Image: southasia.com.au

පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. මෙම පෞරාණික පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වු මුස්ලිම් කාන්තාවන්ගේ දශක තුනක අරගලය නොතකා, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පසුගිය වසරේ මුල් භාගයේදී විනිසුරු සලීම් මර්සූෆ්ගේ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ඛාණ්ඩ දෙකෙහි වෙනස්කම් ඉවත් කිරීමට ඉදිරිපත්වී ඇත්තේ දැන්ය. මගේ මතය අනුව, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වටා ‘එක් රටක් එක් නීතියක්’ ඇතුළු විවිධ කතාබස් හමුවේ, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත බේරාගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට අවසානයේදී වැටහෙන්නට ඇත. එබැවින් ප‍්‍රතිසංස්කරණ සඳහා වූ ඔවුන්ගේ යෝජනාව ප‍්‍රසිද්ධියට පත්කරන ලදී. අග‍්‍රාමාත්‍යවරයාද පීඩනයක් එල්ල කළේය – එසේ හෙයින් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු වර්ධනයවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිවීම සඳහා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණය නිරායාසයෙන්ම ක‍්‍රියාකාරකම් මාලාවක ප‍්‍රධාන අංගය බවට පත්විය.

අද පමණක් නොව වසර ගණනාවක් තිස්සේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලීන්හි දැවැන්තයා වුයේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයයි. මෙම නීතිය ප‍්‍රතිසංස්කරණය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ වෙර දරණ ක‍්‍රියාකාරීන් මෙම උද්දච්ච ස්තී‍්‍ර විරෝධීන්ගේ කල්ලිය සමඟ සම්බන්ධවීමෙන් වෙහෙසටපත්ව සිටිති. මාර්සූෆ් කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට වසර නවයක් ගතකිරීමට එකම හේතුව වුයේද කමිටුවේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි නියෝජිතයන් වන එම්.අයි.එම්. රිස්වි (වසර 20ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ඉහළම තනතුර දරන්නාවු) සහ එහි ලේකම් මුබාරක් වැනි අයට උගත් ඉස්ලාමීය විද්වතුන් සහ නීති විශාරදයින් සමඟ එක් නිර්දේශ මාලාවක් සම්බන්ධයෙන් එකඟවිය නොහැකිවීමයි. මෙම අවසන් අදියරේදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තම පාලනයට ගැනීමෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මාර්සූෆ් කමිටුවේ කටයුතු පැහැදිලිවම කඩාකප්පල් කරමින් සිටිති. ප‍්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන අවස්ථාවේදී මාර්සූෆ් කමිටුව විසින් අදාල සියලූ පාර්ශවකරුවන් (සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද ඇතුළුව) සමඟ සාකච්ඡා කරන ලදී.

2019 ජුලි 15 වැනි දින මුස්ලිම් මන්ත‍්‍රීවරුන් එකඟතාවකට පැමිණ කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට සැලසුම්කර තිබු යෝජිත ප‍්‍රතිසංස්කරණ 14ක් සහිත ලේඛණයක් නිල වශයෙන් නිකුත්වීමට පෙර පිටවුණි. අග‍්‍රාමාත්‍යතුමා විසින් ගරු හලීම් (මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්‍ය) සහ ගරු තලතා අතුකෝරාල (අධිකරණ අමාත්‍ය) වෙත එම සංකල්ප සටහන සම අත්සන්කර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට උපදෙස් දුන් බවට වාර්තා වේ. එහෙත් පසුගිය දෙසතිය තුළ අප දුටු දෑ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කරන ලද මැරවරකම්වලට නොදෙවෙනි කි‍්‍රයාවන්ය. වෛරය පැතිරවීම නිසාවෙන් අපි ඥාණසාර තෙරුන් සහ රතන තෙරුන් ජාතිවාදීන් ලෙස හැඳුන්වන්නේ නම්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි රිස්වි සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේම ප‍්‍රජා සාමාජිකයින්ට එරෙහිවද ඒ ආකාරයෙන්ම කටයුතු කරන අතර ඔවුන්ට ඒ පිිළිබඳව අභියෝග කළ යුතුය. මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මා සමඟ පැවසුවේ මෙම නීතිය ප‍්‍රතිසංස්කරණය කිරීම ඔවුන්ගේ අමාත්‍යාංශයේ කාර්යයක් නොව අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයක් බවත්, මෙමඟින් පීඩාවට පත්ව ඇති කාන්තාවන් ගරු තලතා ඇමතිනියට කථා කළ යුතු බවත්ය. මෙම තත්ත්වය පැනනැගී ඇත්තේ අමාත්‍ය හලීම් එකඟවන ලද කැබිනට් සංදේශය පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ඇති අකැමැත්ත නිසාය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි නියෝගයන්ට එරෙහිව යාමට අකැමැතිවීම මෙයට හේතු විය හැකිය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දණින් වැටෙන ආකාරයට කි‍්‍රයා කරන අයුරු මෙයින් පෙන්නුම් කෙරේ.

පළමුවෙන්ම, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් 2019 ජූලි 18 වැනි දින ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්ද ඇතුළුව නීතියානුකූලව තේරීපත් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනෙකුට අනතුරු අඟවමින් ප‍්‍රකාශ කළේ ඔවුන් අතර එකඟවන ලද කරුණු 14 ඇතුළත් කරමින් මෙම නීතිය ප‍්‍රතිසංස්කරණය කළහොත් ඔවුන් ඵෙතිහාසික ද්‍රෝහිකමකට සහ පාවාදීමකට මුස්ලිම් ප‍්‍රජාවට වගකිව යුතු බවයි. ඉන්පසුව ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වූ අමාත්‍යවරුන්ට සහ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව මුස්ලිම් වෙළෙඳුන් සහ මුස්ලිම් පල්ලි බලමුලු ගැන්වූ ඔවුහු යෝජිත කැබිනට් පත‍්‍රිකාව කඩාකප්පල් කළහ. ඔවුන්ට සිතැඟි පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණය කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ඔවුහු දැන් වෙනත් කණ්ඩායම් (තාරිකා කණ්ඩායම් වැනි) වෙත කැඳවීම් කරති.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වු මාර්සූෆ් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කි‍්‍රයා කරන අතරම, ඒ සමඟම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත දිව්‍යමය නීතියක් බවත්, එය ස්පර්ශ කළ නොහැකි බවත්, දේශන ආසනයෙහි සිට දේශනා කරමින්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සිය කුහකකම හෙළිකළේය. ඔවුන්ගේ අඛණ්ඩ කුහකකම මඟින් ප‍්‍රචාරය කරනු ලබන්නේ අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, හලීම් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆයිසර් මුස්තාපා සමඟින් රිස්වි පාර්ලිමේන්තු කමිටුවෙහි සිව්වන සාමාජිකයා බවයි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට අවශ්‍ය කුමක්ද? ප‍්‍රතිසංස්කරණ අවහිර කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය උනන්දුවන ගැටළු පිළිබඳව විමසිලිමත්ව බැලූ විට පිළිතුර පැහැදිලි වේ:

1. කාන්තා ක්වාසිවරුන් සහ ක්වාසිවරුන් සුදුසුකම්ලත් නීතිඥයින් වීමේ අවශ්‍යතාව
2. විවාහය අනිවාර්ය ලියාපදිංචිය
3. විවාහයේ අවම වයස අවුරුදු 18 ලෙස නියම කිරීම

කාන්තා ක්වාසිවරුන් සහ ක්වාසිවරුන් සුදුසුකම්ලත් නීතිඥයින් වීමේ අවශ්‍යතාව

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පසුගිය වසර 10 තුළ ක්වාසි උසාවි ව්‍යුහය තුළට තම අණසක ව්‍යාප්තකර ඇත. මෙම නීතිය ෂරියා / ඉස්ලාමීය රාමුවක් තුළ අර්ථ නිරූපණය කළ යුතු බවට ප‍්‍රකාශ කිරීමෙන් ඔවුහු බොහෝ ප‍්‍රදේශවල ක්වාසිවරුන් ලෙස ඔවුන්ගේ සාමාජිකයින් පත්කර ගැනීමට සමත්වී තිබේ. හලාල් සහතික කිරීම පාලනය කළ ආකාරයටම, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි ඔවුන්ගේ ග‍්‍රහණය තවදුරටත් තදකර ගැනීමටත්, ඉස්ලාමය වඩා දැඩි කුරිරු ඔවුන්ගේ අර්ථ නිරූපණයක් පිළිබිඹු කිරීමටත්, දිවයින පුරා ක්වාසි උසාවි 65ක සම්පුර්ණ පාලනය අවශ්‍යව ඇත. කුරානය පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අර්ථ නිරූපණය ශ‍්‍රී ලංකාවේ දශක දෙකකට අධික කාලයක් තිස්සේ ඔවුන් විසින් ප‍්‍රවර්ධනයකර ඇති වහබිවාදයට අනුකූල බව සහතික කිරීමට ඔවුන්ට අවශ්‍යය.

විවාහය අනිවාර්ය ලියාපදිංචිය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොන්දේසි සහිත බහු විවාහයන් සඳහා එකඟවී තිබුණද, ඔවුන් විවාහය අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීමට විරුද්ධය. වර්තමානයේදී බොහෝ කාන්තා කණ්ඩායම් මුස්ලිම් විවාහ ලියාපදිංචි නොකිරීමෙන් පැනනගින සංකීර්ණ ගැටළු පිළිබඳව වාර්තාකර ඇත. විවාහය ලියාපදිංචිකර නොමැති නම්, මුස්ලිම් පුරුෂයෙකු කොපමණ වාරයක් විවාහවී ඇත්දැයි ගණනය කිරීමට ක‍්‍රමයක් නොමැත. පිරිමින් මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් කාන්තාවන් 4කට වඩා විවාහකරගත් අවස්ථා මට පෞද්ගලිකව හමුවී තිබේ. එක් විශේෂිත අවස්ථාවක, එම පුරුෂයාට භාර්යාවන් 13ක් සිටියේය – කිසිම ගෙවීමකින් තොරව ලිංගික සේවාවන් ලබා ගැනීමේ ක‍්‍රමයකි. මා විසින් හසුරුවනු ලැබූ සිද්ධීන් අනුව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි මෙම උලමාවරුන්ට ඔවුන්ගේ පිරිමින් මෙවැනි නොමිලේ ලිංගික සේවාවන් ලබාගැනීමෙහි යෙදීමට අවශ්‍යදැයි (අනිවාර්ය විවාහ ගෙවීම හෝ මහාර් නොමැතිව) මම විමතියට පත්වන්නෙමි. මා සමඟ වැඩ කරන එක් සංවිධානයක් මේ වසරේ පමණක් ලියාපදිංචි නොකළ විවාහ 658ක් පමණ වාර්තාකර ඇත (බොහෝමයක් දෙවන හෝ තෙවන විවාහ වේ). වලංගු විවාහ සහතිකයක් නොමැතිව, මෙම භාර්යාවන්ට තම දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාගැනීමට හෝ, දරුවන් පාසලට යැවීමට හෝ තම ස්වාමිපුරුෂයන් ඔවුන් අතහැරදමා හෝ වෙනත් කාන්තාවන් සමඟ විවාහ වූ විට දරුවන් නඩත්තු කිරීමට ඉල්ලා සිටිය නොහැකිය.

විවාහයේ අවම වයස.

කාන්තා කණ්ඩායම් මුස්ලිම් විවාහ සඳහා අවම වයස අවුරුදු 18ක් ලෙස ඉල්ලා සිටින අතර එය අනෙක් ප‍්‍රජාවන්ගේ අවම වයසට අනුකූල වේ. මෙම ප‍්‍රතිසංස්කරණයට විරුද්ධවීමේදී සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ එහි සාමාජිකයින් ගැහැණු ළමයින්ගේ විවාහ වයස පිළිබඳව එල්බගෙන සිටිමින්, තර්ක කරන්නේ අවම වයස අවුරුදු 18 වන විට එමඟින් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා සහ විවාහයෙන් පිටත උපත ලබන දරුවන්ට ඉඩ දෙනු ඇතැයි යනුවෙනි. එය ඉතා ප‍්‍රාථමික තර්කනයක් වන අතර එයින් ඇඟවෙන්නේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය කුඩා කල සිටම මුස්ලිම් කාන්තාවන්ගේ භූමිකාව ‘ලිංගිකකරණය’ ඇති බවයි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ගැහැණු ළමයින්ගේ විවාහ වයස ගැන පමණක් සැලකිලිමත් වන්නේ ඇයි? වයස අවුරුදු 18ට පෙර ගැහැණු ළමයෙකු ලිංගිකව හැසිරුණත්, එය වැළැක්වීමට විවාහය නිසැකවම පිළිතුරක් නොවේ. තවද, ගැහැණු ළමයෙකු දූෂණය වන සෑම අවස්ථාවකම බලහත්කාරයෙන් විවාහ කරදීමෙන් ඇයට දඬුවම් කළ යුතුයැයි ඔවුන් සිතනවාද? එසේත් නැතිනම්, ගැහැණු ළමයෙකුට ශාරීරිකව සුදානම්වු වහාම ඇය දරුවන් බිහි කිරීම ආරම්භ කළ යුතුයැයි ඔවුන් සිතනවාද? මෙය මුස්ලිම් ජනගහනය වැඩි කිරීම සඳහා කාන්තාවකට ප‍්‍රජනනය කිරීමට බල කිරීම පිළිබඳවද? එසේනම්, දශක කිහිපයකින් ශ‍්‍රී ලංකාව ඉස්ලාමීය රටක් බවට පත්වීම ගැන සමහර අන්තවාදී භික්ෂූන් සහ මන්ත‍්‍රීවරුන් බියවීම නිවැරදිද? එසේ නැතිනම්, ඔවුන්ට තරුණියන් හා ගැහැණු ළමයින් ඔවුන්ගේ ලිංගික සතුට හා මනංකල්පිතයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන්නේද?

එය කීමට පහසු ක‍්‍රමයක් නොමැත. විවාහයට අවම වයස අවුරුදු 18 සහ මුස්ලිම් විවාහ අනිවාර්ය ලෙස ලියාපදිංචි කිරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වීමෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත භාවිත කරන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ සෞඛ්‍යය හා මානසික යහපැවැත්ම සහ අප ජීවත්වන රටේ සමාජ සම්මතයන් නොසලකා හරිමින්, මුස්ලිම් කාන්තාවන් ලිංගික යන්ත‍්‍ර බවට, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාලීම සහ දරුවන් බිහි කිරීම සඳහා සීමා කිරීමටයි. නීතිඥයින් සහ කාන්තාවන් ක්වාසිවරුන් වීමට විරුද්ධ වීමෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පෙන්වාදී ඇත්තේ, මුස්ලිම් කාන්තාවන් මුස්ලිම් නොවන කාන්තාවන්ට වඩා පහත් බවත්, මුස්ලිම් කාන්තාවන් සිවිල් අධිකරණවල විනිසුරුවරියන් ලෙස පත්කර තිබියදීත් ඔවුනට විනිසුරුවරියන් වීමට මානසික හැකියාවක් නොමැති බවත්ය. වඩාත් වැදගත්ම වන්නේ, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය ඔවුන්ගේ පාලනය යටතේ පවතින නිල නොවන අධිකරණ පද්ධතියක් හරහා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍යව ඇත. එතුළින් ඉස්ලාමීය ලෝකයේ වර්ධනය මුළුමුනින්ම නොසලකා හරිමින්, ඔවුන්ගේ ස්වෝත්තමවාදී අභිමතයන්ට සරිලන පරිදි අර්ථ නිරූපණය කරන ෂාෆි නිකායට දැඩි ලෙස අවනතවීමයි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් ප‍්‍රජාවේ ප‍්‍රකාශකයා නොවිය යුතුය. ශ‍්‍රී ලංකා රජය විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණය පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමඟ කතා කිරීම නතර කළ යුතුය. වරින්වර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේදී කඩාකප්පල්කාරීවී ඇත. ප‍්‍රතිසංස්කරණ සඳහා ස්ථිර නිර්දේශ ඉදිරිපත් කළ මාර්සූෆ් කමිටුව විසින් ඔවුන්ගේ අදහස් නිසි ලෙස ලබාගෙන සලකා බලන ලදී. වසර ගණනාවක් පුරාවු ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් දැන් පැහැරගැනීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් දරන උත්සාහය ඔවුන්ගේ සැබෑ චේතනාවන් හෙළි කරන අතර එය අවහිර කළ යුතුය. ඔවුන්ගේ හදවතෙහි මුස්ලිම් කාන්තාවන්ගේ පරම යහපත නොමැති අතර කිසිදු ආකාරයකින් ඔවුන් මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට සම්බන්ධ නොවිය යුතුය.

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනෙකු විසින් දැනට එකඟව ඇති කරුණු 14, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණයෙහි මුලික අවමයන් විය යුතු අතර, ඒවා තවත් වැඩි දියුණු කරමින්, කිසිදු ප‍්‍රමාදයකින් තොරව ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය ආරම්භ කළ යුතුව ඇත.

සිතාරා ශ‍්‍රීන් අබ්දුල් සරූර් |Sithara Shreen Saroor