විකල්ප වෙබ් අඩවිය(www.vikalpa.org) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට #EnageSMinSLසමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” සකස් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කළ මූලික වැඩමුලුව පසුගිය ජූනි මස 22, 23, 24 යන තෙදින තුළ මීගමුවේදී පැවැත්විණි.

ඒ අනුව මෙම මුූලික වටයේ ක්‍රියාවලිය හා සාකච්ජාව වෙනුවෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් හා ක්‍රියාකාරිනියන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන්, පුරවැසි වෙබ් අඩවි කතෘවරුන්, ස්වේච්ජා සංවිධාන ක්‍රියාකාරීන්, නීතිඥවරියන්, සමාජ මාධ්‍ය තාක්ෂණික විද්වතුන්, පර්යේෂකයින්, විශ්ව විද්‍යාල සන්නිවේදන අංශ නියෝජිතයින්, ළමා හා කාන්තා ක්‍රියාකාරිකයින් මෙන්ම සංක්‍රාන්ති ලිංගික/ සමරිසි ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරීන් ආදී 25 කට ආසන්න පාර්ශවකරුවන් ප්‍රමාණයක් මෙම සාකච්ජාවට එකතු විය.


ශ්‍රී ලංකාව තුළ “සමාජ මාධ්‍ය” පිළිබඳව වන කතිකාව සමාජ සංස්ථාව තුළ පැන නැගී ඇති කේන්ද්‍රීය සාකච්ඡාවක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙහිලා ප්‍රකාශයේ නිදහස හා මානව හිමිකම් තලයේ වන ක්ෂුද්‍ර කථිකාවත් වලදී, ඊට සමගාමීව නවීන ලෝක තත්ත්වය, මාධ්‍ය නිදහස හෝ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව විවිධ යෝජනා අදහස් දක්වන පිරිස් බහුලය.

මෙයින් පෙනී යන්නේ කිසියම් විද්වත් සාකච්ඡාවක්, අදහසක්, ලියවිල්ලක් වැනි අත්‍යවශ්‍ය මගපෙන්වීමක් හෝ ප්‍රතිපත්තියක් ‘සමාජය තුළින්ම’ පැන නැගීමේ අවශ්‍යතාව බව විකල්ප අප හැගීමයි. ඒ අනුව වසර 10 ක් පුරා විකල්ප පුරවැසි වෙබ් මාධ්‍ය වේදිකාවක් මෙන්ම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරීව මෙරටේ දියුණු ප්‍රජාතාන්ත්‍රික තත්වයක් වෙනුවෙන් හා ඒ හරහා සමාජ මාධ්‍යය තුළ ප්‍රගතිගාමී, යහපත් හා ආචාරධාර්මික තත්ත්වයක් දියුණු කරගැනීම හා එකී භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විවිධ උත්සාහයන් දරා ඇත.

ඒ අනුව #EngageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” සඳහා වන මෙම පුළුල් සාකච්ජාව විශේෂයෙන් මානව හිමිකම්, ආචාරධර්ම සහ බහුත්වවාදී පදනමකින් යුතුව ‘සමාජ මාධ්‍ය’ භාවිතා කරන්නන් දැනුවත් කරමින් හා ඩිජිටල්/ අන්තර්ජාල සාක්ෂරතාවය වර්ධනය කරමින් වඩා ආචාරධාර්මික සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා සමාජ මාධ්‍ය පරිශිලකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ව ඇතුලු පාර්ශවකරුවන් උනන්දු කරවීම සදහා ‘සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියක්’ හා ‘සමාජ මාධ්‍ය භාවිතාව සදහා මගපෙන්වීම්’ කරන ලියවිල්ලක් සකස් කරගැනීමේ එකගත්වයෙන් පැවැත්විණි.

වැඩමුලුව සංවිධානය සහ සැලසුම විකල්ප වෙබ් අඩවිය වන අතර, එහි GroundViews හා මාට්‍ර්ම් යන ත්‍රිභාෂා වෙබ් පුරවැසි මාධ්‍ය ජාලයද, නීතිය හා සමාජ භාරය (Law and Society Trust), ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්(Transparency International, SriLanka), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(Free Media Movement), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය( Sri Lanka Working Journalists’ Association), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය(SriLaka Muslim Media Forum), යාපන මාධ්‍ය සමාජය(Jaffna Press Club), නැගෙනහිර මාධ්‍ය සමාජය(Eastern Press Club), ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය( MONLAR)ලංකා නිවුස් වෙබ්(Lanka News Web), පුවත්පත් පැමිණිලි කොමිසන් සභාව(Sri Lanka Press Complaint Commission), ශ්‍රීලංකා පුවත් පත් ආයතනය(Sri Lanka Press institute), PEace- Protecting Environment & Children Everywhere ECPAT ශ්‍රී ලංකා, LGBTQ Partnership Forum(සමරිසි/ ලිංගික සංක්‍රාන්තින් හවුල්කරුවන්ගේ සංසදය), Roar Media, සමබිම(Rights Now Collective), අයිතිය(Right To Life Human Rights Center), Hashtag Generation (#පරපුර), සර්වෝදය(Sarvodhya Shramadana Movement Sri Lanka), මානව හිමිකම් දත්ත කේන්ද්‍රය(INFORM Human Rights Documentation Centre) යන සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරී නියෝජිතයින් සම්බන්ධ විය.

තෙදින සාකච්ජාව තවදුරටත් පෝෂණය කරමින් සමාජ මාධ්‍ය, තාක්ෂණය හා ජනමාධ්‍ය සම්බන්ධ විශේෂ පර්යේෂණයන් හි නිරත වන ක්‍රියාකාරීන් වන සංජන හත්තොටුව, නාලක ගුණවර්ධන සහ කැළණිය විශ්ව විද්‍යාලයේ විජයානන්ද රූපසිංහ, ‘විකල්ප’ වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් #EngageSMinSL සමඟ සම්බන්ධ වෙමින් තම අදහස් බෙදා ගනිමින් වැඩමුලුව පෝෂණය කර අතර සදුන් තුඩුගල වැඩමුලුවෙහි පහසුකාරකත්වයෙන් දායක විය.

(එම ක්‍රියාවලීයේ සමස්ත නිමැවුම ඉදිරියේදී බලාපොරොත්තුවන්න.)

විශේෂයෙන්ම “මානව හිමිකම් මත පදනම් වුනු සමාජ මාධ්‍ය ප‍්‍රතිපත්තියක්/ මග පෙන්වීම් රාමුවක් සහ ඒ මත පදනම් වුනු ක‍්‍රියාවලියක් වෙනුවෙන් ‘සමාජ වගකීමක්’ සහිත සමාජජාල පරිශීලකයෙක්/ පුරවැසියෙක්” යන පදනමේ පිහිටා මෙරට තුළ ඒ සඳහා වන සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික, තාක්ෂණික මෙන්ම ඊටම ආවේණික අභියෝගයන් හදුනාගැනීමටත්, සමාජ මාධ්‍ය භාවිතය වෙනුවෙන් වන අන්තර්ජාල සාක්ෂරතාවය දියුණු කරගැනීමට ද මෙම යෝජිත ලියවිල්ල බිහිවිම දක්වා වන ක්‍රියාවලිය තුළදී අවධානය යොමු විය යුතු බව මෙම දින තුන තුළදී සිදු වූ සාකච්ජාව තුළදී අවධාරණය කරන ලදී.

#EngageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” බවට පරිවර්තනය වීම දක්වා අත්‍යවශ්‍ය වන දිගු කාලින ක්‍රියාවලියක මැදිහත්වීම, ඒ වෙනුවෙන් වන පර්යේෂණාත්මක පසුබිම, පුළුල් සමාජමය දායකත්වයක අවශ්‍යතාවය හදුනා ගෙන සිටින ‘විකල්ප’ වෙබ් අඩවිය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන පුළුල් මැදිහත් වීම වෙනුවෙන් මේ කෙරෙහි උනන්දුවක් ඇති සියලු සමාජ මාධ්‍ය පරිශිලයකන්ට මෙන්ම සංවිධාන/ කණ්ඩායම් ඇතුලු උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ට ආරාධනා කර සිටියි.

#EngageSMinSL සාකච්ජාව පිලිබඳ සියලු Twitter, Facebook සංවාද සහ Instagram ජායාරූප සඳහා පිවිසෙන්න.

https://twitter.com/search?q=%23EngageSMinSL&src=tyah
https://www.facebook.com/search/top/?q=%23engagesminsl
https://www.instagram.com/explore/tags/engagesminsl/

#EngageSMinSL දත්ත විහිදුම් සටහන උපුටා ගැනීම – සංජන හත්තොටුව ට්විටර් ගිණුමෙනි