සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන් කවරේ ද?

‛විකල්ප’ ඒ පිළිබඳව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආර්ථික අධ්‍යානාංශයේ ජේෙ‍යෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ මහතාගෙන් අදහස් වීමසූවෙමු. මේ ඒ පිළිබදව ඔහු ‛විකල්ප’ සමඟ දැක්වූ අදහස්.


‛‛මේ ආණ්ඩුව ඉදිරියේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් දෙකක් අපට හඳුනා ගන්න පුලවන්. එක් අභියෝගයක් නම් මේ රටේ ජාතික ප්‍රශ්ණය යි. දෙවනි අභියෝගය ආර්ථිකය යි.’’

මේ ආණ්ඩුව යුද්ධය ජයග්‍රහනය කළා. නමුත් ඒ ගැටුමට බලපාපු සාධක එළෙසම පවතිනවා. ගැටුම් නිරාකරනය කියන විෂය තුළ සාකච්ඡා කරනවා, ගැටුමක් නිරාකරණය වූවායින් පසුව ඒ ගැටුම විපරිවර්තනය විය යුතුයි කියලා. ගැටුමට තුඩු දුන් සාධක අහෝසි විය යුතුය කියලා. නමුත් යුද්ධය තුලින් ගැටුම විසඳුවා. නමුත් යුද්ධයට පලපාන ලද කිසිදු සාධකයක් ඉවත් කිරීමට, විපරිවර්තනය කිරිමට මේ ආණ්ඩුව පියවර ගත්තේ නැ. මේ ආණ්ඩුවේ එක මතයක් තියනවා. ඒ මතය තමයි, මේක හුදු ත්‍රස්ථවාදයක් කියන එක. ත්‍රස්ථවාදය ඇතිවෙන්නේ ඇයි කියන කාරණයට මේ ආණ්ඩුවට කිසිම මතයක් නෑ. ආණ්ඩුව හිතන්නේ මේ යුද්ධය ඇති වුනේ ආර්ථික ප්‍රශ්ණ නිසා කියලා. පාරවල්, රුකියා, කෘෂිකාර්මික, කර්මාන්ත වැනි දේ උතුරු නැගෙනහිර මිනිසුන්ට නොලැබීම නිසා කියලා එක් මතයක් තිබෙනවා. ඒ මතය සම්පූර්ණ වැරදියි. මේ යුද්ධය ඇති උනේ සමාජ, ආර්ථික හේතුවලට වඩා දේශපාලන බලය කියන හේතුව මූලික උන නිසා. මෙය සරලව කියනවා නම් දෙමළ ජනතාවට දේශපාලන බලය නොතිබීමේ ගැටලුව නිස යි මෙය ඇති උනේ.

ඒ මූලික ගැටලුව විසඳන්නේ නැතුව මේ ආණ්ඩුව උතුරු වසන්තයයි, නැගෙණහිර වසන්තයයි කෙරුවට ජනතාවගේ ප්‍රශ්ණය ඒක නෙවෙයි. දෙමළ ජනතාව කිසිදු දවසක ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න කියලා ඉල්ලුවෙ නෑ, දෙමළ ජනතාව ඉල්ලුවේ එක දෙයයි, ඔවුන්ට දේශපාලන බලය දෙන්න කියන එක.

යුද්ධයෙන් පසුව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඊනියා ඒකිය රාජ්‍ය තහවරු කරලා, මේ වෙනකොට සිංහළ බෞද්ධ රාජ්‍යයත් තහවරු කරලා ඉවරයි.
ඒ විතරක් නෙමෙයි උතුරු නැගෙණහිර ප්‍රදේශවල දමිළ ජාතිය, ජාතික සුද්දයක් කරන්නයි හදන්නේ මේ ආණ්ඩුව. හමුදා කඳවුරු අයින් නොකර, අධිආරක්ෂක කලාප වෙනස් නොකර, ඒ ජනතාව මහමඟට ඇදලා දමමින් ඉන්නේ. මේ තත්වය තුළ දෙමළ ජනතාව අන්ත අසරණ, පීඩිත තත්වකට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය. මක් නිසාද ඔවුන්ගේ ප්‍රශ්ණය තාමත් විසදිලා නැති නිසා. ඔවුන් කබලෙන් ලිපට වැටිලා ඉන්නෙ. අද හමුදා පාලනය යටතේ ‛අන්තපරිපීඩන’ තත්වයක දෙමළ ජනතාව පසුවෙන්නේ. ඔවුන්ගේ උපන් භූමිය තුළවත් ඔවුන්ට පිලිසරණක් නැතිවෙලා තියනවා. ඔවුන්ට නිදහස අහිමිවෙලා තියනවා. ඔවුන්ගේ ගොවිබිම්, දේපල ඔවුන්ට අහිමිවෙලා තියනවා. සරණාගතයන් බවට පත්වෙලා තියනවා මේරටේ දෙමළ ජාතිය. මේ නිසා වැඩිකල් යන්නට පෙර මේ අභයෝගයට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවෙනවා.

එමනිසා දෙමළ ජනතාවගේ පෙළ ගැසීම ආයුධ සන්නද්ධ පෙළ ගැසීමක් කියලා මම හිතන්නේ නෑ. ඒය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලයක් ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය නැවත ඉස්මතුවෙයි කියන කාරණාව දේශපාලනමය ලෙස සාකඡ්චා කිරීමේ දී අපට පෙනෙනවා. මේ ප්‍රශ්ණයට යුද්ධයෙන් ඇත්ත විසදුම් ලැබුනේ නෑ. යුද්ධය විසඳුම කියලා තමයි මේ ආණ්ඩුව කල්පනා කරන්නේ. ජාතික ප්‍රශ්ණයකට යුද්ධය විසඳුමක් වෙන්නේ නෑ. එක යම් කිසි කාලපරිච්ඡේදයකට යටපත් කිරීමක්. උදාහරණයක් විදිහට 71 කැරුල්ල මර්ධනය කර තරුණයෝ 14000ක් විතර මරලා දැමුවායින් පස්සේත් ප්‍රශ්ණය විසඳුනේ නෑ. නැවත 88, 89 කැරුල්ල ආවා. නැවත තරුණයෝ නැගී හිටියා. ඒ වෙලාවෙත් 60000ක් මැරුවා.

ඉදිරියේදී ජනතා පෙලගැස්මක් ඇති උනොත් ආණ්ඩුවට තියෙන විකල්පය මොකක් ද?. විශාල හමුදා මර්දනයක් දියත් කරන එක. ඒක නිසා ආණ්ඩුවට මේ රටේ බහුජාතික සමාජයේ ජාතීන් අතර ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදිව විසඳීම සම්බන්ධයෙන් වූ කිසිදු මතයක්, වැඩපිලිවෙලක්, ඉදිරි දැක්මක් නෑ.

යුදමය වශයෙන් ජනතා අරගලයක් මර්ධනය කරලා එය සදාකාලිකව විසඳුනා යැයි කියන මිත්‍යාව තුළ ඉන්නවා නම් ආණ්ඩුව, ඒක තමයි ආණ්ඩුවට වැරදුන තැන. එමනිසා මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වන ප්‍රභලම අභියෝගය තමයි උතුරු නැගෙණහිර දෙමළ ජාතිකයන්ගෙන් එල්ල්වන අභියෝගය. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා අරගලයක් ලෙස අනාගතයේදී මතු වෙයි.

ආණ්ඩුවට මුහුණ දෙන්නවන අනෙක් අර්බුදය තමයි ආර්ථික අර්බුදය. දැන් මේ ආණ්ඩුව පෙන්නනවා යටිතල පහසුකම් ඇතිකිරිම පිලිබඳව. පාරවල්, පාලම්, බෝක්කු මේවා හදමින් විශාල භෞතික සංවර්ධනයක් පෙන්නනවා. නමුත් ආර්ථික විද්‍යාත්මකව කල්පනා කළොත් රටක ‛සාර්ව ආර්තිකය’ වර්ධනය වෙන්න නම්, නැතිනම් සාර්ව ආර්ථිකය වර්ධනය වෙන්නේ යටිතල පහසකම්වලන් ම නෙමේ. රටේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල වර්ධනයක් සමඟ, නමුත් මේ රටේ කිසිසේත්ම දකින්නට ලැබෙන්නේ නෑ කාර්මික සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයක්. හැබැයි යටිතල පහදුකම් හදනවා. ඒවාට පිටරටවලින් ආධාරත් ලැබෙනවා.

දැන් වරාය තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතිය. විශේෂයෙන් හම්බන්තොට වරාය. වරාය කියන්නෙ සේවාවක්. එකෙන් සාර්ව ආර්තිකය වර්ධනය වෙයි කියලා අපි කොහොමද තර්ක කරන්නේ. සාර්ව ආර්තිකය වර්ධනය වෙන්නනම් කාර්මික සහ කෂිකාර්මික ක්ෂේත්‍ර ව්‍යුහාත්මකව වෙනස් වෙමින් වර්ධනය වෙන්න ඕන. එක මහා පරිමාණ වෙනස්කමක්. එතකොට මේ ආණ්ඩුවට කුමක් ද ආර්ථිකය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ, වරාය, විදුලිබලාගාර කිහිපයක්, ගල් අඟුරු බළාගාරයක්, ගුවන්තොටුපොළ මෙවැනි හුදු සේවා ආර්ථිකයක් නිර්මාණය කිරීම පිලිබඳව විතරයි මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ.

ඊට වඩා පුඑල් සහ ගැඹුරු ආර්ථික වැඩපිළිවෙලක් ආණ්ඩුව අද වෙනතුරු ඉදිරිපත් කරලත් නෑ. අනාගතය සඳහා එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලත් නෑ. ආණ්ඩුවට තියෙන්නේ ව්‍යාපෘති කිහිපයක් පමණයි. ඒ ව්‍යාපෘතිත් සේවාවන්.

අද වෙනකොට ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබළ මණ්ඩලය, ප්‍රවාහනය වැනි ආයතන මිලියන් ගණනක් පාඩු ලබමින් තිබෙන්නේ. පසුගිය වසරේ අයවැය ලේඛණය ඉදිරිපත් නොකලෙත් ඒ නිසාමයි. එකේ අනිත් කාරණය තමයි මැතිවරණයේදි එල්ලවිය හැකි යැයි අනුමාන කල අභියෝග නිසාත් මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කිරිම ආණ්ඩුව මගහැරියා.

වර්තමානය වෙනකොට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අණකරලා තියනවා ඔවුන්ගේ ණය මුදාහරින්න නම් අයවැය පරතරය 7% දක්වා අඩු කරන්න කියලා. අයවැය පරතරය 7% දක්වා අඩු කිරිමේ දී විශාල වශයෙන් බදුගැනීමට ආණ්ඩුවට සිදුවෙනවා. භාණ්ඩ මත පනවන බදු, වක්‍රබදු අය කරන්න සිදුවෙනවා. විශේෂයෙන් ආනනයන බදු වැඩිකරන්න සිදු වෙනවා. එමනිසා ඉදිරි කාලයේදී මේ රටේ භාණ්ඩ මිල ඉතා වේගයෙන් වැඩි වෙන්වා.

මේකෙන් මිදෙන්න නම් ගෝලිය ධනවාදය විසින් විශාල මුදලක් මුදා හරින්න වෙනවා මේ ආණ්ඩුවට. මෙවැනි දෙයක් වුනොත් හැර ඉදිරි කාලයේදී සාමානය ජනජිවිතය බරපතල ලෙස කඩා වැටෙනවා. එමනිසා ඒ අභියෝගය ජය ගැනීම සදහා මේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නෑ.

පසුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය තුනෙන් දෙකේ බලයක් පිළිබදව ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා ජනවරමක් ඉල්ලුවා. මේ තුලින් මේ අභියෝග ජයගන්න වර්තමානයේ ජයග්‍රහණය කර ඇති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වේ ද?

දැන් 2/3 බලය ආණ්ඩුව ඉල්ලුවා. එය ආසන්න වශයෙන් ලැබිලා තයනවා. ආසන 144ක්. තව ආසන 6ක් කොහෙන් හරි බාගන්න පුලුවන් ආණ්ඩුවට.

මොකට ද මේ 2/3 බහුතරය.

ආණ්ඩුව හිතන්නේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය මනාප ක්‍රමය කියලා. මේ රටේ ලොකුම ප්‍රශ්නය මනාප ක්‍රමය නෙමේ. ජාතික ප්‍රශ්ණය, ආර්ථිකය පිලිබඳව ඇති ප්‍රශ්නය. මේවානේ ප්‍රශ්න. එතකොට ආණ්ඩුව මේ 2/3 අරගෙන කරන්න යන්නේ මොකක්ද. මේ මනාප ක්‍රමය වෙනස් කර ඡන්ද කොට්ඨාශ ක්‍රමයට එන එක.

නැවත ඡන්ද කොට්ටාශ ක්‍රමය ඇති උනොත් 1977, 56 ඡන්දය වගේ විපක්ෂයේ ආසන මට්ටම ඉතාමත් පහළ යනවා. විපක්ෂය ඉතාම අන්ත පරාජයකට පත්වෙනවා. විධායකයක් තියෙන රටක, ඒකාධිපතිවාදයකට ආසන්නම ත්ත්වයකදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනාධිපතිගේ බලය වඩාත් සංකේන්ද්‍රනය කරපු තත්වයක් තුළ පාර්ලිමේන්තු බලයත් ජනාධිපිතිවරයෙකුට තිබුනොත්, ව්‍යවස්ථාවෙන් තිබෙන සීමාවන් පවා ඉක්මවා යෑමේ හැකියාව ජනාධිපතිවරයාට සතුවෙනවා. එවිට තමන් වෙත අධිකාරී බලය වඩ වඩාත් සංකේන්ද්‍රනය කර ගැනිමට මේ 2/3 බහුතරය පාවිච්චි කරන්න පුඑවන්.

උදා. විදිහට ජනාධිපතිවරයෙකුට දෙවාරයයි පත්වෙන්න පුඑවන්. නමුත් දැන් සමහර ඇමතිවරුම කියනවා තව වරක් අපි මහින්දව ජනාදිපති කරමු. ඒක නිසා තුන්වෙනි පාරත් අපි දෙමු ජනාධිපතිකම මහින්දට කියලා. මෙන්න මේ නිසා අපිට දැන් පැහැදිලියි 2/3 බලය පාවිච්චිකරන්න හදන්නේ මොකටද කියලා. ඒ කියන්නේ මහන්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ බලය සහ බලදේශපාලන වුවමනාවන් තහවරු කරගැනීම සඳහා තමයි මේ 2/3 බහුතරය පාවිච්චි කරන්න හදන්නේ.

මේ රටේ ජනතාව දේශපාලනිකව කිසිදු අවබොධයක් නැති, මතුපිට සාධක නැතිනම් අනුභූතිකව ප්‍රතික්‍රියා කරන ඉතාම බොළඳ ඡන්ද දයෙකයෝ පිරිසක් තමයි මේ රටේ ඉන්නේ. නැතිනම් විධායක ජනාදිපති ක්‍රමයක් තියෙන රටක පාර්ලිමේන්තු බහුතරය ජනාදිපතිවරයාට පක්ෂව දෙනවා කියන්නේ එකේන්ම මේ රටේ ජනතාවගේ දැනුම මැන ගන්න පුඑවන්. ඒකාධිපතිවාදයට කවුද මේ ඉඩ දී ලා තියෙන්නේ. මේ රටේ ඡන්දදායකයො. ඒ නිසා ආණ්ඩුවේ ඉදිරි අධිකාරිවාදී වැඩපිළිවෙලට වගකිවයුතු පිරිසක් තමයි මේ රටේ ඡන්ද දායකයෝ. නමුත් ඒ ඡන්ද දායකයන්ට ඔවුන්ම පත් කරපු ආණ්ඩුවෙන් බැටකන්න සිද්ධ වුනු දවසට තේරෙයි ඔවුන් කරපු පහුගිය මෝඩකම්වල රඟේ.