Image: Sri Lanka in USA (@EmbassyofSL) | Twitter

ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව හිමිකම් ආරක්ෂා කරන බවටත් සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යන බවටත් ඒ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන බවටත් පසුගිය 17දා එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් හමුවෙහි යළි වතාවක් ශපථ කළේය.. එසේ ප්‍රකාශ කරන ලද්දේ නොවැම්බර් 15 සහ 17වන දින පවත්වන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය විමසා බැලූ එක්සත් ජාතීන්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනය(UPR) අවසානයෙහිදීය.

එකී කාලාන්තරීය විශ්ව සමාලෝචන ක්‍රියාවළියේ වැදගත්කම නම් එය සැම රටක්ම සම්බන්ධයෙන් එක සමානව ක්‍රියාත්මකවීමත් සෑම රටකටම සෑම රටක් ගැනම සිය අදහස් දැක්වීමටත් තවද ඕනෑම සිවිල් සමාජ සංවිධානයකට ලිඛිත වාර්තා ලෙස අදහස් දැක්වීමට අවස්ථාව සැලසෙන නිසාය. එමෙන්ම සමාලෝචනය අවසානයේදී ප්‍රකාශිත අදහස් උදහස් සැළකිල්ලට ගනිමින් සෑම රටකටම තමන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මානව හිමිකම් පිළිවෙත් තීරණය කර ප්‍රකාශ කිරීමට සිදුවන නිසාත්ය.

මෙම නොවැම්බර් මාසයෙහි පවත්වන ලද්දේ කාලාන්තරීය විශ්ව සමාලෝචන ක්‍රියාවළියේ තෙවන රවුමය. ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු සමාලෝචනය 2008 මැයි මාසයේදීත් දෙවන සමාලෝචනය 2012 ඔක්තෝබර් මාසයේදීත් පවත්වන ලදී. මෙම නොවැම්බර් මස පවත්වන ලද කාලාන්තරීය විශ්ව සමාලෝචනය සම්බන්ධයෙන් මධ්‍යකාලීක ප්‍රගති වාර්තාවක් ශ්‍රී ලංකාව විසින් 2020 මැයි මාසයේදී ඉදිරිපත් කළ යුතු ය. ශ්‍රී ලංකාව සම්බන්ධ හතරවන වටයේ කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2022 නොවැම්බර් මාසයේදී ජානීවාහිදී පැවැත්වෙනු ඇත.

පසුගිය සමාලෝචනයෙහි සළකා බැලීම පිණිස ශ්‍රී ලංකාණ්ඩුව මෙන්ම විවිධ සිවිල් සමාජ කණ්ඩායම්ද කල තබා සංයුක්ත වාර්තා ඉදිරිපත් කර තිබුණි. අවසානාවකටමෙන් මෙම මානව හිමිකම් සමාලෝචනයට ඉදිරිපත් කරන ලද ආණඩුවේ වාර්තා මෙන්ම සිවිල් සංවිධාන වාර්තාද තිබෙන්නේ ඉංග්‍රිසි බසින් පමණි. ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි ඇති බරපතල ඛේදවාචකයක් නම් එය මූලික වශයෙන්ම ඉංග්‍රිසි බසින් කැරෙන සාකච්ජාවකට සීමා වී තිබිමයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉලක්ක කර කැරෙන මානව හිමිකම් වාර්තා කිරීම් ඉංග්‍රිසි බසට පමණක් සීමා වී තිබේ.

පසුගිය 15වන දින පැවැති කාලාන්තරීය විශ්ව සමාලෝචනයට පැමිණි නියෝජ්ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා ආණ්ඩුවේ පැත්තතෙන් විස්තිර්ණ කරුණූ දැක්වීමක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාවට දී ඇති මානව හිමිකම් පොරොන්දු නිසැක ලෙසම ක්‍රියාවට නැංවෙනු ඇති බවයි. අඩුම වශයෙන් එම කතාවවත් සිංහල සහ දෙමළ බසින් පළ වී නැත.

ශ්‍රී ලංකාණ්ඩුව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි දෙන පොරොන්දු වැදගත් වන්නේ ඒවාහි අන්තර් ජාතික වටිනාකමට වඩා මෙරට ජන සමාජයේ අභිවෘද්ධිය ඒ මගින් ලබා ගත හැකි ප්‍රයෝජන නිසාය. එමෙන්ම එවැනි පොරොන්දුවලින් දිගින් දිගටම පැනයාම ආණ්ඩුවේ ඇඟට එතරම් ගුණදායක නොවිය හැකි නිසාත්ය.

පසුගිය 15 දින පැවති කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මානව හිමිකම් නිර්දේශ දෙසියයකට වැඩි ගණනාවක් ඉදිරිපත් කරන ලදී. ලංකාණ්ඩුව ඉන් නිර්දේශ 177 ක් පිළිගත් අතර 53ක් පිළිගත්තේ නැත. එම පිළි නොගත් නිර්දේශ ලංකාණ්ඩුව විසින් සඳහන් කරන ලද්දේ සටහන් කර ගන්නා ලද ඒවා වශයෙන් මිස පෙර අවස්ථාවලදී මෙන් ප්‍රතික්ෂේප කළ ඒවා ලෙස නොවේ. තව ද ශ්‍රී ලංකාණ්ඩුව ස්වෙච්ජාවෙන් කරන ලද ගිවිස ගැනීම් 20ක් ද ඊට ඇතුළත් විය.

පිළිගත් නිර්දේශ අතර කැපි පෙනෙන ඒවා මෙසේය. ඒවා දක්වා ඇත්තේ සංරාංශ වශයෙන් ගොනු කරමිනි. වරහන් තුල දක්වා ඒ ඒ යෝජනා ඉදිරිපත් කළ රටවල්ය.

වධහිංසා පැමිණවීමට එරෙහි ප්‍රඥප්තිය පිළිබඳ වෛකල්පික ගිවිසුම පිළිගෙන ක්‍රියාත්මක කිරීම. (පෝලන්තය, උරුගුවේ, සෙනගාලය, නවසිලන්තය, ඝානා, ඇප්ගනිස්ථානය, එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය, කෝ ඩිවා, ගුවතමාලාව, පෘතුගාලය, ඩෙන්මාර්කය)

නව මානව හිමිකම් පරිච්ජේදයක් සහ කවර හෝ පදමක් මත විශම සැලකීමට භාජනය නොවීමට ඇති අයිතිය ද ඇතුලු නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා වන ක්‍රියාවලිය පෙරට ගෙන යෑම ( දකුණු අප්‍රිකාව, වියට්නාමය, මෙක්සිකෝව)

ශ්‍රී ලංකවේ මානව හිමිකම් කොමිසම මූල්‍ය සහ ආයතනික වශයෙන් මෙන්ම පැරිස් මූලධර්ම මත ශක්තිමත් කිරීම ( පිලිපීනය, මියන්මාරය)

ආණ්ඩුවේ 2016 -2021 ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සම්මත කර ක්‍රියාවට නැංවීම. ඊට රජයේ සියලු ආයතනවල සහභාගිත්වය ඇති කර ගැනීම (මෙම ලියැවිල්ල ශ්‍රී ලංකා ජනතාව සඳහා තවමත් විවෘත කර නොමැති එකකි ) ( මියන්මාරය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, සූඩානය, තායාලන්තය, වෙනිසයුලාව, බෙලරුස්, කියුබාව)

අධ්‍යාපන පාඨමාලාවන්ට ‘මානව හිමිකම්’ ඇතුළත් කිරීමට වන මූලිකත්වය, එය විසින් ජාතික සංහිදියාව සහ සමාජයෙහි විශ්වාසය ගොඩ නැගීමට දායක වනු ඇති බැවින්, දිගටම ගෙන යෑම, (ඉන්දියාව)

සියළුම ආකාරයේ විශම සැළකීම් සහ භාවිතාවන් අහෝසි කිරීමට පියවර ගැනීම (ඉතියෝපියාව, නේපාලය, සෙනගාලය, ඉතාලිය)

සමරිසි සහ සන්ක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට කැරෙන විශම සැළකීම් සහ ප්‍රචණ්ඩත්වයන් පරීක්ෂා කර ඒවා නතර කිරීම මගින් ඔවුන්ගේ මූලික අයිතීන්ට ගරුකිරීම ( ආජන්ටීනාව, පෘතුගාලය)

වෛර භාෂාව සහ වෛරය උසිගැන්වීම සම්බන්ධයෙන් පුළුල් නීතිරීති සම්පාදනය සහ වරදකරුවන් නිතිය ඉදිරියට පැමිණවීම (සියරා ලියෝනය, ටියුනීසියාව, නැමීබියාව, ඕස්ට්රේලියාව)

ත්‍රස්තවාදය සමඟ සටන් කිරීමේදී මානව හිමිකම් ප්‍රවේශයන් ශක්තිමත් කිරීම සහ ත්‍රස්ත-විරෝධී නීති අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල කිරීම (පේරු, එස්තෝනියාව)

මරණ දඩුවම අහෝසි කිරීම ගැන සළකා බැලීම (ඉතාලිය, ටිමෝර්- ලෙස්තේ)

වධහිංසා පැමිණවීමට කිසිසේත්ම ඉඩ නොතබන නීති රිති පැනවීම, අත්අඩංඟුවෙහි සිටින පුද්ගලයින්ට පොලීසිය සහ යුද හමුදා බුද්ධි අංශ විසින් වධහිංසා පැමිණවීම වැළැක්වීම, පාපෝච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා පැමිණවීම වළක්වන තදබල නීති පැමිණවීම (ඉන්දුනීසියාව, ඉරානය, ස්ලෝවැකියාව, මැඩගස්කරය)

ජාතික සහ ආගමික සුලුතර ප්‍රජාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අන්තර් ජාතික බැදීම්වලට අනුකූලව සහ අධිකරණමය සහ බන්ධනාගාර පද්ධතීන් ඉහළ නංවමින් නීති සම්පාදනය කිරීම ඉදිරියට ගෙන යෑම (රුසියානු පෙඩරේෂනය)

බලහත්කාර අතුරුදහන්කිරීම් කෙරෙන් සියළුම පුද්ගලයිනට ආරක්ෂාව සැලසෙන නීති පැනවීම, බලහත්කාර අතුරුදහන්කරවීම් අපරාධයක් නීතියෙන් සැලකීම, එවැනි පැමිණිළි පරීක්ෂා කිරිම (ස්පාඥය, ස්ලෝවැකියාව, ස්වීඩනය, ඉතාලිය)

යෝග්‍යතම කොමාසාරිස්වරුන් පත්කිරීම සහ ප්‍රමාණවත් අරමුදල් සැපයීම මගින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සම්පූර්ණ සක්‍රීයත්වයට ගෙනඒම (ජර්මනිය, දකුණු කොරියාව)

අතුරුදහන්වීම් පිළිබද සොයාබලන ලද සියළුම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධ කිරීම (ස්විස්ටර්ලන්තය)

යුද අපරාධ පිළිබඳ ගවේශනයේලා සහ ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් පුහුණුව ලබාදීමෙහිලා අන්තර් ජාතික සහාය දිගටම ලබා ගැනීම (ඉරානය)

සිවිල් යුද සමයෙහි සිවිල් ජනතාවට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් කෙරීගෙන යන පරීක්ෂණ අවසානයකට ගෙනයන බව සහතික කිරීම (ප්‍රංශය)

සන්නද්ධ ගැටුමෙන් පසු කැරුණු මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට සහ අධිකරණමය පිළියම් ලබාදීමට අවශ්‍ය පරිපූර්ණ පියවරයන් ගැනීම සහතික කිරීම. (සියරාලියෝනය)

ගැටුම අතරතුර සහ ඉන් පසු කරන ලද සියලුම මානව හිමිකම් කෙළෙසීම් ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස පරීක්ෂා කිරීමත් වරදකරුවන්ට නඩු පැවැරීමත්, ගොදුරු බවටපත් වින්දිතයිනට නියමානුකූල සහන ලබාදීමත් දිගටම කරගෙන යෑම ( පලස්තීනය, ආජන්ටීනාව)

මානව හිමිකම් කෙළෙසීම් සහ අපචාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව සහතික කිරීම (ඇමෙරිකා එක්සත් ජනපදය)

ගැටුමෙන් වින්දිතයින් බවට පත් අයට මානසික සහාය ලබාදීම සඳහා වැඩසටහන් ඇතිකිරීම දිගටම කරගෙන යෑම ( ඉරානය)

සංක්‍රමණීය යුක්තිය අරබයා දෙන ලද පොරොන්දු, විශ්වසනීය, වින්දිත කේන්ද්‍රීය සහ අන්තර් ජාතික විශේෂඥයින්ගේ සහාය ලබන වගවීමේ යාන්ත්‍රණයද ඇතුළුව, මෙන්ම මෑතදී පිහිටුවන ලද අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පූර්ණ ක්‍රියාකාරිත්වයට ගෙන ඒමද ඇතුළුව ක්‍රියාවට නැගීම (ස්ලොවේනියාව, ප්‍රංශය)

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රීය කරමින් සත්‍ය සෙවීමේ කොමිසක්, හානිපූර්ණ කාර්යාලයක් සහ ඒ වෙනුවෙන්ම කැපවූ විශේෂ නීතිවේදියකු සහිත වගවීමේ යාන්ත්‍රණයක්ද ඇතුළුව පරිපූර්ණ සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් පිහිටුවීම. (දකුණු අප්‍රිකාව)

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ආරම්භ කිරීම, නව ත්‍රස්ත විරෝධී අණපනත් සම්මත කිරීම මෙන්ම උතුරු නැගෙනහිර පළාත්හි ජනයාට තවදුරටත් ඔවුන්ගේ ඉඩම් ලබා දෙමින් සංහිදිය සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය සීග්‍ර කිරීම ( තායිලන්තය)

සංක්‍රමණීය යුක්තිය තහවුරු කිරීම පිනිස සත්‍ය, යුක්තිය සහ සංහිදිය, සහ හාණිපූර්ණ කාර්යාලයක් පිහිටුවීම ද ඇතුලුව සඳහා අධිකරණමය සහ අධිකරණනමය නොවන පුළුල් රාමුවක් පිහිටුවීම. (බෙල්ජියම)

සමාන ස්ත්‍රී නියෝජනයක් ඇති ලිංගික අපරාධ සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පුහුණුවක් ලද පුද්ගලයින්ගෙන් සමන්විත සහ ඔවුන්ගේ තීරණ පාරදෘශ්‍ය සහ ප්‍රසිද්ධ කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළියක් පිහිටුවීම ඉක්මන් කිරීම. (මෙක්සිකෝව)

ජාතික සංහිදියාව සඳහා අන්තර් ජාතික ප්‍රජාවෙහි සහයෝගයෙන් ජාතික සංහිදියාව සඳහා දැරෙන ප්‍රයත්න සියළුම පරදුදරන්නන් සහභාගි කරගනිමින් ඉදිරියට ගෙන යෑම. (ජපානය)

අප හමුවේ ඇති අභියෝගය නම් මෙම පොරොන්දු ඉටු කරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

මතු සම්බන්ධයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya