින දියුණු වන සිවිල් ජන සංවිධාන වල උද්ඝෝෂණයන්හි ප්‍රතිඵල ලෙස ජාත්‍යන්තර නීති සකස්වීමේදී විශාල බලපෑමක් ඇති කරයි.

ලංකාව තුල සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව බලවත් වෛරී ප්‍රචාරයක් කරමින් පවතී. ඇන්ජීඕ කාක්කො, ඩොලර් කාක්කො ආදී නොයෙක් නොයෙක් පරිභවයන්ද ඒ සමග වේ. බොහෝ විට ලංකා සමාජය යමක් දෙස බලන්නේ එහි ඇති හේතු සාධක බලා එය විග්‍රහ කරගෙන නොවේ. යමෙකු පැවසු විට එය විශ්වාස කිරීම සමාජ සිරිතයි. සමහර විට ප්‍රජාමණ්ඩලයක සභාපති, ශ්‍රමදාන සමිතියක ක්‍රියාකාරිකයෙකු ‘එන්ජීඕ කාරයො අපේ රට විනාශ කරන්න බලන්නෙ’ ‘එන්ජීඕ කාරයො ඔක්කොම හොරු’ කියා කියනු අපට අසන්නට ලැබේ. ඒ ඔහුද එන්ජීඕ කාරයෙකු ලෙස සිටිමිනි. ලාංකික සම්භවයක් ඇති ජාත්‍යන්තර පිළිගත් ලේඛකයෙකු වන මයිකල් ඔන්ඩච්චි තම පවුල ගැන ලියන කෘතියේ වරක් මෙසේ ලියයි. ‘ලාංකිකයෙකුට ඔබ හේතු දහසක් පෙන්නුවත් එය පිලිනොගන්නා ඔහු ඔබ හොඳට ගොතා කියන එක බොරුව හිස් මුදුනින් පිලිගනී’.

ලංකාවේ හැට ගණන්වල, හැත්තෑ ගණන්වල හෝ අසු ගණන්වලත් මෙම සිවිල් සමාජ සංවිධාන විරෝධය නැගී නොතිබුණි. නමුත් ලංකා සමාජය පුරා මෙම සිවිල් සමාජ සංවිධානයන් දහස් ගණනින් පැවතුනි. එය අදටත් එසේමය. ඒත් මේ ලංකා සමාජය ‘ඇන්ජීඕ’ නමින් හදුන්වන්නේ සහ විරුද්ධ වන්නේ කුමකටද? ඇත්තෙන්ම ඇන්ජීඕ කියා විරුද්ධ වන්නේ රටේ බලයේ සිටින ආණ්ඩුව සහ ආයුධ බලය ඇති කණ්ඩායම්වලින් කරන නින්දිත පහත් ක්‍රියාවන් සහ මිනී මැරීම්වලට එරෙහිවන සංවිධානවලට පමනි. රටක සාමය නැතිකර යුද්ධයක් ඇතිකළ විට දුක් විදින්නේ එහි ජනතාවයි. අත්තනෝමතික ලෙස මිනිසුන් අත්අඩංගුවට ගැනීම, වද දීම, මරා දැමීම, අතුරුදහන් කිරීම තුල අනාරක්ෂිත වන්නේ රටේ ජනයායි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතීන් උල්ලංඝනය කළ විට එහි විපාක විදින්නේද ජනයායි. එසේ නොමැතිව ඒවා කරන ආණ්ඩුව, පොලීසිය, හමුදාව හෝ සන්නද්ධ කණ්ඩායම් නොවේ. එසේ නම් ලංකා සමාජයේ ජනයා මේ සාපරාධී ක්‍රියාවන් කරන අයට එරෙහි නොවී ඒවාට එරෙහිවන්නන්ට එරෙහි වීම කණගාටුදායක තත්වයකි.

මෙවැනි විරෝධයක් සමාජ ගතවීමට හේතු ගණනාවකි. මූලික කාරණය ලංකා සමාජය ප්‍රශ්නයක් තමන්ම විග්‍රහ කර ගැනීමට සූදානම් නොමැති, එය ඉහළින් අයෙකු කියා දෙන තුරු බලා සිටින සමාජයක් වීමයි (වැඩවසම් සහ ගැති බවින් යුතු). අනෙක තමන්ට අනෙකා හානියක් කිරීමට බලා සිටින අයෙකු ලෙස වටහා ගන්නා සැකය මුල් කර ගත් සමාජයක් වීමයි. ඒවාගේම තමන්ගේම ප්‍රශ්නය හැර අනෙකාගේ ප්‍රශ්නය දෙස දෑස් විවිර කිරීමට සූදානම් නොමැති පටු ආත්මාර්ථය මුල්කරගත් සමාජයක් වීමය.

මා මෙහි මුලින්ම සඳහන් කලාක් මෙන් සියලුම ඒකාධිපති රජයන්, ෆැසිස්ට්වාදී කණ්ඩායම් සිවිල් සමාජය සංවිධානය වෙනවාට තරම් වෙන කිසිවකට බියක් නොදක්වති. එනිසාම දේශපාලන ක්‍රියාදාමය ගැන මැදිහත්වන සිවිල් සංවිධානවලට එරෙහිව විශාල මත ප්‍රචාරයක් ගෙනයනු ලබයි. ලංකා රාජ්‍ය මිනිස් අයිතීන් ගැන කතා කරන ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි සංවිධානවලට විරුද්ධය. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂද එම සිවිල් සංවිධාවලට විරුද්ධය. එල්ටීටීඊයට බලය පැවතුනු ප්‍රදේශවල සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඝාතනය කරනු ලැබීය. සිංහල ජාතිවාදී සංවිධානවල මෙම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් නයාට අඳුකොළ මෙනි. මේ සියළු දෙනාගේ පොදු සතුරා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ නිදහස ගැන කතා කරන සිවිල් සමාජ සංවිධානයන්ය. ඒ මේ සියලු දෙනා තමන්ගේ ආධිපත්‍ය හැර සිවිල් සමාජ බලපෑම් කළ හැකි ක්‍රියාධරයන් කොටසක් ඇතිවීමට ඇති බිය හේතු කරගෙනයි. ඒකාධිපති රාජ්‍යයන් මෙම සිවිල් සංවිධානවලට එරෙහිව තමන්ගේ අත්තනෝමතික පාලනයන්ට එරෙහිව ඔවුන් හඬක් නගන බැවිනි. සන්නද්ධ සහ ඒකාධිපති මනසක් හිමි කණ්ඩායම් ඒවාට එරෙහි වන්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රචන්ඩ ක්‍රියාවන් ඔවුන් විසින් එලිදරව් කිරීමට ඇති බිය නිසාය. සියළු ඒකාධිපති ෆැසිස්ට්වාදීන් කැමති වන්නේ එහෙයියන් ලෙස ජීවත්වන මිනිසුන් ඇති සමාජයකටය. ලංකා සමාජය මේ සිවිල් සමාජ සංවිධානයන්ට එරෙහිව ඇන්ජීඕ කාරයෝ, කුමන්ත්‍රණකාරයෝ ලෙස නොනැවතී කරගෙන යන ප්‍රචාරයන් එක දිගටම ඇසීම තුලින් අවිඥ්ඥානිකව ඒ මත ගිලගෙන හමාරය.

මෙම සිවිල් සමාජ සංවිධාන ලංකාවේ ඇති වන්නේ බහුජන සංවිධාන ලෙස විශාල බලවේගවශයෙන් නොවීම හේතුවෙන් මේවා දෙසට ඇගිල්ල දික් කිරීමට පහසුය. අනෙක් කාරණය ලංකාව තුල මෙසේ ජාත්‍යන්තර සිවිල් සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මුල් වී ඇත්තේ ඉංග්‍රීසී භාෂාව හොදින් හැසිරවිය හැකි මැද පන්ති හෝ ඉහළ මැද පන්ති බුද්ධිමතුන් කොටසක් වීමයි. මේ අය ලංකා සමාජය සමග බද්ධවීමක් නැති තරම් සමාජයෙන් වියෝවී සිටිති. මොවුන්ගේ මේ ඉංග්‍රීසි පන්නය ගැන ජාතික දේශාපාලන සහ විප්ලවවාදී දේශපාලනයෙහි යෙදෙන අය අතර විරෝධයක්ද ඇත. අනෙක් අතින් ලංකාව තුල ඇති මෙම සමහර සංවිධාන තුල රටේ අනෙකුත් සෑම ආයතනයක් තුල මෙන්ම මූල්‍ය අක්‍රමිකතාද තිබේ. ඒවා එළිදක්වමින් දේශපාලඥයන් සහ අනෙක් කණ්ඩායම් මොවුන් විදේශීය මුදලට අතකොලු වී ඇති අධිරාජ්‍ය ගැත්තන් යැයි හඬ නගති. ඔවුන්ගේ ආයතනවල ඇති මුදල් වංචා එළිදරව් කරමින් මේ සංවිධාන අහෝසි කළ යුතු යැයි මොර දෙති.

අමාත්‍යංශයක හොර මැර ඇති වූ විට, වංචාවන් එළිදරව් වූ විට එම අමාත්‍යංශය නැති කළ යුතු යැයි කිසිවෙකු නොකියයි. දේශාපලඥයන් සහ ආයතන නිලධාරීන් හොර කම් කලා කියා, වංචා කලා කියා දේශපාලන සහ ආයතන නැති කර දැමීමට කිසිවෙකු ඉල්ලා නොසිටිති. කුලියට මිනී මරන පොලීසියක් ඇති රටක ඒවා එළිදරව් වූ විට මුළු පොලිස් ආයතනයම නැති කර දැමිය යුතු යැයි දේශපාලඥයන්, දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ රජය හඬ නොනගති. නමුත් වැරුද්දට එරෙහි වන එන්ජීඕ එකක ප්‍රධානියෙකු හෝ ප්‍රධානීන් කළ වංචාවක් හෝ අකටයුත්තක් ගැන හඬ නගන මේ සියලු දෙනා මේ එන්ජීඕ රට විනාශ කරන, හොර ගුබ්බෑයම් ලෙස නම්කරමින්, මේවා අහෝසි කළ යුතුය කියා එක හඬින් හඬ නගති. ඒ අන්කිසිවක් නිසා නොව මෙම එන්ජීඕ කතා කරන්නේ මෙම දේශපාලඥයන්ගේ, රජයේ, සන්නද්ධ කණ්ඩායම්වල, පොලීසි සහ හමුදාවල් ආදියෙන් කරන මිනිස් අයිතීන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනයට එරෙහිව බැවිනි. සිවිල් සමාජ සංවිධානයන්ගෙන් තොර සමාජයක් දේශපාලනික අත්තනෝමතික බවට නිදහස් කළ රටක් බව සමාජය වටහා ගන්නා තුරු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමාජයක තහවුරු කළ නොහැක.

මේ අයුරින් සිවිල් සමාජ සංවිධාන ජාත්‍යන්තර ආයතනවල තම හඬ ඉදිරිපත් කිරීමද, අයිතීන් දිනා ගැනීමද, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දීර්ඝ අරගලයේ එක ජයග්‍රහණයකි. මෙහිදී එක උදාහරණයක් ලෙස අපට වෘත්තීය සමිති සංවිධානය වීම, ඒවා ජාතික වශයෙන් පිලිගැනීමට සහ ජාත්‍යන්තර තලයේ පිලිගැනීමට ලක්වීම ගතහැක. ධනපති ක්‍රමය ආරම්භයේ වෘත්තීය අයිතීන් සඳහා සංවිධානය වීම තහනම් ක්‍රියාවකි. එසේ සංවිධානය වීමට උත්සාහ කළ අයට දිගින් දිගට පහර දුන් අතර ඒවායේ නායකයින් සිරගත කරනු ලැබීම හෝ සේවයෙන් පහ කරනු ලැබීය. නමුත් වෘත්තීය අයිතීන් සඳහා දීර්ඝ කාලීන අරගල කල වෘත්තිකයන් වෘත්තීය අයිතීන් ලෝකය පුරා අද දිනාගෙන ඇති අතර ඔවුන්ගේ අයිතීන් ජාත්‍යන්තර වශයෙන්ද තහවුරු කර ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය( ILO) තුල ඔවුන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ඇතිකර ගනු ලබති. අද වන විටත් කිසිම ඒකාධිපති රටක වැඩවසම් රටක වෘත්තීය සමිති සංවිධානය වීමට ඉඩ නොදෙති. එසේ උත්සාහ කරන නායකයින් සිරකරනු ලබති. සමහර ඒකාධිපති රටවල්වල (උතුරු කොරියාව) එසේ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමට ඉඩ දී ඇත්නම්, ඒවා එම ඒකාධිපති රාජ්‍යයේ අතකොලු බවට පත්කර ගෙන ඇත. වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධාන වෙති.

මිනිස් අයිතීන් පිළිබඳ සිවිල් සංවිධාන සංවිධානය වීමද මේ ආකාරයේම දෙයකි. ඒවා තවමත් පවතින්නේ ආරම්භක අවධියේය. නමුත් වසර 40 ක 50 ක පමණ කෙටි කාලයක් තුල ජාත්‍යන්තර තලයේ ජාත්‍යන්තර ආයතන තුල ඔවුන් ලබාගෙන ඇති ඉඩකඩ සැලකියයුතු තරම්ය. නමුත් තාමත් ඔවුනට කළහැකිව ඇත්තේ රාජ්‍යයක හෝ සන්නද්ධ ආධිපත්‍ය කණ්ඩායමක සාපරාධී ක්‍රියාවන් එලිදරව්කිරීම, ඒ ගැන හඬක් නැගීම සහ ජාත්‍යන්තර අවධානය ඒ වෙත යොමු කිරීම පමනි. තීරණ ගැනීමේ අයිතියක් ඔවුන් සතුව නොමැති අතර තීරණවලට බලපෑම් කිරීම කළ හැක්කේද ඉතා සීමිත ප්‍රමාණයකිනි.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi