රට පුරා සුවිශාල විරෝධයක් එල්ල වෙමින් පැවති වත්මන් ආණ්ඩුවේ ඉන්දියානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක සංචාරයකින් පසු අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදී අතර පැවති කතාබහ පෙරදාට වඩා තීරනාත්මක එකක් විය. එසේම, අදාළ දේශපාලන ගිවිසුම් මූලික කරගනිමින් රට තුළ මෙන්ම ඉන් පිටත ඇති වීමට තිබූ ප්‍රභල උද්ඝෝෂණ කෙසේ හෝ යටපත් කිරීමට දෙපාර්ශවයම සමත්වූහ. ඒ අනුව දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීම ඉතාම “සාමකාමීව” සිදු විය. ශ්‍රී ලංකාවේ ජනජීවිතය අරඹයා ආර්ථික, දේශපාලන සහ ආරක්‍ෂක ක්ෂේත්‍ර සම්බන්ධ ඉන්දියානු මැදිහත්වීම තව දුරටත් ශක්තිමත් වනු ඇත.

වික්‍රමසිංහ තම ඉන්දියානු සංචාරය ආරම්භ කළ මොහොතේ පටන් දේශීය දේශපාලනය උණුසුම් කළ කාරණය වූයේ කැරලි මර්දනය සඳහා ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට ජනාධිපතිවරයාහේ අවධානය යොමු වී ඇති බවයි. බැලූ බැල්මට ක්‍රමෝපායික දේශපාලන අදහසක් වූ එමඟින් රටේ මූලික අවධානය ඒ දෙසට යොමු කිරීමට ආණ්ඩුව සමත් වූ බව දක්නට ලැබේ. එහි තවත් එක් දිගුවක් ලෙස ෆොන්සේකා විසින් ඊයේ ( අප්‍රේල් 30) ඉදිරිපත් කළ අදහස එනම් කොළඹ ප්‍රධාන මාර්ග හතරක් අවහිර කොට තමන්ට රටේ බලය අල්ලා ගත හැකිව තිබූ නමුත් එසේ නොකළ බවට උදම් ඇනීම බරපතල මෙන්ම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයකි.

අදාළ බරපතළ ප්‍රකාශයේ සැර අඩුකිරීම සඳහා හෙතම හමුදාව සතු විනය නමැති කාරණය රැගෙන එමින්, විනයානුකූල හමුදාවක් එසේ නොකරන බව සඳහන් කළේය. ඉන් කියවෙන්නේ ඔහුට රටේ බලය අල්ලා ගැනීමට වුවමණාවක් තිබූ නමුත් සමස්ථ හමුදාව සතු විනය හේතුවන් එසේ කිරීමට නොහැකි වූ බවද? ඉන් අනියමින් කියන්නේ, රාජපක්‍ෂ පරිපාලනය විසින් ෆොන්සේකා මර්දනය කිරීම සඳහා පැහැදිලි මෙන්ම සාදාරනීකරණය කළ හැකි හේතූ තිබූ බවද?

අනෙක් අතින්, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හට කැරලි මර්දනයට හෝ උද්ඝෝෂකයින්ගේ විනය පරික්ෂා කිරීමට නව තනතුරක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට සැබෑ වුවමණාවක් තිබේද? යන්න වෙනම විමසා බැලිය යුතු දේශපාලනික ගැටලුවකි. කැරලි මර්දනය සඳහා යැයි නම්කරමින් ජනතාවගේ බදු මුදලින් කාලාන්තරයක් තිස්සේ නඩත්තු කරන විශේෂ ඒකක තිබේ. එම ඒකක විසින් රටේ විශ්ව විද්‍යාල සිසුන්ගේ සිට කුලීකරුවන් දක්වා වූ සියලුම පාර්ශවන් හට හිතේ මනාපෙට තඩිබා ඔවුන්ට වදහිංසා සිදුකොට ඇත. ඒ නිසා කැරලි මර්දනයට නව ඒකකයක් සැබවින්ම අවශ්‍යය වන්නේද යන්න අපැහැදිලි කාරණයකි. මන්ද, රටේ පරිපාලනය සකස්වී ඇත්තේ මර්දනය සඳහා මිස නිදහසේ මූලිකාංග වලට ගෞරව කිරීමට නොවේ.

පසුගිය දින කිහිපය තුළදී රටේ ඇති වූ ඉතාම බරපතළ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රමෝපායන් එතරම් සාර්ථක නොවන්නා සේම ඒවා විසින් ඉදිරි වසර තුන තුළදී ආණ්ඩුවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් බරපතළ සැක සංකා ඇතිවේ. එය පාලනයකට වඩා මර්ධනයක් වෙත ගමන් කරමින් සිටින ආකාරයක් දක්නට ලැබේ.

ඒ කෙසේ වෙතත්, වත්මන් දේශපාලන සන්දර්භය හමුවේ ෆොන්සේකාගේ කාර්යය භාරයයේ සැබෑ වුවමණාව වෙනත් එකකි. කෙටියෙන්ම කිවහොත්, ෆොන්සේකා ආණ්ඩුවේ ඇතැම් මූලික කාරණා වලට ජනතාවගේ අවධානය යොමුකිරීම ක්‍රමානුකූලව වසා දමා එය වෙනත් පැත්තකට හැරවීමට භාවිතා කරන රූකඩයකි. වික්‍රමසිංහ තම ඉන්දීය සංචාරය ආරම්භ කළ වහාම කැරලි මර්දනය සඳහා ෆොන්සේකාට ලබා දෙන තනතුරක් ගැන මතයක් පතුරවමින්, අගමැතිවරයා ඉන්දියාව සමඟ කළ ගනුදෙනුව ගැන ජනතවාගේ අවධානය අඩු කිරීමට උත්සහ කිරීමට ආණ්ඩුව උත්සහ කළ බවක් අදාළ නාටකයේ සම්පූර්ණ විගඩම දෙස බැලීමේදී හඳුනා ගත හැකි වේ. මෙය පළමු උත්සාහය නොවේ. ෆොන්සේකා “ප්‍රාදේශීය සංවර්ධන” ඇමතිවරයා ලෙස කටයුතු කිරීමට පෙර එනම් නව නායකත්වය බලයට පැමිණ මාස දෙකකින් පසු ඔහුට පිරිනැමූ “ෆීල්ඩ් මාර්ෂල්” ධූරය පිරිනැමූ මොහොතේ පටන් දේශපාලනික වශයෙන් සිදු වූයේ එයයි.

ෆීල්ඩ් මාර්ෂල්වරයා දේශපාලනික වශයෙන් ගත්කළ හුදෙකළා කරනු ලැබූ චරිතයක් බවට පත්කොට ඇත. දේශපාලනික වශයෙන් තනිව කටයුතු කළ නොහැකි අවලංගු වූ චරිතයක් වී ඇත. ඔහුගේ දේශපාලනය උපාංගයක කොටසක් මිස උපාංගය නොවේ. මෙම තත්වය යටතේ පැහැදිලි වන්නේ කුමක්ද?

ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ දේශපාලනික හැසිරීම් සහ අනෙකුත් කටයුතු සමාන වන්නේ විනයාගමූර්ති මුරලිදරන්ටය. විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණාගේ වටිනාකම දේශපාලනික වශයෙන් තම අභිමතය පරිදි භාවිතා කිරීමට රාජපක්ෂ පරිපාලනය කටයුතු කළ ආකාරයෙන්ම, ෆොන්සේකාගේ දේශපාලනය තම අභිමතය පරිදි භාවිතා කිරීමට අගමැති වික්‍රමසිංහ සහ ජනාධිපති සිරිසේන සමත් වූහ. දේශපාලනයේ ක්‍රමෝපායන් වල ඇති සත්‍යය සහ ප්‍රායෝගික තත්වය මෙයයි. එය රටේ උන්නතියට වඩා පටු දේශපාලන බලය මූලික කරගත් අභිමතාර්ථයන් වෙනුවෙන් හැඩගැසී ඇති කාරණයකි. ලංකාවේ දේශපාලනය ඇතැම් රටවලින් වෙනස් වන්නේ මෙහිදීය.

බොහෝ රටවල ඉතිහාසය පරික්ෂා කිරීමේදී යුද්ධය වූ කලී නියත සංසිද්ධියක් විය. එසේම එවැනි දෑ අවසානයේ අසාමාන්‍යය නිලධාරීන් බිහිවූහ. එහි උත්තරීතර නිලයක් ලෙස “ෆීල්ඩ් මාර්ෂල්” ධූරය හැඳින්විය හැකිය. ලොව බිහි වූ ෆීල්ඩ් මාර්ෂල්වරුන් රාශියකි. ඔවුහුට හිමි වී ජනප්‍රසාදය මෙන්ම ගරුත්වය ඔවුන්ගේ ජීවිතයෙන් පසුවද එම සමාජවල රැඳී තිබුණි. එසේම, ඔවුහු රටවල රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස්කොට පරිපාලන ක්‍රමවේදය පෘථුල අභිනවය උදෙසා කටයුතු කළහ.

චීනයේ ෆීල්ඩ් මාර්ෂල් ලියු බෝචෙන් සහ ලංකාවේ ඇමති ෆීල්ඩ් මාර්ෂල්

සිය ගණනක් අතර නිලධාරීනේගෙන් මෙහිදී මතක් කළ යුතු එක් නිලධාරියෙකි. ඔහු චීනයේ දේශපාලනය තුළ විශාල මැදිහත්වීමක් කළ නිලධාරීයෙකි. ක්‍රමෝපායික නූතන චීන ඉතිහාසයේ ප්‍රකට තුන හමාරෙන් ( ත්‍රි ඇන්ඩ් අ හාෆ්) එක් අයෙකු ලෙස හැඳින්වෙන් ඔහු ෆීල්ඩ් මාර්ෂල් ලියු බෝචෙන්ය. මෙම තුන හමාරේ කට්ටුව නියෝජනය කළ අනෙකුත් නිලධාරීන් වූයේ කොමියුනිස්ට් පක්ෂයේ අණදෙන නිලධාරියෙකු වූ ලින් බියාඕ, කුවමින්තාන් අණදෙන්නා වූ බයි චොන්ග්සි ය. භාගය ලෙස හැඳින්වූයේ කොමියුනිස්ට් පක්ෂයේ සු යූය.

ලියු සම්බන්ධයෙන් සැලකිය යුතු සාහිත්‍යයක් චීන බසින් පමණක් නොව ඉංග්‍රීසි ඇතුළු ප්‍රධාන පෙලේ භාෂාවන් රාශියකින් ප්‍රසිද්ධ වී තිබේ. පසුකාලෙක ඩේන් ෂියාඕපින්ග් සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ෆීල්ඩ් මාර්ෂල් ලියූට හැකිවිය. ඩේන් ෂියාඕපින්ග්ගේ “බළල් වාදයේ” ( කැට් තියරි) සැබෑ නිර්මාණකරුවා ෆීල්ඩ් මාර්ෂල් ලියු බෝචෙන්ය. “මීයන් අල්ලන්නේ නම් බළලා කලුපාට හෝ කහපාට වුවද ගැටලුවක් නැත. ඌ හොඳ පූසෙකි,” ඩේන් ඉදිරිපත් කළ අදහසේ සැබෑ නිර්මාණකරුවා ෆීල්ඩ් මාර්ෂල් ලියු බෝචෙන්ය. මේ ආකාරයෙන්, ලෝකයේ බිහි වූ බොහෝ ෆීල්ඩ් මාර්ෂල්වරුන් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සහ කළෝය. නමුත් මෙරට පටු දේශපාලන සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කිරීම පමණක් දක්නට ලැබේ.

අවාසනාවට මෙන් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ කටයුතු දෙස බැලීමේදී දැකගත හැක්කේ කුමක්ද? පෙරදා සගයා මෙකල දේශපාලන ආශාවන් වෙනුවෙන් පවා දීමද? එය ඊට වඩා ඔබ්බට ගිය කාරණයකි. පුම්බනු ලැබූ සබන් බෝලයේ පැවැත්ම රඳා පවතින්නේ පිටත වාතයේ ඇති පීඩනය මතය. සබන් බෝලය කෙතරම් සුන්දර වුවද ඊට එහි පැවැත්ම තනි අරගලයකින් ආරක්‍ෂා කරගත නොහේ. අවසානයේදී බාහිර පාරිසරික සාධක මත එය පුපුරා යන්නේය. මෙම මූලික පසුබිම යටතේ, රටේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ගරුත්වය දේශපාලන කල්ලි වාදය හමුවේ නෂ්ඨ වී විහිළුකාරයෙකු වෙමින් පවතින ආකාරය මෙන්ම එය කෙතරම් දුරට ජනතාවගේ අපේක්ෂාවන් වලට හානී සිදු කරමින් සිටින්නේද යන්න තේරුම් ගැනීමට අතිරේක පැහැදිළි කිරීම අවශ්‍යය වන්නේද?

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa