Image:Killinochchi/S.Samarakoon 2017

සම්පත් සමරකෝන්

වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක් ඒ දෙස නොබලයි. ලංකා හමුදාවේ යුද සංචාරක ව්‍යාපෘතියට රහ වැදී දකුණෙන් උතුරට යන ඇතැමෙක් ඒ ලේ වැකි බියකරු සංඛේතය පසුබිමට තබා සිනාමුසුව සෙල්ෆි ගනු දක්නට ලැබෙයි. නිරන්තරයෙන් ඒ අසල සෙබලුන් කිහිපදෙනෙක් ගැවසෙන්නේ තවමත් කැකෑරෙන වන්නි මිනිසාගේ වේදනාව ලෝකයාගෙන් වසන් කරන්නට මෙනි. නමුත්, මිනිස් ජීවිත වන්නි මහපොළවට යටකර දැමූ ඒ සන්නද්ධ සේනාව තවමත් වන්නි බිමේ වාඩිලා ගෙන සිටින ඒ පොළවේ, තවමත් යුක්තිය ඉල්ලා යාදින වියපත් මව්වරුන්, පියවරුන් තාවකාලිකව අටවා ගත් තහඩු මඩුවේ කදුලු සලමින් ජීවිතය ඉල්ලා අතුරුදන් වූ සිය දරුවන්ගේ සුවද තුරුලුකරන් කදුළු වගුරුවති..

වන්නිය තලා දැමූ ඒ සේනාවෝ සහ යුද අවි තවමත් එහිම ගබඩා කර ඇත්තේ සංදර්ශනයන්ට මෙනි. දකුණට ඒවා විනෝදය සපයන සංචාරක ආශ්වාදයන් වුවත් වන්නි මිනිසා ට තව තවත් එය වේදනාවකි. ඒ වේදනාව දකුණට තවමත් ගැඹුරින් ඇසෙන්නේවත්, දැනේන්නේවත් නැති සේයකි. එදවස ජීවිතය බේරා ගන්නට දුවගිය වන්නි මිනිසුන් අද තමන්ගෙන් මගහැරුනු, බලා සිටියදීම හමුදාවට බාරදුන්, පසුව අතුරුදහන් යැයි කියන තමන්ගේ සමීපතමයින් ඉල්ලා ගිණිගහන අවුවේ කදුලු වගුරුවති.

සියලු කව්ළු වසා දැමූ වාහන ඒ9 පාරේ යහමින් යමින් තිබේ. කෝවිල අසල තවමත් ඇති හමුදා කදවුර තුළ ඇත්තේ මල් නොවන බව කිලිනොච්චි වැසියන් දන්නේය. ඒ හමුදාවම පාලනය කරන විට තමන්ගේ දරුවන් අතුරුදන් වූ බවද ඔවුන් දන්නේය. ඒත් දැනට වසර 8ක් ගෙවී ගොස් ඇත. තමන්ගේ දරුවන්, සැමියන් තවමත් ඔවුන් වෙත පැමිණියේ නැත. ඒ නිසාම වියපත් දෙමාපියන් කෝවිල අසල වාඩි වූයේ තමන්ගේ දරුවන් ඉල්ලා මිසක් කන්න බොන්න ඉල්ලා නොවේ. නමුත් ඒ වෙහෙසකර වෑයමට දින 10ක් ගත වුවත් ඒ වියපත් දෙමාපියන් තවමත් ඒ හිරුරැස් යට දෑස් දල්වා බලා සිටින්නේ සිය ගැඹුරු බලාපොරොත්තු තුරුළු කරන් ය.

ඔහු මගේ දෑත් තදින් අල්ලා ගත්තේය. දෑස් නොහෙලා මා දිහා බලා, කුමක්දෝ කියන්න හැදුවත් ඔහුගේ මුවින් කිසිදු වචනයක් ගලා ආවේ නැත. ඒ වියපත් අත් මගේ අත් තදින්ම අල්ලාගෙන දෑත් අත්නොහැර මා දිහා ම බලා ඉන්නට විය. ඒ ගාම්බීර ඇස් තවමත් මා දිහා බලාගෙන, නළලේ තිබූ තුන්නූර් දහඩියට දියවෙමින් ඇස් අගින් කදුලු සමග වැටෙන අයුරු මට බලා සිටින්නට නොහැකි විය. ඔහුගේ කදුලු ත්, මගේ ඇසුත්, මගේ කදුලුත් ඔහුගේ ඇසුත් එකම භූමියක බිම වැටිනි. කිසිදාක දැක නැති, කිසිදාක කතා කර නැති මේ මහලු මිනිසා මගේ ඔලුවට අත තියයි.. නැවතත් අත අල්ලා ගනියි. ‘මට මගේ පුතා ගෙනත් දෙන්න! මහත්තයෝ!!!!! මගේ පුතා ඉන්නවා‘ කැඩුනු සිංහලෙන් ඉකි ගසමින් කියනු කාට නම් අසා සිටිය හැකිද?

ලේ වැකි යුද්ධයේ බියකරු බව නැවත නැවතත් මා අත්විදිමින් සිටින්නේ ජීවත දහස් ගණනකගේ ලේ, කදුළු ගැලූ කිලිනොච්චියේ කෝවිල අසල ය. ඒ ඊනියා මාණුෂික මෙහෙයුම නමින්, මිනිස් සංහාරයක් සිදුකල වන්නියේ එක් බිමකය.

මා කුමක් කියන්නද???? මේ, ඒ වියපත් පියාගේ හදවතේ වේදනාව මුසු වුනු, බලාපොරොත්තුවයි.

”ළමයව ගෙනත් දෙන්න. වෙන මොනවත් ඉල්ලන්නේ නෑ. එයාගේ වම් කකුල තුවාල වෙළයි තිබුණේ. ඒත් ඒ කකුල සනීප වෙලා කියලා කිව්වා. මගේ දරුවා ගෙනත් දෙන්න. හැම තැනම ඇවිදලා අපිට මහන්සියි. දැන් එයා හිටියා නම් අවුරුදු 36ක්. එයා මගේ බාල පුතා. ඔයාලගෙන් තමයි අහන්න ඕන. වෙන මොනව කරන්නද? එයාගේ අම්මත් දැන් ලෙඩ ඇදේ. කොහේවත් යන්න බෑ.

අපේ දරුවා නෑ කියන්න එපා. එයාව අපිට ගෙනත් දෙන්න. වෙන මොනවත් එපා. අපිට අපේ පැටියව ගෙනත් දෙන්න. නෑ කියන්න එපා. මගේ දරුවා ගෙනත් දෙන්න.”