බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන් අමාරුවේ වැටී සිටින්නේ එම අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළ රාජ්‍ය සේවයේ සාමාන්‍ය මිනිසුන්ය.

අමාත්‍යාංශය වසා දමන බව දැනුම් දී ඇත. ස්ථාන මාරු යන්නට තැන් සොයා ගන්නා ලෙස නිළධාරීන් දැනුවත් කර ඇති අතර, ස්ථාන මාරු ලබා දෙන හෝ වෙනත් ආයතනවලට අනුයුක්ත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් මෙතෙක් දක්නට නොමැත.

2010 වසරේ අමාත්‍යාංශ කිහිපයක් ඈඳමින් පිහිටුවා ගත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පරිපාලන සේවයේ, ක්‍රම සම්පාදන සේවයේ නිළධාරීන් මෙන්ම, 2005 වසරේ විවිධ අමාත්‍යාංශවලින් පත්වීම් ලද සංවර්ධන සහකාරවරුන්ද, කළමනාකරණ සහකාර සේවයේ නිළධාරීන්ද ඇතුළත් විය. විටින් විට විවිධ තනතුරු නාම යටතේ බඳවා ගත් විශාල පිරිසක්ද දිස්ත්‍රික් සැලසුම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවයේ යෙදී සිටිති.

කොතරම් අරගල කළද 2005 වසරේ චන්ද්‍රිකා රජය යටතේ බඳවා ගත් උපාධීධාරීන්ට සේවා ව්‍යවස්ථාවක්, විධිමත් තනතුරු නාමයක් සකස් කරදීම පසුගිය රජය යටතේ සිදු නොවුණි. එය දිනෙන් දින ඇදෙමින් හමස් පෙට්ටියටම ඇදී ගිය රාජ්‍ය සේවක ඉල්ලීමකි. වසර දහයක් රාජ්‍ය සේවයේ යෙදී සිටියද ඔවුන් තවමත් සහකාරය. මේ තනතුරු නාමය නිසා වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වලට ස්ථානමාරු ලබා ගැනීමද ගැටලුවක් වී ඇත. වසර දහයක් රාජ්‍ය සේවයේ නියැලුණු තමන් වෙනුවෙන් නව රජය වෙතින් හෝ සාධාරණය ඉෂ්ඨ වනු ඇතැයි එම නිළධාරීහු අපේක්ෂා සහගතව සිටිති.

මෑතක මුළුමනින්ම දේශපාලන මැදිහත්වීම් මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව ගම් මට්ටමින් බඳවා ගත් ආර්ථික සංවර්ධන නිළධාරීන්ට සිදුවන්නේ කුමක්ද යන්නත් ගැටලුවකි.

මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිළධාරීන්ට ස්ථාන මාරු ලබා ගැනීමට අවකාශයක් ඇද්දැයි සොයමින් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගානේ රස්තියාදු වන්නට සිදුව ඇත.

රාජපක්ෂ රෙජීමය සිය පැවැත්ම වෙනුවෙන් පැලැස්තර අලවමින් ඉවක් බවක් නොමැතිව රාජ්‍ය සේවය පුරවා දැමූ අතර, එය දැන් රටට අමතර බරක්ව පවතින බව නොරහසකි. රාජ්‍ය සේවයේ පවතින විවිධ විෂමතා නිසා දිගුකලක් තිස්සේ රජයේ සේවකයින් අතර ගොනුවෙමින් පැවති නොසන්සුන් බව මෙවර ජනාධිපතිවරණයේදී වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ඔවුන් පෙළඹවූ අතර, වත්මන් රජය යහපාලනයක් කරා යන ගමනේදී රාජ්‍ය සේවයේ අක්‍රමිකතාද අවම කර ගනිමින් රාජ්‍ය සේවය විධිමත් කරනු ඇතැයිද, නිදහස් කරනු ඇතැයිද ඔවුහු උදක්ම බලාපොරොත්තු වෙති.