සබැදි සටහන්

ජනපති මෛත්‍රී ‘සතිය‘ කෝ?

මයුරිට පොරොන්දු වූ ‘ජනපතිගේ සතිය‘

‘ලේ’ වලට සැප දී ‘සාමකාමීත්වයට’ තර්ජනය කරන පොලීසිය[Video]

1

මයුරි ජයසේන, අනුරාධපුරයේදී වසර 3කට පෙර සුදුවෑන් රථයකින් පැහැරගත් මදුෂ්ක ද සිල්වා ගේ බිරිද ය. ඇය පසුගිය සැප්තැම්බර් 1වනදා ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය අසල උපවාසයක් ආරම්භ කලේ, පැහැරගත් මදුෂ්ක සොයා දෙන ලෙස ත්, පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් ඉල්ලාය. එපමණක්ද නොවේ ඇය උපවාසය ආරම්භ කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙක් විසින් 2016 ජූනි 9 දා කළ ප්‍රකාශයක් යළි මතක් කරන්නටය. එය නම් තව සතියකින් පිළිතුරක් දෙන්නම් යැයි ජනාධිපති ලේකම් වරයෙක් ඇයට පවසා තිබුණද , සතිය ගෙවී ගොස් සති 7කටත් වඩා ඉක්ම ගොස් ඇති විටය.

එදින උදෑසන මයුරිගේ සහයට හිටියේ 6 දෙනෙකු පමණය. මාර්ගයට හෝ එහි මහජනයාට කිසිදු බාධාවක් නොවන ලෙස ඇය බිම වාඩි වී සිටියා ය. ටික වේලාවකින් පැමිණි පොලිසිය සහ ජනාධිපති ලේකම්වරයෙක් යැයි කියු පුද්ගලයෙක් ඇයව සුපුරුදු රැවටීම හෙවත් පෙර පරිදිම සාකච්ඡා කරන්න යමු යැයි යෝජනා කලද මයුරි ප්‍රකාශ කළ සිටියේ මට හැමදාම බොරු කිවූ බැවින් අවශ්‍ය වන්නේ ජනාධිපතිතුමා මුණ ගැසීමට බව ප්‍රකාශ කළාය.

ඉන් මද වේලාවකට පසු පොලීසිය ගෝඨා පොලිසිය බවට පරිවර්තනය විය. එනම් නිළ ඇදුම් හැදි නිළදාරියෙක් එතැන සිටි 6/ දෙනා ඡායාරෑප ගත කරමින් තර්ජනය මුසු ස්වරයෙන් කතා කලේ රාජපක්ෂ යුගය නැවත සිහි කරමිනි. එහි සිටි පිරිස ඡායාරෑප ගත කිරීමට විරුද්ධ වුවත් ඔවුන් ගේ තර්ජනයත් සමග සියලු දෙනා ඡායාරෑප ගත කලේය.

මේ යහපාලනය තුළය.

දැන් අප අසන්නේ පොලීසිය තවමත් ‘ගෝඨාගෙ‘ ද කියාය.

දැන් එම ‘ගෝඨාපොලීසිය‘ තවත් අරුම වැඩක් කර ඇත. එනම් එදින සිටි පිරිසට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමය.

නමුත් යහපාලනය තුළ පොලිසිය පෙනි සිටින්නේ ජනතාව වෙනුවෙන් නම් සිදුකල යුතුව තිබුණේ මයුරිගේ සැමියා සොයා දීමට කරන පරීක්ෂණ කඩිනම් කිරීම නොවේද? එසේ නැතිව එම උපවාසයේ යෙදුන පිරිස් බිය කිරීම, තුළින් නැවත වරක් මතු වන්නේ රාජපක්ෂ භිතිකාවට සමාන භිතිකාවක් බව කියන්නට තවත් කරුණු අවශ්‍ය වන්නේ නැත.

නමුත් අවස්ථා කිහිපයකදීම සිංහලේ වැනි ජාතිවාදී මැර කල්ලි මහ පාරට බැස ප්‍රසිද්ධියේ සාපරාධී ප්‍රකාශ කරමින්, ජාතිවාදය වපුරමින්, සාමකාමී විරෝධතාවලට තර්ජනය කරමින්, වියරු නටන විට දැන් නිහඩ උපාවාසයට අධිකරණ නියෝග ගන්නා පොලිසිය අසලටවත් පැමිණියේ නැත. ඇතැම් විට පසුව පැමිණියත් පොලීසිය සිදුකලේ නීති්‍යානුකුල නිහඩ විරෝධතා කරුවන් විසුරුවා හැර වියරු ජාතිවාදීන්ට මාර්ගය විවර කර දීමය. එය පසුගිය දා (අගෝස්තු 15) රෑපවාහිනී සංස්ථාව ඉදිරිපිටදී පොලිසිය විසින් ඉතාමත් නග්න ලෙස පෙන්නුවේය.

කෙසේ නමුත් ඒ පොලිසියේම තර්ජන සහ බිය කිරීම් හමුවේ, ගෝල්ෆේස් පිටිය අසල මයුරි පැවත්වූ නිහඩ, සාමකාමී හෑගීම්බර උපාවාසයට සාධාරණයක් ඉටු කරන්නට ආණ්ඩුවට නොහැකි විය. ඒ විතරක් නොවේ, ජනවාරි 8 ආන්ඩුව වෙනස් උනාට තවමත් සිටින්නේ මානව හිමිකම් කඩන, මර්දනකාරී ගෝඨාපොලිසියම බව ‘යහපාලන‘ ආණ්ඩුව ද පෙන්නුවේ එලිපටමය.

මිනිසුන් ඉල්ලා සිටියේ මෙවැනි ක්‍රමයක් නොවේ, මෙවැනි පොලිස් දෙපාර්තමේන්තුවක් ද නොවේ. පොලිස් කොමිසන් පත් උනාට, පොලිස්පති මාරු උනාට තවමත් සිටින්නේ මර්දනකාරී පොලීසියමය. එය වෙනස් කළ යුතුමය. යුක්තිය ඉල්ලා මහපාරේ වාඩිලාගෙන සිටි තනි ගැහැණියක් වන මයුරි ඇතුලු පිරිසගේ අයීතීන් පාගා දමන මෙවැනි අත්තනෝමතික උසස් පොලිස් නිළදාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය. එසේම මෙවැනි ‘තග‘ දමන පොලිස් නිළධාරීන් සිටීම තුළින් මතු වන්නේ රාජපක්ෂලාගේ මර්දනාකාරී පොලිසියම බව යහපාලනයට අමුතුවෙන් මතක් කළ යුතු නැත.

එබැවින් ජනාධිපතිතුමණි…තව දුරටත් අසන්නට ඇත්තේ පොලිසිය තවමත් ගෝඨාගේ ද? යනුවෙනි.