ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීමේ අරමුණින් 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකගතාවයක් ඇති කර ගන්නා ලදි. එය නම් ‘International Day to End Impunity for Crimes against Journalists / A/RES/68/163 ලෙස බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනයක් ලෙස සම්මත විය.

#ENDImpunity ලංකාව තුළ..!!!

විශේෂයෙන් ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය සේවකයන්ට වෙත එල්ල කල කිසිදු අපරාධයකට මේ දක්වා කිසිවෙකුවත් නීතිය හමුවේ වරදකරුවෙකු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. 2004 සිට 2010 දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව JDS වාර්තා කරයි. එම ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් 44 දෙනාගෙන්, අඩුම වශයෙන් 39 දෙනෙක් ඝාතනය කර අැත්තේ බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය හෝ එහි අනුග්‍රහ ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් බව ඔවුන වැඩිදුරටත් පෙන්වා දෙයි. එපමණක් ද නොවේ, රාජපක්ෂ පාලනය විසින් එවැනි බිහිසුනු ඝාතන මෙන්ම අතුරුදන් කිරීම්, ගිණිතැබීම්, පහරදීම් වැනි කිසිදු අපරාධයකට පරීක්ෂණයක් පවා සිදුනොකරමින් ලෝකය හමුවේ මාධ්‍ය නිදහස, මානව හිමිකම් ගැන වහසි බස් දෙඩීමට කිසිදු හිරිකිතයක් නොදැක්වූවේය. (1982 සිට ජනවාරි මස පමණක් ජනමාධ්‍යට එල්ලකරන ලද අපරාධයන් ගණන ද සුලුපටු නොවේ.බලන්න. ඒවාට ද මේ වන තෙක් යුක්තිය ඉටු වී නැත. එය පදනම් කරගනිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු මාධ්‍ය සංවිධාන එක්ව ‘කලු ජනවාරිය‘ නම් විරෝධතා ව්‍යාපාරයන් පසුගිය 2015 ජනවාරි 8 පෙර ලංකාව තුළ දී දියත් කළේය.)

නමුත් 2015 ජනවාරි 8න් පසුව පත්වූ ‘යහපාලන‘ ආණ්ඩුව එතෙක් යට ගසා තිබූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම පිළිබද පරීක්ෂණ යළි ආරම්භ කළේය. නමුත් උතුරු සහ නැගෙණහිර දෙමළ භාෂිත මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල කල අපරාධයන් පිළිබද ‘කිසිදු පරීක්ෂණයක්‘ සිදු නොවන තත්ත්වයක් දක්නට තිබුණු අතර සිදුකරමින් ඇති ලසන්ත, ප්‍රගීත් පරීක්ෂණ දෙක පිළිබද යම් පැහැදීමක් පෙන්නුම් කළේය.

යම් සාධනීය ලෙස තත්ත්වය එසේ තිබියදී ‘රණවිරුවන්ව අධිකරණයට දක්කාගෙන යනවා…‘ ආදී ලෙස පසුගිය 12වන දා ජනාධිපතිවරයා සිදුකළ වාග් ප්‍රහාරයෙන් නැවතවරක් යුක්තිය ඉල්ලා සිටින සමාජය තුළ ඇති කළේ විශාල තැතිගැන්මකි. යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංඟුවේ තබා ගැනීමට විරුද්ධවද එම රැස්වීමේදීම සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම විසින් අඟවනු ලබන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, නඩරාජා රවිරාජ් ඝාතනය යනාදී සිදුකරමින් ඇති පරික්ෂණයන්ට නැවත වරක් යට යෑමට හෙවත් රාජපක්ෂ කල සිදු වූ දෙය සිදුවීමට ඉඩ ඇති බවයි. ඒ ප්‍රකාශය තුළින් නැවත නැවතත් මතුවන දණ්ඩමුක්තියට ‘යහපාලනය‘ ද ආශක්ත වීම පිළිබද දැනුන ඛේදනීය තත්ත්වය තුළ එතෙක් ඇප නොළබා සිටි සැකකරුවන්ට ඇප ලැබුණේ නැවත වරක් දණ්ඩමුක්තිය මූලික ගති ලක්ෂණයක් කර ගත් රාජපක්ෂ පාලනයේ හැඩරුව සිහිකරමිනි. මේ පිළිබද අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් ගේ බිරිද වන සංධ්‍යා එක්ණැලිගොඩ ‘විකල්ප‘ සමග ප්‍රකාශ කර සිටියේ,

‘‘….එහෙම අපරාධයක් පිළිබද රජයේ ප්‍රධාන පුරවැසියා කියනවා නම් ඒ අපරාධ කාරයෝ නිදහස් කරන්න කියලා,ඒකේදි වින්දිතයෙක් වශයෙන් මට මතුවන ගැටලුව නම් මට කොහොමද යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ, මේ රටේ වින්දිතයින් බවට පත් වෙච්ච අනිත් අයට කොහොමද යුක්තිය ඉෂ්ඨ වෙන්නේ…‘

කෙසේ නමුත් දණ්ඩ මුක්තිය, රාජපක්ෂ පාලනයේ මූලික ගති ලක්ෂණයක් විය. දැන් ඒ පාලනයේ සේයාවන් ‘යහපාලන‘ ආණ්ඩුවේ ප්‍රධාන පුරවැසියා තුළින් මතු වෙමින් තිබීම අඳුරු අනාගතයක සංඥා දනවන ප‍්‍රථම නිමිති ය.

එම බිහිසුනු සංඥා දනවන තත්ත්වයක් තුල වුවද අප ආණ්ඩුවට බලකර සිටින්නේ දණ්ඩමුක්තිය අවසන් කර (#ENDImpunity) ‘යුක්තිය‘ ඉටුවෙන පරිසරයක් සදහා තමන්ගේ දේශපාලන අධිෂ්ඨානය ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙසටය.

එසේම අප පාඨක සමාජයෙන් ඉල්ලා සිටින්නේ සිය සමාජ මාධ්‍ය මත ඔබගේ මතය ප්‍රකාශ කරමින් දණ්ඩමුක්තිය අවසන් කර අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට බල කරන ලෙසය.

ඔබ ට්වීටර් භාවිතා කරන පාඨකයෙක් නම් ‘දණ්ඩමුක්තිය අවසන් කිරීමට ඔබ කුමක් කරන්නේ ද?‘ වැනි ලෙස සෘජුවම ජනාධිපතිවරවා සහ අගමැතිවරයා ගෙන් ඇසීමට උනන්දු වන්න. [ Ex: @MaithripalaS @RW_UNP ‘දණ්ඩමුක්තිය අවසන් කිරීමට ඔබ කුමක් කරන්නේ ද?‘ #ENDImpunity #srilanka #lk |

]

එවැනි ලෙස සිය ෆෙස්බුක්, බ්ලොග්, ආදී සෑම මාධ්‍ය වේදිකාවකින්ම ජනාමාධ්‍යවේදීන්ට, මාධ්‍ය සේවකයින්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ලකරන ලද ප්‍රහාරයන්ට පරීක්ෂණ සිදුකිරීමටත්, යුක්තිය ඉටු කිරිමට බලකිරීමටත් බලපැම් ඇති කරන ලෙස අප තව දුරටත් ඉල්ලා සිටිමු.

සම්පත් සමරකෝන්, කර්තෘ
@VIKALPA

*‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සිදුකරන Social Media Campaign සදහා පිවිසෙන්න Facebook , Twitter සහ Instagram වෙත..

2_1