Image By: Lucili Abekoon

Update| 10.16AM-01May2017

පසුගි 29 දා මුල්ලිකුලම් මිනිසුන් සහ නාවික හමුදා නිළධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවෙන් පසුව ඊයේ 30 සවස නාවික හමුදාව විසින්, මුල්ලිකුලම් ඉඩම් අහිමි ජනතාවගේ නියෝජිතයන් 10 දෙනෙක් සමග මිනිසුන් ඉල්ලා සිටින මිනිසුන්ගේ ඉඩම් වල සීමාවන් පරීක්ෂා කිරීමට ඔවුන්ව කැදවා ගෙන ගොස් ඇත. එහිදී එළඹෙන බ්‍රහස්පතින්දා(04) අදාල ඉඩම්වල මැනුම් කටයුතු සිදුකිරීමට අදහස් කරන බවත් මුල්ලිකුලම් මිනිසුන්ට අයිති කුඹුරු ඉඩම් නිදහස් කරන බවත් නාවික හමුදා නිළධාරීන් එහිදී පවසා තිබේ. නමුත් නිදහස් කරනු ලබන ඉඩම් ප්‍රමාණය පිළිබද නිශ්චිත තීන්දුවකට තවමත් පැමිණ නැති අතර එය එළඹෙන බ්‍රහස්පතින්දා තීන්දු වනු ඇතැයි වාර්තා වෙයි.

##

නාවික හමුදාව බලහත්කාරයෙන් භාවිතා කරමින් සිටින මුල්ලිකුලම් මිනිසුන්ට අයිති ඉඩම් ඉල්ලා මුල්ලිකුලම් මිනිසුන් විසින් සිදුකරමින් තිබූ විරෝධතාවයට දින 38ක් ඊයේ(29) දිනට සැපිරිණි. නමුත් ඊයේ දිනය ඔවුන්ට සුවිශේෂී දිනයක් වූ අතර නාවික හමුදාවේ නිළධාරීන් සහ මුල්ලිකුලම් මිනිසුන් අතර සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදාව අද වන විට ද භාවිතා කරමින් සිටින මුල්ලි මිනිසුන්ට අයත් නිවාස 27ක් නැවත මිනිසුන්ට ලබා දීමට නාවික හමුදාව එකගත්වය පළ කර තිබේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මුල්ලිකුලම් හී නාවික විධාන මුළස්ථානයේ සිදුකල සංචාරයක් අතරතුර මෙම එකගත්වයට එළබ තිබේ.

මාස 6ක් ඇතුලත එම නිවෙස් නිදහස් කිරීමට පියවර ගන්නා බවත්, මුල්ලිකුලම් හී පිහිටි දේවස්ථානය අවසරයකින් තොරව මිනිසුන්ට භාවිතා කිරීමට ද, එකගත්වය පළ කර තිබේ.

මහපාරේ විරෝධතාවය අවසන් කර දේවස්ථානයට….

සිය නිවාස 27 නැවත ලබාදෙන බවට නාවික හමුදාව විසින් පොරොන්දු වීමෙන් පසු මහපාරේ එතෙක් සිදුකරමින් තිබූ විරෝධතාවය අවසන් කිරීමට මුල්ලිකුලම් මිනිසුන් පියවර ගත් අතර ඉන් පසු ඔවුන් නාවික මූළස්ථානය තුලම වන දේවස්ථානය තුළ නිවාස සහ ඉඩම් යළි ලබා දෙනතුරුම රැදී සිටීමට තිරණය කළේය. මේ වන විටද ඔවුන් දේවස්ථානය තුළ සිය කටයුතු සිදුකරමින් පවතී.

පහතින් දැක්වෙන්නේ මේ වන විට මුල්ලිකුලම් දේවස්ථානය තුල සහ ඒ අසල මුල්ලිකුලම් මිනිසුන් රැදී සිටින අයුරුයි..

එසේම මුල්ලිකුලම් මිනිසුන්ට අයිති ඉඩම් ද ලබා දීම පිළිබදව එහිදී සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබද නිශ්චිත එකගත්වයකට පැමිණ නැත. නමුත් මුල්ලිකුලම් මිනිසුන් පවසන්නේ ඔවුන් ගේ සියලු ඉඩම් සහ නිවාස යළි ලබා දෙන තුරුම සිය අරගලය අත්නොහරින බවයි. කෙසේ නමුත් නිවාස සහ ඉඩම් ලබා දීම පිළිබද වන සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සදහා නාවික හමුදා නිළධාරීන් 4 දෙනෙක් සහ මුල්ලිකුලම් මිනිසුන්ගේ නියෝජිතයන් 4දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.

දකුණේ ජනමාධ්‍ය වාර්තාවල ඇති ද්‍රවීකරණය

දින 38ක් පුරා මුල්ලිකුලම් මිනිසුන් ගෙන ගිය අරගලය පිළිබද යුක්තිසහගත කිසිවක් වාර්තාකිරීමට උනන්දු නොවූ දකුණේ ඇතැම් මාධ්‍ය මේ පුවත සැලවීමත් සමග නින්දෙන් ඇහැරුණි.

දෙරණ වෙබ් අඩවිය එය වාර්තා කර තිබුණේ ‘‘මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරන්න එකඟතාව පළ කරයි‘‘ යනුවෙනි. ‘‘නාවික හමුදාව සතුව තිබූ මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර සියයක් එම ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීම සඳහා නිදහස් කිරීමට නාවික හමුදාව එකඟතාව පළ කර තිබේ‘‘ එහි වැඩිදුරටත් සදහන් වී තිබුණි.

නාවික හමුදාව සහ මුල්ලිකුලම් මිනිසුන් අතර සිදුකරන ලද සාකච්ඡාවන් තුළ ඉඩම් අක්කර 100ක් පිළිබද ව හෝ නිශ්චිත ගනනය කිරීමක් ගැන කිසිවක් සාකච්ඡා නොකල බවත්, එවැනි එකගතාවයකට හෝ නොපැමිණි බවත් නිවාස 27 පිළිබද පමණක් සාකච්ඡාකල බවත් මුල්ලිකුලම් මිනිසුන් පවසයි.

මුල්ලිකුලම් ඉඩම් නිදහස් කරයි‘ ටැමිල් මිරර් වෙබ් අඩවිය වාර්තා කලේ ය. එය ද සම්පූර්ණයෙන් අසත්‍ය තත්තවයකි. ඉඩම් නිදහස් කිරීම පිළිබද සාකච්ඡා සිදුකලත් ඉඩම් නිදහස් කර නැති බව ටැමිල් මිරර් වෙබ් අඩවියට අවශ්‍ය නම් සොයා බැලිය හැකියි.

තවත් පුවත් අඩවි ගනනාවක්ම සදහන් කර තිබුණේ ඉඩම් ‘නිදහස් කිරීමක්‘ සම්බන්ධයෙනි. නමුත් නිවැරදි තත්ත්වය වාර්තා කිරීමට ගන්නා කිසිදු උත්සහයක් ඒ කිසිදු පුවතක නැත. අවම වශයෙන් මුල්ලිකුලම් මිනිසුන්ගේ අදහසක් හෝ වින්දිතයන් වූ අයගේ ප්‍රකාශයක් ලබා ගැනීමටවත් ඔවුන් උත්සහ කර නැත්තේ උතුර පිළිබද වාර්තාකිරීමේදී දක්වන සුපුරුදු සිය විලාසය නැවතත් පෙන්වමිනි.

කිවූ තවත් බොරුවක්

මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන 10දාය.

මේ පුවත ද දකුණේ සියලු මාධ්‍ය වාර්තාකර තිබුණේ කේප්පාපිලව් මිනිසුන්ගේ ‘ඉඩම් නිදහස් කරයි‘ යනුවෙනි.

නමුත් අදද කේප්පාපිලව් යන ඕනෑම අයෙකුට, ඔවුන් ඉඩම් ඉල්ලා කේප්පාපිලව් හමුදා අණදෙන මූළස්ථානය ඉදිරියේ ඔවුන් විසින් පවත්වාගෙන යන විරෝධතාවය දක්නට හැකිය.

මෙන්න සාක්ෂි

සබැදි සටහන්

මුල්ලිකුලම් – නාවික හමුදා ග‍්‍රහණයෙන් ගමක් නිදහස් කරගැනීමේ යළි ඇරඹි සටන

මුල්ලිකුලම් මිනිසුන්ගේ ‘අන්තිම කැමැත්ත’ [Video]

‘යුක්තිය’ ඉල්ලන මුල්ලිකුලම් මිනිසුන්ගේ හදවත