සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රගීත් වෙනුවෙන් නැගෙන සන්ධ්‍යාගේ හඬ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු ආරක්ෂක විධිවිධාන මැද පත්‍රිකාවක් බෙදමින් සිටියේ ය. ඒ ගැහැණිය සන්ධ්‍යා එක්නැළිගොඩ ය. මේ දෙදෙනා තේරී පත් මංත්‍රීවරුනට බෙදමින් සිටියේ තෙමසකට පෙර එනම් ජනවාරි 24 දා කොළඹ දී අතුරුදහන් වූ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සොයා දෙන ලෙස කැරුණු බැගෑපත් ඉල්ලීමකි. සන්ධ්‍යා ප්‍රගීත් ගේ බිරිඳ ය. දරුවා ප්‍රගීත්ගේ වැඩිමහල් පුතා ය. සැමියා සහ පියා සොයමින් බිරිඳක සහ පුතෙකු මේ දරණ වෑයම නූතන ශ්‍රි ලංකාවේ මානව ඛේදවාචකයේ මෙන්ම අපේක්ෂාවේ සංකේතයකි.

විවාහයට පෙර ස්ත්‍රී අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙස රැකියාව කළ සන්ධ්‍යා පසුගිය තෙමස පුරා පොලීසියෙන්, පොලීසියට ද දේශපාලනඥයින්ගෙන් දේශපාලනඥයින් කරාද යමින් අතුරුදහන් වූ සිය සැමියා සොයා ගැනීමට නොදරන ලද තැතක් නැති තරම් ය. අතුරුදහන් කරන ලද සිය සැමියා සොයමින් මේ දිරිය ගැහැණිය සිය පුතුන් දෙදෙනා ද සමඟ ගෙන යන ව්‍යායාමයට දින සියයක් පිරෙන්නේ දෛවයේ සරදමකට මෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය දිනය වන මැයි 03 දා ට ය.

“ප්‍රගීත් ගැන අමතක වෙන්න දෙන්න බැහැ” යැයි කියන සන්ධ්‍යා තවමත් ඔහු ජීවතුන් අතර ඇතැයි ද යළි ඔහු නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි ද විශ්වාස කරයි. මේ සන්ධ්‍යාගේ හඬ ය:

“ප්‍රගීත් නැති අපේ ජීවිත අඳුරුවෙලා තියෙන්නෙ. ප්‍රගීත් බාහිර තැන්වලදි කතා නොකරත් ගෙදරදි දරුවොත් එක්ක හැම දෙයක්ම කතා කළා. පොඩි පුතා තාත්තට ම යි කැමැති. එයා ලොකු පුතා එක්ක දේශපාලනය කතා කරනව වගේ අතීත කතාත් කියළ දෙනව. එයා හැමදාම රෑට තමයි පරිඝනකයෙන් ලිපි ලිව්වෙ. උදේට මට කියනව ලිපිය බලල වැරදි තියෙනව නම් හදන්න කියළ. ප්‍රගීත් තාත්ත කෙනෙක් වගේම සැමියෙක් විදිහටත් හරි සුන්දර පුද්ගලයෙක්.

“ප්‍රගීත් හරි ඉක්මනට විත්‍ර කාටූන් ඇන්ද. අන්තිම දවස්වල කාටූන් ප්‍රදර්ශණයකට ලැහැස්ති වෙමින් හිටියෙ. ප්‍රගීත්ගෙ නමින් ප්‍රදර්ශණය අපි ලගදිම කරන්නයි යන්නෙ. එතකොට තව හුඟ දෙනෙකුට ප්‍රගීත් තේරුම් ගන්න තවත් පුළුවන් වේවි.

“කොහොම ද ප්‍රගීත් ගැන අලුත් පාර්ලිමේන්තුවට කියන්නෙ කියළ හිත හිත ඉන්න කොට තමයි මංත්‍රීවරුන්ට පත්‍රිකාවක් බෙදන්න කියළ සිරිතුංග සහෝදරය කිව්වෙ. තනියම ගිහිල්ල බෙදන්න, එතකොට පොලීසියෙන් කරදර කරන එකක් නැහැ කියළ ඔහු කිව්ව. මං පොඩි ආයාචනයක් ලිව්ව. ලොකු පුතා ඒක ඉංග්‍රීසියට දාල තාත්තගෙ පින්තුරයකුත් දාල භාෂා දෙකෙන් ම පත්‍රිකාවක් විදියට හැදුව. ඒක තමයි අපි එදා බෙදුවෙ.

“ප්‍රගීත් අතුරුදහන් වුණ දවසට පස්සේ ඒ කියන්නේ ජනවාරි 25 ද කොට්ටාව පොලීසිය මුලින්ම පැමිණිල්ල ලියා ගන්න බැහැ කිව්ව. ඒත් මං කොහොම හරි පැමිණිල්ල කරා. එදාම හවස කොස්වත්ත පොලීසියටත් මං පැමිණිල්ලක් කරා. ඊළගට ජනවාරි 30 ද මං අපේ පොලිස් වසම බාර සහකාර පොලිස් අදිකාරී දේශබන්දු තේනුවර මහත්තය හමුවෙන්න ගියා. මානව හිමිකම් කොමිසමට ගියාම කිව්ව සමගි පෙරේර කියන මහත්තයෙක් කිව්ව මෙතන අතුරුදහන්වීම් ගැන පැමිණිලි බාර ගන්න තැනක් නෙවෙයි කියළ. මාත් එකක් ගිය නීතිඥ මහත්තය නිසා තමයි පැමිණිල්ල බාර ගත්තේ. මානව හිමිකම් කොමිසම කළේ කොට්ටාව, කොස්වත්ත සහ මිරිහාන පොලීසිවලින් කරුණූ අහපු එක. හැම පොලිස් නිලධාරියෙක්ම කිව්වේ පරීක්ෂණ ඉවර නැහැ. තොරතුරු දෙන්න බැහැ කියළ.

“ඔය අතර වාරෙ මං දන්න හදුනන දේශපාලන නායකයෝ හමු වුණා. පත්තර කර්තෘවරු හමුවුණා. හැමෝගෙන්ම මං ඉල්ලුවෙ ප්‍රගීත් සොයා ගන්න උදව් කරන්න කියළයි. හුඟ දෙනෙක් ධෛර්‍ය දුන්න. ඒත් සමහරෙක් කිව්වේ හිත පෑරෙන කතා. මං තේරුම් ගත්ත කෙනෙක් අමාරුවේ වැටුනහම තමයි කියළ මිනිස්සු තේරුම් ගන්න පුළුවන්.

“ඊට පස්සේ මිරිහාන පොලීසියෙන්, පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට බාර දුන්න. එතකොට මං මේ ළගදි අප්‍රේල් 02 ද අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ගියාම එතන පොලිස් පරීක්ෂකවරයෙක් ඇහුව සාත්තර එහෙම බැලුවෙ නැත් ද කියළ. මං සාත්තර බැලුව. ඒ හැම කෙනෙක්ම කියන්නේ ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නව කියළ මං ඒ පොලිස් නිලධාරියට කිව්ව. මොනව කරන්න ද අපිත් තවම පරීක්ෂණ කරනව කියළ ඒ නිලධාරිය කිව්ව.

“පොලිස් නිළධාරීන් වගේම ජනමාධ්‍ය ඇමැතිතුමත් මුල ඉදළ ම ප්‍රසිද්ධියෙ ම කිව්වේ ප්‍රගීත් අද හෙටම එයි, එතකොට ඇත්ත හෙළිවෙයි කියළ. අප්‍රේල් මුල සතියෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්ව සති දෙකකින් හොඳ ආරංචියක් ලැබෙයි කියළ. ඉතිං කෝ එහෙම ආරංචියක්? ප්‍රගීත් දඹුල්ලේ ඉන්නව කියළ ඇඩ්රස් එක්ක ඒ වගේ ප්‍රවෘත්තියක් ආණ්ඩුවෙ දිනමිණ පත්තරෙත් ගියානෙ. ඊට පස්සේ මං මිරිහාන, හෝමාගම පොලීසිවලටයි. මානව හිමිකම් කොමිසමටයි ලිඛිතවම දැනුම් දුන්න ඒ පුවත ගැන පරීක්ෂණයක් කරන්න කියළ. නමුත් ඒ පැමිණිල්ලට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ප්‍රවෘත්තිය ලියු පුද්ගලයගෙන් ප්‍රශ්ණ කරලත් නැහැ.

ප්‍රගීත් අතුරුදහන් වෙන්න කලින් එයාට එන්න කියළ ලැබුණ දුරකථන ඇමතුම ගැන පරීක්ෂණයක් කරාද නැත් ද කියළ දැන ගන්න නැහැ. ඒ මොබයිල් සිම් එකෙන් කතා කරළ තියෙන්නේ එදා ප්‍රගීත්ට ම විතරයි. ඒකෙන්ම පේනව මේක හිතළ මතළ කරපු සැළැස්මක් කියළ.

‛‛මං ඒ දවස්වල පොලීසියට ගියාම මගෙන් ඇහුව කෘෂිකර්මයට සම්බන්ධ කව්රු හරි ඉන්නවද කියළ. එහෙම හිටියෙ කුරුණැගල දිසාවෙ ඇමැතිවරයකුගේ ලේකම් කෙනෙක්. මං ඒ බව කිව්ව. අතුරුදහන් වෙන්න දවස් හතරකට කලින් ප්‍රගීත් ඒ පුද්ගලයත් එක්ක දුරකථනයෙන් කතා කරා. ඊට පස්සෙ එයා ගොඩක් බයෙන් හිටියෙ. ප්‍රගීත් අතුරුදහන්වුනාට පස්සේ ඒ ලේකම්වරය අපේ දුරකථන ඇමතුම්වලට උත්තර දෙනනෙම නැහැ. ඉස්සර හොඳ යාළුවෙක්. ඔහුගෙන් පොලීසිය ප්‍රශ්ණකරලත් නැහැ දුර කථන ඇමැතුම ගැන.

“ඒ ලේකම්වරය ළඟදි කියළ තිබුණ අගොස්තු මාසයේ දී ප්‍රගීත් පැහැර ගත්ත අවස්ථාවේ නිදහස් කරේ ප්‍රගීත්ගේ මිතුරෙක්වන ඉංග්‍රිසි භාෂා ජනමාධ්‍යවේදියෙක් මැදිහත්වෙලා කියළ. ඒ කතාව ම මට දෙමළ දේශපාලන පක්ෂයක වැඩ කරන ප්‍රගීත්ගේ වෙනත් මිතුරෙකුත් කිව්ව. අර ඉංග්‍රිසි භාෂා ජනමාධ්‍යවේදියාගෙන් මං ඒක අහුව. ඔහු කිව්ව එක එකා බිව්වම කියන කතා ගනන් ගන්න එපා කියළ. අගොස්තු මාසයේ දී එයා පැහැර ගත්ත කණ්ඩායමත් ආණ්ඩුවට සම්බන්ධයි කියළ ප්‍රගීත් කල්පනා කළා. ඒ වගේම අන්තිම දවස්වල එයා කිව්ව මම ගැන ආරක්ෂක අංශ අධි තක්සේරුවකින් ඉන්නේ කියළ. ඒ නිසා එයා හුගක්ම ප්‍රවේසම් වෙන්න ඕන කියළ. ඒ වගේම හුඟක්ම ප්‍රවේසම් උනා.

“එහෙම තියෙද්දිත් ජනවාර් 24 දා ඒ මාරක රෑ ප්‍රගීත් තනියම කව්රු හරි හමුවෙන්න ගිය එක තමයි පුදුමේ. හොදටම දන්න විශ්වාසයක් තිබුණ කෙනෙක් නොවෙයි නම් එයා එහෙම තනියම යන්නේ නැහැ. ටිකක් හරි සැක හිතුන නම් තනියම යන්නේ නැහැ.

“දැන් මගේ ජීවිතේ තියෙන්නේ දරුවො දෙන්න හැරුනාම එක බලාපොරාත්තුව යි. ඒ තමයි දේශපාලන හේතූන් උඩ ප්‍රගීත්වගේ අතුරුදහන් වූ අයගේ බිරින්ඳන් එකතු කරගෙන් දිගටම උද්ඝෝෂණය කරගෙන යන්න. අද මේ වගේ දෙයක් කරගෙන යන්න කියළ කට්ටියක් ලංකාවේ නැහැ. ඒකයි අපි අලුතෙන් කරන්න ඕන. මානව හිමිකම් ව්‍යාපාරයක් කියළ දෙයකුත් රටේ නැහැනෙ. හයහත් දෙනෙක් දෙනෙක් විතරයි සහායක් දෙන්නවත් ඉන්නේ. අපට ඇත්තටම නම් හරි දහ දෙනෙක් හිටියොත් ඇති.

“මට ප්‍රගීත් ගැන කියන්න තියෙන්නේ එකයි: එයාට හැම දරුවෙකුට ම ආදරය කරපු මිනිහෙක්. සිංහල දෙමළ මුස්ලිම් කියන හැම මිනිසෙක්ම එක සමානයි කියළ එයා හැම තිස්සෙම කිව්ව. යුද්දෙන් මිනිස්සු මැරෙන කොට ප්‍රගීත් හරියට දුක්වුණා. එයාගේ බලාපොරොත්තුව තිබුණේ ලියන්න. ලියන්න තියෙන දේ ලියල ඉවර කරන්න කියළ හරි ලොකු බලාපොරෙත්තුවක් තිබුණ. ඒ වගේ තමයි කාටූන් ප්‍රදර්ශණයක් කරන්න. ඉතිං

“ඒ හැම බලාපොරොත්තුවක්ම අපි තවම තියා ගෙන ඉන්නෙ. ඒ බලාපොරොත්තු නිසා තමයි අපි තුන් දෙනා අද ජීවත් වෙන්නෙත්. අපි ප්‍රගීත් එයි එයි කියළ රෑ දවල් බලාගෙන ඉන්නවා.”