පූජිතගේ භාවනා පංතියෙන් පසු පොලීසියේ අපූරු දේවල් වෙමින් තිබේ. එයට උදාහරණයක් සපයමින් හම්බන්තොට සහකාර පොළිස් අධිකාරී තුෂාර දලුවත්ත විසින් සිය අත්අඩංගුවට පත් විරෝධතා කරුවෙක්ට කනට ගැසුවේය. ඊට දින කිහිපයකට පෙර අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියගිය සිදුවීමකට අදාළව පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේය. තවත් එවැනි නීතිවිරොධී, අශීලාචාරකම් ඕනෑ තරම්ය.

අද එහි තවත් එවැනි බියකරු සිදුවීමක් දක්නට ලැබුනි.

එනම් මීට පෙර කිසියම් විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය භාවිතා කළ එක් උපකරණයක් වූයේ බැටන් පොලු බව ඕනෑම අයෙක් දන්නා කරුණකි. එය විශේෂයෙන් පොලිසිය පසුගිය කාලය පුරාම භාවිතා කළ විරෝධතා විසුරුවා හැරීමට භාවිතා කල උපකරණයක වූ අතර එය විශේෂයෙන් සාදා ඇත්තේ පහරකනු ලබන තැනැත්තාට අවම හානියක් වන අයුරින් ලී, රබර් සහ ප්ලාස්ටික් මිශ්‍රණයකිනි.

නමුත් අද සයිටම් විරෝධතා සිසුන්ගේ විරෝධතාවය මර්දනය කිරීමට බැටන් පොලු අස්සේ යකඩ පොලු ද තිබීම භාවනාවේ ප්‍රතිපලයක් දැයි පොලිස්පති පූජිත ජයසුන්රගෙන් සහ නීතියේ පාලනය ස්ථාපිත කරනවා යැයි කියා බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායකගෙන් ඇසිය යුතු වේ.

මැර පොලීසියක්?

විශේෂයෙන් සැකසූ බැටන් පොලු පොලීසියට ලබා දී තිබෙන අරුත වන්නේ කිසියම් මිනිසෙක්ගේ ජීවිතයට හානී නොවී යම් තත්ත්වයක් පාලනය කර ගැනීම සදහාය. එම බැටන් පොල්ල විශේෂයෙන් සකසා ඇත්තේ ඒ නිසාය.

නමුත් පසුගිය කාලය පුරාම නොදුටු ලෙස අද දවසේ පොලීසිය භාවිතා කල බැටන් පොලු අතර යකඩ පොලු තිබීමත් ඒවායින් පහරදීමත් විසින් චිත්‍රනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලීසිය තවදුරටත් මානව හිමිකම්, මිනිසුන්ගේ ජීවිතය, ගෞරවය නොසලකන ගෝත්‍රික රටක පොලිසීයක් බවට පර්වර්තනය වෙමින් ඇති බව නොවේද?

ඒ වෙමින් ඇති පොලීසියේ අශිලාචාර තත්ත්වය හමුවේ සිදුවන්නේ තවදුරටත් ජනතාව විසින්, පොලීසිය විශ්වාස නොකරන ආයතනයක් බවට පත්වීමය. මෙය ඉතා ගැඹුරින් හානි කරන්නේ කිසියම් සමාජයක ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම් සහ නීතියේ පාලනයට යි. එමනිසා ලාංකීය පොලීසිය ප්‍රජාතන්ත්‍රීයකරණය නොකර මෙවැනි මැර තත්ත්වයකට ඇද දැමීම තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන ‘යහපාලනය’ නම් ගොඩ නැගීම දුෂ්කර වනු ඇත. අනෙක් කරුණ නම් වධහිංසා පැමිණවීම අතින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ලංකා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ මෙවැනි මැර තත්ත්වයන් තුළින් තව තවත් ලෝකයෙන් ඉදිරියට යනු ඇත. ඉන් පසු එළබෙන මාර්තුවේත් ජීනිවාවලට රෙදි ඇදගෙන ගොස් ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් ගැන ප්‍රගතිය පවසන්නට ලාංකාවට හැකි වනු ඇත.

ඉතින් අපි තවදුරටත් භාවනා කරමු! යකඩ පොල්ලත් පසෙකින් තබාගෙනම..!

[Image Credit: Pubudu Jayagoda/FB]