Image Credit: adaderana.lk

ශී‍්‍ර ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 1507ක පාඩුවක් වූ බව විදුලිබල ඇමතිනිය පාර්ලිමේන්තුවේදී (23-10-2014) ප‍්‍රකාශ කළාය. ඒ ගල් අඟුරු නොසැපයීම නිසාවෙන්, බාල ගල් අඟුරු දහනය කිරීම නිසාවෙන්. ඒ සඳහා වූ අතිරේක බලශක්තිය තෙල් බලාගාර වෙතින් ලබා ගැනීම නිසාවෙන් ආදී ලෙසය.

පුත්තලම ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සපයන්නේ ලංකා කෝල් සමාගම (LCC)විසිනි. ඔවුන් ගල් අඟුරු ප‍්‍රසම්පාදනය සඳහා නොබෙල් (Nobel Resources Ltd.) සමාගම සමගද, ගල් අඟුරු ප‍්‍රවාහනය සඳහා රාජ්‍ය නැව් සංස්ථාව සමගද ගිවිසුම්ගත වී සිටිති. (2010 සිට) ලංකා කෝල් සමාගමේ අයිතිය ලංකා විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, නැව් සංස්ථාව හා වරාය අධිකාරිය විසින් උසුලනු ලැබේ.

පළමු ගල් අඟුරු ටෙන්ඩරය නොබෙල් සමාගමට ලබාදුන් කි‍්‍රයාවලිය (2009) ඉතාම ප‍්‍රශ්නකාරීය. ඉන්පසු අවස්ථා දෙකකදී (2012, 2014) ගල් අඟුරු ප‍්‍රසම්පාදනය සඳහා විවෘත ටෙන්ඩර් කි‍්‍රයාවලිය සැලසුම් සහගත ලෙස කඩාකප්පල් කරන ලද අතර, කිසිදු ටෙන්ඩරයකින් තොරව 2012 සිට මේ දක්වා නොබෙල් සමාගම ගල් අඟුරු සපයයි. 2009 දී ටොන් 650,000 ක්වූ එම සැපයුම 2014 දී ටොන් 20,000,000 දක්වා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරගෙන යනු ලබයි.

විදුලි බලය, ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසු කමකි. එබැවින් ඔරොත්තු දෙන මිළකට, අවශ්‍ය ප‍්‍රමාණයට හා නිසි ප‍්‍රමිතියට විදුලිය සැපයීම රජයේ අනිවාර්යය වගකීමකි. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කර ඇති දිගුකාලීන ජනන සැලසුම් මඟින් ශ‍්‍රී ලංකාවේ වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලීම පිණිස මෙගාවොට් 3000 කට අධික ගල්අඟුරු බලාගාර ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. ඊට අනුරූපව දැනටමත් ජාතික පද්ධතියට පුත්තලමේ දී මෙගාවොට් 900 ක් විදුලිය සැපයීම සඳහා ගල්අඟුරු බලාගාර ඉදිකර ඇති අතර තවත් මෙගාවොට් 500 ක ගල් අඟුරු බලාගාරයක් ත‍්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට ද රජය අනුමැතිය දී ඇත. මෙලෙස ඉදිකර ඇති හා ඉදිකිරීමට සැලසුම් කර ඇති සියළු බලාගාරයන් වලින් අවම වශයෙන් වසර 30කට වඩා කාලයක් ජාතික පද්ධතියට විදුලිය සැපයිය යුතුව ඇත.

පුත්තලම පළමු අදියරේ මෙගාවොට් 300 සඳහා ටෙන්ඩර් කැඳවා ගල් අඟුරු මිළදී ගැනීමේ සිට මේ දක්වා සිදුවූ සියළු ක‍්‍රියාකාරකම් අවුල් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළේ 2009 වසරේ සිටය.

පළමුවෙන්ම 2009 දී පළමු අදියර සඳහා මිළ ගණන් කැඳවීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයා හිතාමතා අවුලක් සිදු කලේය. එම අවස්ථාවේ දී ටෙන්ඩර් ඇගයීම සඳහා තාක්ෂණික කමිටුව භාවිතා කළ සූත‍්‍රය අනුව එම කමිටුව දැනුම් දුන්නේ රටට වඩාත්ම වාසිදායක ලංසුව ඉදිරිපත් කළේ හෝල්සිම් සමාගම බවයි. එහෙත් එම ඇගයීමේ සූත‍්‍රය තමන්ට රිසි පරිදි වෙනස් කළ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් වැඩි මිළ ගණනක් ඉදිරිපත් කර නොබෙල් සමාගම සමඟ පමණක් කේවල් කර එම සමාගමට ටෙන්ඩරය ප‍්‍රදානය කෙරිණි.

ඉන් පසු මේ වනතෙක් දෙවතාවක් ගල් අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ නමුත් (2012, 2014) හිතා මතාම එම පටිපාටිය අවුල කර දිගින් දිගටම නොබෙල් සමාගමෙන් පළමු අදියරේ මෙගාවොට් 300 සඳහා පමණක් නොව අළුත් මෙගාවොට් 300 බැගින් වූ බලාගාර දෙක සඳහා ද ගල් අඟරු මිළ දී ගැනීමට කටයුතු කෙරිණි. දෙවන වතාවේ මිළ ගණන් කැඳවූ විට දී සුදුසුකම් ලැබූ සමාගම් අතරින් ගල් අඟුරු සැපයීම සඳහා වැඩිම මිළ ගණනක් ඉල්ලා සිටියේ නොබෙල් සමාගමයි. එහෙත් අවසානයේ දී නොබෙල් සමාගමෙන්ම ගල් අඟුරු මිළ දී ගැනීමට පියවර ගැණිනි.

එනම් 2012 සිට මේ වනතෙක් ගල් අඟුරු මිළ දී ගන්නේ කිසිදු විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව වංචනික ලෙස වැඩි මිළකටය. එම අවස්ථාවේ දී කැබිනට් නිරීක්ෂණයක් මඟින් මෙම වංචනික උපක‍්‍රම හෙලිදරව් වූ නමුත් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ පවා නොබෙල් සමාගමට වාසි සහගත ලෙස වෙනස් කර වාර්තා කර තිබිණි. අමාත්‍ය මණ්ඩලය නොගත් තීරණ පවා වාර්තාවට ඇතුළත් කර තිබූ බව ලිඛිතව ම අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබූ අතර, එය පවා නොසලකා හැර තිබිණි.

තුන්වන වතාවේ ටෙන්ඩර් කැඳවූ විට ලංසු ඉදිරිපත් කළ සමාගම් හයෙන් පහක් ම මූලික සුදුසුකම් සපුරා නැති බව දක්වා ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, සිය නිර්දේශයේ සඳහන් කර තිබූයේ මෙතෙක් ගල් අඟුරු සැපයු නොබෙල් සමාගම ද ටෙන්ඩරය සඳහා මූලික සුදුසුකම් සපුරා නැති බවයි. එමඟින් එම සමාගම ඉදිරිපත් කළ මිළ ගණන් විවෘත කිරීම ද වැලැක්විණි. (2014)

නොබෙල් සමාගම ගල් අඟුරු සැපයීම සඳහා මූලික සුදුසුකම් වත් සපුරා නැතැයි පවසන නිලධාරීන් ඉන්පසු නොබෙල් සමාගමෙන් තවදුරටත් ගල් අඟුරු මිළ දී ගැනීමට අනුමැතිය ඉල්ලා සිටියේය. මෙය කිසිසේත් සිදු නොකළ යුත්තකි. එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගල් අඟුරු වල මිළ වෙනස් වන ආකාරය තීරණය කිරීම සඳහා වැරදි දර්ශකයක් භාවිතා කිරීම නිසා ද ලංකා විදුලි බල මණ්ඩලයට වැඩි මිළට නොබෙල් සමාගමෙන් ගල් අඟුරු මිළ දී ගැනීමට සිදුවී ඇත. මේ බව දෙවන වර ටෙන්ඩර් විවෘත කළ විට අනාවරණය විය. නොබෙල් සමාගම පළමු මෙගාවොට් 300 සඳහා ඒ වනවිට විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු සපයමින් සිටියේ (ටොන් 1ක් ඩොලර් 144යි) තමන් දෙවන වර ඉදිරිපත් කළ මිළට ද (ටොන් 1ක් ඩොලර් 126යි) වඩා වැඩි මිළකටය.

මේ සියල්ල සලකා බැලීමේ දී 2015 වන විට ලංකා විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු මිළ දී ගැනීම මඟින් සිදුවන පාඩුව රු මිලියන 6100 ක් එනම් රු කෝටි 610ක් පමණ විය හැක. එමෙන්ම මෙම තත්වය දිගටම පවත්වාගෙන ගිය හොත් වසරකට විදුලි බල මණ්ඩලයට සිදුවන පාඩුව රු මිලියන 3500 ක් පමණ විය හැක.

දෙවනුව, බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවූයේ යැයි කියන වංචාව විමසා බලමු.
සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනන අංශය විසින් දෙනු ලබන අනුපිළිවෙලකට අනුව ගල් අඟුරු ගෙනඒම වසරක සැප්තැම්බර් 14 සිට අපේ‍්‍රල් 14 දක්වා සිදුවේ. මේ කාලය තෝරාගෙන ඇත්තේ නිරිතදිග අන්තර් මෝසම් හා මෝසම් වර්ෂාව (අපේ‍්‍රල් 14 – සැප්තැම්බර් 14) පවතින කාලයේ පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ගොඩබෑම කළ නොහැකි නිසාය. එයට හේතුව මුහුද රළු වීම නිසා සාගරය මැද සිට බත්තල් මගින් ගල් අඟුරු ජැටිය වෙත ගෙනඒමට නොහැකි වීමයි. මෙය පුත්තලමේ ගල් අඟුරු බලාගාරයක් තැනීමට ගත් තීරණයේ සිට එන තාක්ෂණික ප‍්‍රශ්ණයකි. මේ අනුව අනාගතයේදී මෙගා වොට් 900 ක බලාගාරයක් සඳහා ගල් අඟුරු ටොන් මිලියන 2-2.5ත් අතර වාර්ෂිකව මාස 6ක් ඇතුළත සැපයීම අතිශය අභියෝගකාරී කි‍්‍රයාවක් වනු ඇත.

2012 වර්ෂයේදී අධික නියං තත්වයක් පැවති හෙයින් පුත්තලම බලාගාරය (පළමු පියවර මෙගා වොට් 300ක්) පවත්වා ගැනීම අඛණ්ඩ විදුලි සැපයුමට :24ං7* අත්‍යාවශ්‍ය විය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමත නොකරන ලද කාලයකදී නැව් ගමන් දෙකක් (16, 17) සිදුවිය. ඒ 2012 මැයි 01 හා මැයි 03 දාය.

නැව් ගමන් 16 ගල් අඟුරු ටොන් 69,350ක් තිබූ නමුත් මුහුද රළුවීම නිසා ගොඩබාගත හැකි වූයේ ටොන් 46,776ක් පමණි. ටොන් 22,554ක් ගොඩබාගත නොහැකි විය.

නැව් ගමන් 17 ගල් අඟුරු ටොන් 73,000 ක් තිබූ නමුත් මුහුද රළුවීම නිසා ගොඩබාගත හැකි වූයේ ටොන් 9,663ක් පමණි. ටොන් 63,337 ක් මේ අනුව ගොඩබෑමට නොහැකි විය.

මේ අනුව ලංකා කෝල් සමාගම ටොන් 85,891ක් වටිනා ගල් අඟුරු අදාල පිරිවිතරයන්ට අනුකූලව ලංවිමට සැපයීමට බැඳී සිටියේය. මන්ද ඉහත කී 16, 17 ගල් අඟුරු තොග දෙක සඳහාම ණයවර (LC) හරහා ලංවිම මුදල් ගෙවා තිබූ හෙයිනි.

කෙසේ වෙතත්, 2012 ජූලි 04 දා ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා, ලංකා නැව් සංස්ථාව සමග එකගතාවයකට පැමිණියේය. එය නම්, ලංකා නැව් සමාගම ඉහත කී ගොඩ නොබාන ලද ගල් අඟුරු තොග තුන්වැනි පාර්ශ්වයකට විකුණා පසුව එයට සමාන ගල් අඟුරු තොග ලංවිමට සැපයීමටත් තවත් අමතර ගල් අඟුරු තොග තුනක් (ටොන් 65,000 x 3) ලබා ගැනීමටත් එකග වීමය. ඒ සඳහා වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය නැව් සංස්ථාව ටෝරියන් නම් සමාගමක් සමග ගිවිසුමකට (Back to Back Agreement) එළැඹී තිබිණි. මේ තීන්දුවට ලංවිම නියෝජනය කළ ලංකා කෝල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එක`ග වූයේ නැත. එය ලංකා කෝල් සභාපතිවරයා ඇමතිවරයාට දැනුම් නොදුන් අතර අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට ලිපියක් යවන ලදී.

මේ අතර නව ගල් අඟුරු ප‍්‍රසම්පාදන ටෙන්ඩරය (2012-15) සඳහා අයදුම්පත් කැඳවා ඒවා තාක්ෂණික ඇගැයීමකට ලක් කරමින් තිබිණ.

ලංකා නැව් සමාගම නොවැම්බර් 06 වැනිදා 18 වැනි ගල් අඟුරු තොගය (ටොන් 55,995) සහ නොවැම්බර් 14 දා සිය 19 වැනි ගල් අඟුරු තොගය (ටොන් 32,827) ගෙන ආවේය. ඒ ටෝරියන් සමාගමෙනි. 18 වැනි ගල් අඟුරු තොගයේ ගුණාත්මක තත්වයන් පරීක්ෂාකර මිල ගණන් සැකසීමෙන් පසු තවත් ගල් අඟුරු ටොන් 29,896ක අඩුවක් පැවතිනි. මේ නිසා ලංවිම ස්ථාවරය වූයේ 19 වැනි ගල් අඟුරු තොගය සඳහා ණයවර ලිපියට ගෙවිය නොහැකි බවයි. මන්ද, 16,17 ගල් අඟුරු තොගවලදී එය කලින්ම ගෙවා තිබුණු හෙයිනි. එහි වටිනාකම මිලියන 460ක් විය. 2012 දෙසැම්බර් 22දා 20 වැනි ගල් අඟුරු තොගයද (ටොන් 55,111) ගෙන ආ අතර, අවසාන වශයෙන් ගුණාත්මක තත්වයන් පරීක්ෂා කර බලා වටිනාකම සකසනු ලැබීය. නැව් සංස්ථාව විසින් ටෝරියන් වෙතින් මිලදී ගන්නට බලාපොරොත්තු වූ සෙසු ගල් අඟුරු තොග දෙක ගෙන්වීම ඇමතිවරයාගේ නියෝගයෙන් අත්හිටවිනි.

මෙලෙස 2012 ජූලි – දෙසැම්බර් අතර මේ ගල් අඟුරු තොග තුන (අංක 18,19,20) පිළිබඳ කතිකාව යන අතරේ සිදුවීම් දෙකක් සිදුවිය.

ලංකා කෝල් සමාගම තම අනුමැතිය නොගෙන රාජ්‍ය නැව් සංස්ථාවට හා ටෝරියන් සමාගමේ අනු ගිවිසුමකට අනුව ගල් අඟුරු තොග 05ක් ගෙනඒම පිළිබඳව ලංවිම සභාපතිවරයා හා උප සභාපතිවරයා ඇමතිවරයාට පැමිණිලි කරන ලදී. ඒ අනුව දැනට ගෙන එමින් හා ගෙනැවිත් තිබූ ටෝරියන් සමාගමට අයත් ගල් අඟුරු තොග ගොඩබෑම හෝ ඒවා සඳහා මුදල් ගෙවීම නතර කරන ලෙස ඇමතිවරයා නියෝගයක් දෙන ලදී. (2012-12-03), මේ පිළිබඳව අමාත්‍යාංශය නීතිපතිවරයාගේ මතය විමසන ලදුව, නීතිපතිවරයා දැනුම් දුන්නේ ගල් අඟුරු තොග ප‍්‍රතික්ෂේප කළ නොහැකි බවත්, ඒවා ගොඩබා ඒවායේ ප‍්‍රමිතිය සලකා බලා කටයුතු කරන ලෙසත්ය. (2012-12-21) ඉහත කී අතිරේක ගල් අඟුරු තොග ගොඩබාන ලද්දේ ඒ අනුවය. කෙසේ වෙතත් නොසපයන ලද ගල් අඟුරු ටොන් 29,896 ට අදාල නැව් තොග 19 සඳහා මුදල් නොගෙවන ලෙස ඇමතිවරයා කළ නියෝගය එලෙසම පැවතිනි.

දෙවැනි සිදුවීම නම් ගල් අඟුරු තොග ලංකාවට පැමිණීමටත් පෙර (18,19) ඒවායේ ගල් අඟුරු බාල වර්ගයේ ඒවා බවට ලීඩර් පුවත්පත වාර්තා කිරීමය. මේ අනුව, ගල් අඟුරු තොගවල විද්‍යාත්මක වාර්තා ලංකාවේදී පරීක්ෂා කරන ලදී. එකී වාර්තා පිළිගැනීමට අදාල සමාගම් සූදානම් නොවූ හෙයින් තුන්වැනි විද්‍යාගාරයකින් ද වාර්තා ලබා ගන්නා ලදී. එකී තුන්වැනි වාර්තාව පදනම් කරගෙන ගල් අඟුරු වල ප‍්‍රමිතිය හා වියදම ඇස්තමේන්තු කරන ලදී. එයින් ඇතිවූ දෝෂ පවතී නම් ඉදිරි ගල් අඟුරු තොග වලින් ඒවා ප‍්‍රතිපූර්ණය කරගැනීමට තීරණය කරන ලදී.

මේ අතර, තමන් ගෙන ආ ගල් අඟුරු තොග බාල බවට චෝදනා කරන්නේ දෙවැනි ගල් අඟුරු ටෙන්ඩරයෙන් තමන් අසමත් කිරීමට බව ටෝරියන් සමාගම ප‍්‍රකාශ කළේය.

දෙවැනි ටෙන්ඩරයේ ටෝරියන් සමාගම ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 108 කට මිල කර තිබු අතර, නොබෙල් සමාගම එය ඩොලර් 126 කට මිල කර තිබිණි. ඒ වනවිට නොබෙල් සමාගම ගල් අඟුරු සැපයුවේ ඩොලර් 144 කටය. එමෙන්ම ඉහත කී මාධ්‍ය වාර්තාකරු (ෂවුකට් අලි) හා ගල් අඟුරු ගෙන එන ව්‍යාපාරිකයන්, කැසිනෝ ජාවාරම් කරුවන් අතර සබැදියාව ද වාර්තා වී තිබිණි.

19 වැනි නැව් තොගයට මිල ගෙවන ලෙසත්, නැතිනම් ගල් අඟුරු සැපයීමට තමනට නොහැකි වන බවටත් ලංකා කෝල් සභාපතිවරයා අනතුරු අගවා තිබිණි (2012-11-05). ඔහුගේ වගකීම් විරහිත ක‍්‍රියාවලියත්, අතිරේක ගල් අඟුරු තොග ගෙනඒමේ දුෂිත ක‍්‍රියාදාමයත් නිසා, මේ පිළිබද විධිමත් පරික්ෂණයක් අවශ්‍ය විය. ඒ සදහා ඔහුව ධුරයෙන් ඉවත් කර (2013-01-21), නව සභාපතිවරයෙක් පත්කර, ඒ පිළිබද විමර්ශනය ආරම්භ කෙරිණි. (2013-01-24) ඒ අතර ඇමතිවරයාගේ ධුරය වෙනස් කෙරිණි. (2013-01-29)

ඉන්පසු ඉවත් කරනු ලැබු ලංකා කෝල් සභාපතිවරයා ලංවිම උප සභාපති ලෙස නව පරිපාලනය විසින් පත් කරනු ලැබීය. එමෙන්ම 2013 මැයි මස ගන්නා ලද තීන්දුවකට අනුව කලින් ඇමතිවරයා තහනම් කළ ණයවර ලිපියට ආදළ මුදල ගෙවන ලදී. (මිලියන 460), එමෙන්ම, නව ලංකා කෝල් සභාපතිවරයා ඉතුරු ගල් අඟුරු තොග සපයන බවට පොරොන්දුවක් ද ලබාදෙන ලදී. (2013 මැයි 13 ලිපිය) පසුව එකී ගල් අඟුරු තොගය සපයනු නොලැබීය. මේ අනුව ගල් අඟුරු තොග නොසැපයීම සිදුකර ඇත්තේ ලංකා නැව් සමාගම හා ටෝරියන් වන අතර ඔවුනට ඒ සදහා ලංකා කෝල් සමාගමේ හිටපු සභාපතිවරයාගේ සෘජු උපකාරය ලැබී ඇත. ලංවිමට සිදුවු මිලියන 460 ක පාඩුව සිදුවුයේ ඒ අනුව නව පරිපාලනය කාලයේය.

තත්වයෙන් අඩු ගල් අඟුරුවලින් සිදුවු පාඩුව ගණනය කර ඇත්තේ බලාගාරය මුළු දිනය පුරාම මෙගා වොට් 300 සපයන බව උපකල්පනය කරමින් හා අතිරේක බලය ඞීසල්වලින් ලබාගත් බව උපකල්පනය කරමිනි.

පුත්තලම බලාගාරය සතු උපරිම ධාරිතාව මෙගා වොට් 285 වේ. එය එම උපරිම ධාරිතාවෙන් දුවන්නේ දිනකට පැය 03-04 ක් පමණි. (රාත‍්‍රී 6.30-10.30) ඉතිරිය අඩු ජවයකින් දුවන අතර, මේ නිසා වසරකට මිලියන 1700-2500 අතර පාඩුවක් සිදුවන බව හිටපු ඇමතිවරයා මොරටුව විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනකින් පෙන්වා දී ඇත.

එමෙන්ම සම්පේ‍්‍රෂණ මාර්ගයේ ධාරිතාව අඩු නිසා අද ද මෙගා වොට් 900ක බලය වේයන්ගොඩට ගෙන ආ නොහැක. මේ නිසා සිදුවන පාඩුව මිලියන 3000 කට ආසන්නය.

එමෙන්ම යන්ත‍්‍රය අඩපණවීම නිසා 2011 වසරේදි පමණක් සිදුවු පාඩුව මිලියන 15,000කට අධිකය.

2012 සිට විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගල් අඟුරු සැපයීම නිසා සිදුව ඇති පාඩුව මිලියන 6000 කට අධිකය.

මේ නිසා මේ සියළු කරුණු පිළිබදව විධිමත් විමර්ශණයක් කර වගකිවයුතු සියළු දෙනාට දඩුවම් ලබාදීම වහාම සිදුකළ යුතුය.

විශේෂ ලියුම්කරැවෙකු විසිනි!