iMAGE:vikalpa 

සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ  මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය.

ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන මේ රටේ 6 වන විධායක ජනපතිවරයා, මේ රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් වගකිව යුත්තා වන රටේ නායකයා  නැතහොත් ප්‍රධාන පුරවැසියා ලෙස  අපි තවමත් සිතා සිටින,  මෛත්‍රීපාල සිරිසේන නැමැත්තා කොක් හඬලා සිනාසෙමින් කළ අමුතු තාලයේ ප්‍රකාශයයයි.  එක් අතකින් ඔහු වැන්නේකුගෙන් තවදුරටත් එය බලාපොරොත්තු නොවිය හැකි අහඹුවක් හෝ අමුතු එකක් ද නොවේ.

“සිංහල, දෙමළ,මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම්, සමගිය ඔහුට අමතක වුණා. රටේ ප්‍රශ්න විසදීම ඔහුට අමතක වුණා . ඔහු සමනල ජීවිතයකට ඇතුල් වුණා”

“ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමනල රැලයි කියන එක මම කියන්නට ඕනි”

මේ ජනපති සිරිසේන විසින් මහා ජනකායක් ඉදිරියේ, සියලු මාධ්‍ය පිරිවරාගෙන ආතල් එකේ කී කතාවකි. රැළියට පැමිණි පිරිස විසිල් ගසා අත් ඔසවා ප්‍රීති ඝෝෂා කළ අතර හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සිරිසේන ජනපතිවරයා විසින් අත්තොනෝමතිකව අගමැති පුටුව දිගු කර ඇති මහින්ද රාජපක්ෂ ඔහු හා ඉදිරිපෙළ වාඩි වී සිටින මන්ත්‍රීන් සමඟ සමනල කතාවෙන් උපරිම තෘප්තියක් ලැබීමෙන් කොක් හඬලා සිනා සුනේ දිව උඩ දමාගෙනය. ඒ මුහුණු වල තිබුණේ දොරේ ගලා ගිය සතුටකි.

“සමනලයා” යයි කියන්නේ කාටද? කුමකටද? මෙහෙම කියන්නේ කවුද? එය අප ප්‍රශ්න කළ යුත්තේ ඇයිද? මේ දැන් අප නැවත කල්පනා කොට බැලිය යුතු ප්‍රධාන කාරණයන්ය.

“සමනලයා” යන යෙදුම ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව උපහාසයට හා අපහාසයට ලක් කිරීමට ව්‍යවහාරයේ ඇතැම් පිරිස් විසින් යොදා ගන්නා එකකි. ඒ අනුව  සමරිසි භීතිකාවෙන් පෙළෙන ජනපතිවරයා ද පැහැදිලිවම “සමනලයා” යයි ප්‍රසිද්ධ වේදිකාවක කියන්නේ, එම අර්ථය අපහාසාත්මකව ගෙනහැර පාමිනි. තවද ඔහු එසේ කියන්නේ මේ රටේ තවමත් ව්‍යවස්ථානුකූල අගමැතිවරගේ  පෞද්ගලික ජීවිතය හා අතිශය සම්බන්ධ කාරණයක් මුල් කොට ගෙනය. ඒ අනුව අගමැතිවරයා විවේචනයට ජනපති මෛත්‍රීට, මෛත්‍රිය පහළ වී ඇත්තේ  අගමැතිවරයාට ඇතියි යැයි ඔහු කියනා  ලිංගික දිශානතිය උපහාසයට ලක් කිරීමෙනි. අගමැතිවරයා එම ධුරයේ වගකීම් දැරීමේදී කළ කි දෑ සම්බන්ධව මට තද බල විවෙචනයක් තිබේ. එහෙත් ඔහුගේ දේශපාලනය පිලිබඳ විවේචන සබුද්ධිකව කතා කළ යුතු මොහොතක, ඒවා ගැඹුරෙන් වීවාදයට ගත යුතු මොහොතක,  ඕනෑ කුණු හරුපයක් කීමෙන් චූන් වන ඔලු ගෙඩි ගොඩකට සිරිසේන මේ කියනා කතාවෙන් ගන්නා දේශපාලන චූන් වීම නම් අමුම අමු තුප්පහි එකකි.  ඒ අනුව දැන් දැන් ඔහු පවතින විද්‍යාවට හසු නොවන උමතුවකින් දිනෙන් දින නං දෙඩවමින් සිටින බව හොදොටෝම පැහැදිළිය.

ලංකා දේශපාලන ඉතිහාසයේම මේ තරම් ඛේදාන්තයකට පත් පාලකයෙක් සිටියා දැයි දැන් අප නැවත නැවත කල්පනා කළ යුතුව තිබේ. කෙනෙකුගේ පෞද්ගලික නැමියාවන් හා ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය සම්බන්ධ මේ තරම් අතිශය බරපතල ප්‍රකාශයක් කිරීමට රටේ ජනපතිවරයාට ඇති අයිතිය කුමක්ද?

ඔහු සිදු කර ඇත්තේ අතිශය හානිකර ප්‍රකාශයකි. මේ රටේ සමරිසි හෝ ඕනෑම ලිංගික දිශානතියකට අයත් ජනතාවට තමන්ගේ රටේ පාලකයා කරන මේ ප්‍රකාශය හරහා  ව්‍යංගයෙන් කියන්නේ කුමක්ද? ඉදිරිගාමී ලෝකයක මිනිසුන් සියලු පුද්ගල අනන්‍යතාවන්ට ගරු කරමින්, ලිංගික නිදහස සම්බන්ධයෙන් වූ අතිශය ප්‍රගතිශීලි අදහසක සිටින වකවානුවක, ලැජ්ජාශීලි ලෙස අප රටේ ජනපතිවරයා සුරංගනා කතා කියමින් තම අනුවණ, අමානුෂික මුහුණුවර පෙන්වා තිබේ.

විශේෂයන්ම අතිශය සාම්ප්‍රදායික අදහස් හා ඇලි ගැලී සිටින අසල්වැසි ඉන්දියාව පවා මෑත කාලීනව ලිංගික නැමියාව සම්බන්ධව දක්වා ඇති නිදහස් ආකල්පය සම්බන්ධයෙන්වත් අවම වශයෙන් මේ ජනපතිවරයාට අදහසක් ඇත්තේ නැත. ඒ නිසාම ඔහු වෙනුවෙන් විශ්වාසය තැබූ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගැයු, මානව දයාව ප්‍රාර්ථනා කළ සියලු ජනයාට මේ දෙබිඩි ජනපතිවරයා කර ඇත්තේ කුමක්ද? දේශපාලන සිරකරුවන්, උඩරට තේ වතු කම්කරුවන් බිල්ලට ගන්නට හඳනා මේ ජනපතිවරයා අවම වශයෙන් ගෞරවය හෝ පුද්ගල අනන්‍යතාවයට ගරු කිරීමේ මුලික පාඩම නොදන්නා අයෙකි.

කවුරුන් හෝ තවදුරටත් මේ ජනපතිවරයා මානව හිමිකම් වෙනුවෙන්, මේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී හිදිනා කෙනෙකු යයි කියයි නම් ඒ තරම් තවත් විහිළුවක් නැත. මොහු ජෝකර් කාරයකු වී අවසන් අතර ඔහු ගැන තැබිය හැකි අවසන් බලාපොරොත්තුවද බිඳ ගෙන හමාරය.

ඔහු තමන්ගේම ඉහේ දැන් මල් පුප්පවා ගනිමින් සිටියි. රටක ප්‍රධානියාගේ බුද්ධිය මේ තරම් කුඩා එකක් නම් අප කනගාටු විය යුත්තේ ඔහු ගැන නොව, කුඹි පුකක් තරම් වත් අදහසක් නැති ජනපතිවරයකු පිලිබඳ පුරවැසියා විශ්වාසය තිබිම ගැනය. ඔව්! අපි ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇත්තේ එවන් නායකයෙකි.

ඔහුගේ කටින් පිටවන වචන වලට දැන් ඇත්තේ කුමන වටිනාකමක් දැයි ජනතාව තිරණය කරනු නිසැකය. ලොරි කටෙන් ලොරි ටෝක් දීමෙන් යහපාලනයත්, මෛත්‍රී යුගයත් පොරොන්දු වී පැමිණි මේ ජනපතිවරයා කොදෙව්වක ජිවත් වන අත්පොඩි තලන සෙනගකටම ගැලපෙන කෙනෙකි. එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු යයි හදිසියේ දිනක් කීවේද මේ අපුරු ජනපතිවරයාය. දේශපාලනිකව තමන්ගේ ඇති දුබලතා නිවැරදි කරගන්නවා වෙනුවට මේ කරන්නේ පටු අරමුණු මත හිදිමින් ජනප්‍රිය දේපාලනයේ ඌරූ පොරයට වැටීමය. එය ප්ලේන් එකේ කජු කනවා වගේ එකක් නම් නොවේ.

ජනපති ඔබට දැන් කියන්නට ඇත්තේ මෙපණකි. 2015 දී දියෙන් කිර වෙන්කර ගන්නට හැකි සුදු හංසයකු වූ ඔබ වසර 3 ක් යන්නටත් මත්තෙන් සමනලුන්ට තැබූ වෙඩිල්ල වැඩි ඈතක නොගොස් නැවත ඔබ වෙතම කැරකි එන දිනය නම් ඉතා ළග බවය. ඔබේ ලඟම සාටක මිතුරාගෙන් ඔබට එය ලැබෙන තෙක් පුරවැසි අපිට ඔබෙන් මේ ලැබෙන ආතල් උපරිමයෙන් භුක්ති විදිමින් සිටිමු.

දැන් සමනලුන්ට වෙඩි තියන්න ! එහෙත් සිරිසේන උතුමාණෙනි ! මාළුවා නහින්නේ කට හින්දා….

විශේෂ ලියුම්කරුවෙකු විසිනි