‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’

– නීතිඥ ජගත් ලියනආරච්චි

නීතිඥ ජගත් ලියනආරච්චි
නීතිඥ ජගත් ලියනආරච්චි

”අපි පානම ඉඩම් කොල්ලය පිටු පස තිබෙන නීතිමය තත්ත්වය විග්‍රහයක් කරා. යුද්ධය වෙලාවෙත් මේ මිනිසුන්ගේ ඉඩම් කොල්ල කෑවා. හැබැයි මිනිස්සු බලාගෙන හිටියා යුද්දෙන් පස්සේ යම් නිදහසක්, විසදුමක් ලැබෙයි කියලා. නමුත් ඒක ලැබුනේ නැහැ. ඒ වෙනුවට තවත් ඉඩම් විශාල වශයෙන් මංකොල්ලකෑමකට ලක් උනා. බොහෝ රටවල් වල යුද්දෙන් පස්සේ යුදබිම්, යුද කදවුරු ගොවිබිම් බවට පත් වෙනවා. නමුත් අවාසනාවකට අපේ ලංකාවේ සිද්ධ උනේ ඒකේ අනිත්පැත්ත. ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්. රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ යුද්දෙන් පස්සේ ඒක නෙවෙයි.”

පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට අදටත් අත්වෙමින් ඇති ඛේදවාචකය පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට, ඊයේ(08) කොළඹදී එක්වෙමින් ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා එසේ ප්‍රකාශ කලේය.

නීතිඥ ජගත් ලියනආරච්චි වැඩිදුරටත් අදහස් දක්වමින්…

‘‘විශේෂයෙන්ම අපිට මේ අධ්‍යනයේදී හම්බ උනු දෙයක් තමයි පානම ඉඩම් කොල්ලය පිටිපස්සේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලු අණපනත් 7ක් මේ බළධාරින් උල්ලංඝණය කරලා තියනවා. එකක් තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අනිත් එක ඉඩම් පවරා ගැනීමේ ආඥාපණත. රජයට ඉඩම් අවශ්‍ය නම්, හමුදාවට ඉඩම් අවශ්‍ය නම්, මිනිස්සුන්ගේ ඉඩම් ගන්න ක්‍රමවේදයක් තියනවා. ඒ ඉඩම් පවරා ගැනීමේ ආඥාපණත පාවිච්චිකරලා නෝටිස් ගහලා ඉඩම් පවරා ගන්න පුලුවන්. එහෙම නැතිනම් රජය විශ්වාස කරනවා නම් රජයේ ඉඩම්වල තමයි මිනිස්සු ඉන්නේ කියලා, රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ පණත පාවිච්චිකරලා ඉඩම් අත්පත් කරගැනීමේ හැකියාවක් තියනවා. ඉඩම් සම්බන්ධයෙන් තිබෙන මේ ප්‍රධාන පණත් දෙකම බළධාරින් විසින් උල්ලංඝණය කරලා තියනවා. ඒ වගේම ජාතික පාරිසරික පණත විශාල වශයෙන් උල්ලංඝනය කරලා තියනවා. කිසිදු පාරිසරක බලපත්‍රයක් නැතිව මෙහි ඉදිකිරීම් කරලා තියනවා. ඒවගේම වෙරළ සංරක්ෂණ ආඥාපණත බරපතල ලෙස උල්ලංඝනය කරලා තියනවා. ඒ වගේම වනජීවී ආඥා පණත් සහ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරලා තියනවා. ඒ වගේම මේ මිනිසුන්ට ගහලා පන්නපුවාම මේ මිනිස්සු ගියා පොතුවිල් පොලීසියට. පොතුවිල් පොලීසිය අද වෙනකං මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් නෑ, බී රිපෝට් එකක් විතරක් උසාවියට දාලා නිකං ඉන්නවා. ඒ ගහපු අයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. නමුත් අපි ස්තූතිවන්ත වෙනවා ජනාධිපති තුමන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා පානම මේ ඉඩම් එක්දහස් ගණනක් අතරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය කරන ඉදිකිරීම් කරපු අක්කර 25ක් හැර ඉතුරු කොටස් ජනතාවට බෙදා දිය යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියනවා. පෙබරවාරි මාසේ තිරණය කරලා තියනවා. නමුත් අද වෙනකං ඒ තිරණය පහළට ක්‍රියාත්මක වෙලා නෑ.

මේ තත්ත්වය ඉතාමත් ශෝචනීයයි. 2015 ජනවාරි 8 වෙනිදා විප්ලවයක් සිදු උනා කියනවා. අපි වෙනදා පානමට යනවට වඩා, ටිකක් සැහැල්ලුවෙන් තමයි මේ මැතිවරණයෙන් පස්සේ පානමට ගියේ, හැබැයි පානම ජනතාවට ඒ සහනය ලැබිලා තියනවද කියන එක ගැන විශ්වාසයක් නැහැ. මොකද අදටත් මේ මිනිස්සු ජීවත් වෙන්නේ අනුන්ගෙ ගෙවල් වල. අපි මේ රටේ බළධාරින්ගෙන් අහන්නේ මේ මිනිස්සු කොච්චර කාලයක් අනුන්ගේ ගෙවල්වල ජීවිත් විය යුතුද? තමන්ගෙ ගෙදරට කවද්ද යන්නේ? තමන්ගේ ගොවිබිම්වලට ගිහින් වැඩ කරන්නේ කවද්ද කියන එක.‘‘

Banner
කෙසේ නමුත් පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගටම තම අයිතිවාසිකම වෙනුවෙන් සටන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ මැදිහත්වීමෙන් 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇත.

නමුත් කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව මාස 05 ක පමණ කාලයක් ගත වී ඇතත් එය ක‍්‍රියාත්මක තත්ත්වයට පත් කීරීමට තවම නොහැකි වී ඇත. කැබිනට් තීරණයට අනුව කටයුතු කළ යුතු ආකරය පිළිබඳව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් දැනුම්වත් වී නොමැත. මේ නිසා තවම අවතැන් වූ ජනතාව අසරණව සිටී.

මේ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් අවතැන් කළ පානම ජනතාවට තවම තම අයිතිවාසිකම් හිමි වී නොමැති බව ය. රාජ්‍ය නිලධාරීන් කැබිනට් තීරණ ක‍්‍රියාත්මක කිරීම වෙනුවට ලිපි හුවමාරුවක පමණක් නිරත වී සිටින බවට පෙනෙන්නට තිබේ. ආරක්ෂක අංශ ද බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් ජනතාවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ලබා දීමට තවම සූදානම් නැත.(මේ පිළිබදව සහ පානම ඉඩම් කොල්ලය පිළිබද සාරාංශයක් සහිත එම සංවිධාන විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මෙතනින් කියවන්න)

එබැවින් පානම ඉඩම් අහිමි ජනයා ප්‍රකාශ කරන්නේ එලබෙන 15වනදා අපෙන් උදුරාගත් ඉඩම් වලට ආපසු යන බවත් එය කිසිදු බලපෑමකට යටත් කළ නොහැකි බවත්ය.

‘‘ඉඩම් අල්ලගත්තේ මගේ මහත්තයාටත් ගහලා එලවලා‘‘ – ජී.කුසුමාවතී

එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පානම ජී. කුසුමාවතී මහත්මිය,
එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පානම ජී. කුසුමාවතී මහත්මිය,

”2010 ඉඩම් අල්ලගත්තේ මගේ මහත්තයාටත් ගහලා එලවලා. ඊට පස්සේ අපි පොතුවිල් උසාවියේ නඩු දැම්මා. අපි අවුරුදු 6ක් නඩු කිව්වා. නමුත් මේ ඉඩම් පිළිබදව කිසිම බළධාරියෙක් කිසිම පියවරක් අරගෙන නෑ. ඒ නිසා මේ මාසේ 15 වෙනිදා අපි අපේ ඉඩම්වලට යන්න බලාපොරොත්තුවක් තියනවා. ඉස්සරවෙලා නම් අපි මේ ඉඩම්වලට ගියාට පස්සේ නිළධාරින් අවිල්ලා අපිව එලෙවුවා. නමුත් මේ 15වෙනිදා ගිහින් අපි ආයේ එන්නේ නෑ. ඒ නිසා අපි 15වෙනිදා ඉඩම්වලට කොහොමහරි යනවා.”

‘අපේ ඉඩම් අපිට අයිතියි‘ – පුංචිරාල සෝමසිරි

පානම පත්තුව සුරැකීමේ සංවිධානයේ සංවිධායක,  පුංචිරාල සෝමසිරි මහතා අදහස් දක්වමින්
පානම පත්තුව සුරැකීමේ සංවිධානයේ සංවිධායක, පුංචිරාල සෝමසිරි මහතා අදහස් දක්වමින්

‘‘අපි නිතරම දැනුවත් කිරීම් කරනවා අදාල රාජ්‍ය ආයතනවලට අපිට සහනයක් ලබා ගැනීමට. නමුත් මේ වෙනකං ඒ සහනය ලැබිලා නෑ. අපි දැනට තීරණය කරලා තියනවා ජූලි 15වෙනිදා අපේ ඉඩම් වලට යන්න. ඒ දිනවල අපේ ඉඩම්වලට යන්න අපි තෝරගෙන තියෙන්නේ අගෝස්තු මාසේ වෙනකොට වගා කටයුතු සිද්ධ කරනවා. හැම අවුරුද්දකම ඒ කාලේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ 15 වෙනිදා යන්න ඕන කියලා. අනිත් එක අපිට යන්න අයිතිය තියනවා කියලා අපිට මානව හිමිකම් කොමිසම් සභාවෙන් ලැබිලා තියනවා. අනික කැබිනට් තීරණයක් අරගෙන තියනවා. ඒ එක්කම උසාවියේ තීරණයක් දීලා තියනවා, බලහත්කාරයෙන් රජයේ ඉඩම්වලට ඇතුලු උනා කියලා අපේ මිනිසුන්ට නඩු දාපූ තීන්දුවේදී, අපේ මිනිස්සු වැරැද්දක් කලා කියලා, ඒ නඩු දාපු පාර්ශවයන්ට ඔප්පු කරගන්න බැරි වෙලා තියනවා. ඒ නිසා මේ මිනිසුන්ගේ ඉඩම් කියන එක තහවරු වෙනවා. ඒ නිසා මේ මිනිසුන්ට තියන චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරලා තියනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ යහපාලන රජය නීතිගරුක නම් අපි 15 වෙනිදා යනවා ඒකට සහයෝගය දෙයි කියලා.‘‘

*පානම මෙම ඉඩම් කෝල්ලය පිළිබදව කරුණු අැතුළත් සාරාංශගත වාර්තාව මෙතනින් පිවිසිය හැකි අතර, පහත දැක්වෙන්නේ ඊයේ(08) පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ ‘ඉඩම් අයිතිය සදහා වූ ජනතා සංධානයේපූජ්‍ය පානම චන්ද්‍රරතන හිමි, සජීව චාමිකර, හර්මන් කුමාර, චින්තක රාජපක්ෂ, ජගත් ලියනආරච්චි, පානම පුංචිරාල සෝමසිරි සහ පානම ජී. කුසුමාවති ඇතුලු පිරිස දැක්වු අදහස් වල සංස්කරණය නොකළ හඩ පටයයි.

සංස්කරණය නොකළ හඩපටය..