Image by; colombogazette

1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද?

වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන් කියන දේ අහගෙන රස්සාව කළ කැප්පෙටිපොල ය. මේ ආණ්ඩුව ද්‍රෝහී ලේබලය ගලවා වීර ලේබලය ඇලෙව්වේත් මේ කැප්පෙටිපොලට ය.

ඇත්ත කතාව නම් මේ කැරැල්ල ඉංග‍්‍රීසීන් සල්ලි දී කළා වගේ එකකි. 1815 ගිවිසුම මගින් උඩරට සිංහලයන්ට ලැබී තිබූ බලය නැති කරන්නට ඉංග‍්‍රීසීන්ට වුවමනා විය. ඒත් ඊට ළග පෙනෙන පැහැදිලි පාරක් ඔවුන් සතු ව තිබුණේ නැත. කකුල් දෙක දෙපරැන්ද අස්සේ ගසාගෙන ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ උඩරට සිංහලයන් අතට ගිය බලය ගන්නේ කෙසේද යන්න ය. ඒ අතරවාරයේ ය, කැරැල්ල ආවේ. එනම් එය ඉංග‍්‍රීසීන්ට ආශිර්වාදයක් විය. කිසිදු සැලසුමකින් තොරව ආරම්භ කෙරුණු කැරැල්ලේ අවසන් ප‍්‍රතිඵලය වූයේ කුමක්ද?

වෙල්ලස්සේ ජනතාවගෙන් පහෙන් හතරක් කුඩා ළමුන් සහ කාන්තාවන් වීම ය. කුඹුරු අක්කර ලක්ෂ ගණනක් විනාශ වීම ය. ඉංග‍්‍රීසීන් අතට සියලූ බලය ගත් 1818 ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීම ය. ඒ ප‍්‍රකාශනයට අනුව උඩරට සිංහලයන්ට ලැබුණු බලය නැති විය. ඉල්ලන් පරිප්පුවක් කෑවේ එහෙම ය. දැන් කැප්පෙටිපොල වීරයකු ලෙස සලකන්නට හදන්නේ මේ තත්ත්වය යටතේ ය.

1818 කාලයේ සිද්ධ වූ මේ කතාව යහපාලනයටත් හරියට ගැලපෙන්නේය.

දැන් යහපාලන ආණ්ඩුව ඉන්නේ දෙකයි පනහේ ගාණට වැටිලා ය. මහින්ද රාජපක්ෂලා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ පොරවල් වේගෙන එන තත්ත්වයක ය. මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ රෙස්පෙක්ට් එක ගන්නට සෑහෙන පිරිසක් සිටිති. ඒ අය කතාවක් කරන්නට පටන් ගත්තොත් කියන්නේ අපි ජීවිත පරදුවට තියලා හදපු මේ ආණ්ඩුව කියලා ය. ඇත්තටම ගත්තොත් තමන් තනියෙන් පොල් වතු වල සැගවී ඡන්ද ප‍්‍රතිඵල අහනවාට දේදුනු විප්ලවය කියන්නට බැරි ය. ඒවාට කියන්නේ හෙයියම්මාරු කියා ය.

මොකක් හෝ හෙයියම්මාරුවක් සිද්ධ වී මේ ආණ්ඩුව බලයට පත් විය. ඒ වැඬේ කළේ ඔය කෑගහන, රෙස්පෙක්ට් ඉල්ලන කෙරුමන් නොව ජනතාව ය. මහ පොළොවේ පයගසාගෙන සිටින පිරිස ය.

බැරිවෙලාවත් 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ දිනුවා නම් ඒ මහපොළොවේ සිට මේ සටන කළ පිරිසට ගුටි කන්නට සිදු වන්නේය. ගේ-දොර විනාශ කරගන්නට සිදු වන්නේය. ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදු වන්නේය. එහෙම කැපකිරීම් කළේ ඔවුන් ය.

ඒ කියන්නේ හරියටම 1818 දොරේසාමි වගේ ය. දොරේසාමිලා පටන් ගත් වැඬේට නිශ්චිත සැලැස්මක් තිබුණේ නැතත්, ඊට හොද අරමුණක් විය. මේ වැඩෙත් එහෙම ය. ජනතාව පෙළ ගැසී මහින්ද රාජපක්ෂලා ගෙදර යැව්වේය. ඒත් ඒ වාසිය ජනතාවට ආවේ නැත. තොරතුරු දැනගැනීමේ පනත, දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි සාධනීය පියවර ගත්ත ද, ඒවා අවශ්‍ය තරම් ප‍්‍රගතියක් පෙන්නුවේ නැත. ජාතික විගණන පනත තවමත් තියෙන්නේ හමස් පෙට්ටියේ ය. දුන් අනෙකුත් පොරොන්දු බොහොමයක තත්ත්වය ද ඒ ආකාර ය. සංවර්ධන විශේෂ විධිවිධාන පනත හරහා සුපිරි ඇමැතිලා බිහි කරන්නට හදන්නේය. බැසිල් රාජපක්ෂලා ගිය ආණ්ඩුවේ සුපිරි බලතල භුක්ති වින්ද බව කියන පිරිස මෙසේ කටයුතු කිරීම ගැන ලැජ්ජා විය යුතුය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා තිබුණේ කඩිනම් සංවර්ධනයක් සදහා මේ වැඬේ කරන බව ය. එසේ නම් ඒ කඩිනම් සංවර්ධනය කියන්නේ කුමක්ද, එය සිදුවන්නේ කෙසේද, අදාළ කාරණයට පත් කරන විශේෂ ඇමැතිවරුන්ට ඇත්තටම ලැබෙන බලතල මොනවාද යන්න පැහැදිලි කළ යුතුය. එසේ නොකොට ඔන්න අපිට චෝදනා කරනවා, එහෙම කරන මාධ්‍ය වල රෙදි ගලවනවා යන කතා කියන්නට කිසිදු දේශපාලනඥයකුට අයිතියක් නැත.

හම්බන්තොට වරාය සහ ඒ ආශ‍්‍රිත අක්කර පහළොස්දාහක් විකිණීම සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ ද ඒ ටික ම ය. මාධ්‍ය සහ අනෙකුත් පාර්ශ්ව අසත්‍ය චෝදනා එල්ල කරන්නේ නම් කළ යුත්තේ සත්‍ය කුමක්ද යන්න රට ට කීම ය. බොරුවෙන් විලි වහගන්නට ගියහොත් සිද්ධ වෙන්නේ යට ඇදුමත් නැති වීම විතර ය.

සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී 1818 ඉංග‍්‍රීසීන් කළ කාර්යභාරය කරන්නට ද පිරිසක් අර අදිමින් සිටිති. වැඬේ තියෙන්නේ ඒ වෙලාවේ නම් ඉංග‍්‍රීසීන් පැහැදිලි සතුරා ලෙස පෙනෙන්නට තිබුණේය. මේ වෙලාවේ සතුරා ඉන්නේ සාක්කුවේ ය. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ වැඩ අවුල් කර තමන්ගේ ගේම ගහන්නට ය.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ළගට කිට්ටු වූ මහින්ද රාජපක්ෂට කත් ඇද්ද මේ පිරිස ඉංග‍්‍රීසීන්ගේ චරිතය රගපාන්නේ මොකටද?

ඒ මෛත‍්‍රිපාල සිරිසේන ව අතකොලූවක් කරගෙන මහින්ද පිලට යළිත් බලයක් ගේන්නට ය. ඔවුන් එය කළ යුතුය. එසේ නොවුණහොත් ඔවුන්ට පවතින්නට නොහැකිය.

ඊට හේතුවක් තිබේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්නට ඇත්තටම කැප වූ, ඇත්ත රෙස්පෙක්ට් එක හිමි විය යුතු පාර්ශ්ව හොරකම් කරන්නට දෙන්නේ නැත. පහුගිය ආණ්ඩුව කළ මිනීමැරුම් අල්ලන්නට මේ ආණ්ඩුව මැලි වන එක ඔවුන්ට පෙන්නන්නට බැරි ය. මේ ආණ්ඩුවේ තනතුරු ගෙන පොරටෝක් දෙන මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලන් ඔවුන්ගේ ලැයිස්තු වල ද්‍රෝහී තැනට වැටී තිබේ.

ඒ නිසා දැන් කළ යුත්තේ මෛත‍්‍රිපාල සිරිසේන මෙල්ල කරගෙන මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයින් අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂය කරන අලූගුත්තේරු වැඩ අනුමත කරමින් එජාපය රැකිය යුතු බව නොවේ. ඔවුන් ද මේ මොහොතේ කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු බල්ලට දමා කටයුතු කිරීම ය. රජයේ ආයතන විකුණන බවක් ඔවුන් ඡන්දයට පෙර කිව්වේ නැත. ඒත් දැන් කරන්නට හදන්නේ ඒක ය.

ජනතාවට අම්බානක සහන දෙනවා කී ඔවුන් දැන් බදු පිට බදු ගහන්නේය. ඒ අස්සේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙතෙක් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත. ඊට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගමැතිවරයා ළගට යවා ඇති බවත්, එකැන හිර වී ඇති බවත් මාධ්‍ය අනාවරණය කර තිබිණි. මිනීමරුවන් රකින්නේ එක්සත් ජාතික පක්ෂය බවත්, මහින්ද රාජපක්ෂලා පිටරට හෝටල් වල දී එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් මුණගැසෙන බවටත් චෝදනා එල්ල වේ.

මේ සියල්ල කියන කතාව කුමක්ද?

මහින්ද රාජපක්ෂලා ළග සිට මේ ආණ්ඩුවට පැමිණ යටින් ගේම් ගහන ඇත්තන්ගේ රෙදි ගැලවිය යුතු බව ය. එය කළ යුත්තේ තමන් ද රෙදි ඇදගැනීමෙන් පසුව ය. මේ වෙලාවේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට කොන්දක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඔහුගේ කොන්දේ ශක්තිය මත මේ ආණ්ඩුවේ අනාගතය රදා පවතී.

නැතහොත් සිද්ධ වන්නේ 1818 දී ඉංගී‍්‍රසීන් සිංහලයන්ගේ අඩුපාඩු භාවිත කර, තමන්ට අවශ්‍ය බලය ලබාගත්තාක් මෙන්, මේ ආණ්ඩුවේ අඩුපාඩු භාවිත කර මහින්දලා තමන්ගේ ගේම ගැහීම ය. එසේ සිදු වන්නට ඉඩදිය නොහැකිය. ඊට හේතුව සැබෑ රෙස්පෙක්ට් එක ලැබිය යුතු ජනතාව මේ ආණ්ඩුව ගැන තවමත් අංශු මාත‍්‍ර බලාපොරොත්තුවක් තබාගෙන සිටීම ය. ඔවුන් සැබෑ කැපකිරීම් කරන්නට සූදානම් ය. අවශ්‍ය වන්නේ පොරටෝක් වලින් එහාට ගිය අනෙක් පැත්තේ කැපකිරීම් ය.

ශාලික විමලසේන | Shalika Wimalasena

##

සබැදි සටහන්

ඒකීය රාජ්‍ය දිවිහිමියෙන් රැකීම සහ එහි මිනිසුන් නොරැකීම

මරපු උන් සහ මරපු උන් රකින උන්