සිංහල, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි

මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ ය. මා, ඇය ද ඇයගේ සැමියා ද සමග ජීවත් වන්නට වී දැන් අවුරුද්දකට ළඟ ය. ඇය සමග වැඩ කරන්නට වී අවුරුදු දෙකකට වැඩි ය. ඈ මගේ සමීපතම මිතුරියන්ගෙන් ද කෙනෙකි.

ඇය දෙමළ ය; මා සිංහල ය. එහෙත් මා මෙය ලියද්දීත් ඒ බෙදුම් රේඛාව දිගේ අප දෙදෙනා ගැන සිතීම දුෂ්කර කටයුත්තකි. ඒ අපගේ අනන්‍යතාවන්හි සීමා මායිම් නියම කෙරෙන්නේ කුමකින් දැයි වටහා ගන්නට මට නොහැකි බැවිනි. ඇය දෙමළ ගැහැණියක කෙරෙන්නේ කුමකින් දැයි තේරුම් බේරුම් කර ගන්නට මට හැකි වුණු විට පවා, එවිට පවා ඇය මාගෙන් වෙනස් කෙරෙන්නේ කුමකින් දැයි තේරුම් බේරුම් කර ගන්නට මට නොහැකි ය.

වර්ණයෙන් ද? ඇය මට වඩා අඳුරු පැහැති ය. එහෙත් අප දෙදෙනා ම දුඹුරු සමැති ය.

උච්චාරණයෙන් ද? කට හඬෙහි පවතින ඉතා සියුම්, ළගන්නාසුලු උද්‍යෝගී බවක් ද හැරුණු විට ඈ මට වඩා කිසි වෙනසක් ඇතිව කතා නොකරයි.
භාෂාවෙන් ද ? අපි දෙදෙනා ම ඉංග්‍රිසි කතා කරමු. ඈ මට වඩා හොඳට සිංහල කතා කරයි. මා වචනයක් වත් නොදන්නා දෙමළ බස චතුර ලෙස තෙපලයි.
සංස්කෘතියෙන් සහ චාරිත්‍ර වාරිත්‍රවලින් ද? සහ ඇයගේ ඇතැම් නෑදෑයන් බොහෝ සන්ත්‍රාසයට පත් කරමින් ඈ කසාද බැන්දේ සිංහලයෙකි. ඒත් තමන් කළ තේරීම ගැන ඇය සිටින්නේ සතුටිනි.

ඇඳුමෙන් ද ? ඇය අඳින්නේ මා මෙන් ම ය. අපි අනන්තවත් එකිනෙකාගේ ඇඳුම් හුවමාරු කර ගන්නෙමු. නමෙහි ද ? ඈ ඇයගේ නම වෙනස් නොකළා ය. “මා මගේ නමට කැමති යි,” නිකමට, නිදහසට කරුණු කියන්නා මෙන් ඈ මට කීවා ය.

දේශපාලනික සබැඳියාවෙහි ද ? ඇයගේ දේශපාලන අදහස් උදහස් ද මගේ මෙන් ම නොපැහැදිලි ය. අපි නායකත්වය ගැන කරදර නොවෙමු, එය පෙරළා දැමීමට බලාපොරොත්තු වන අය ගැනත් කරදර නොවෙමු. අද දවසේ දේශපාලනය තමන්ට ගැළපෙතියි ඇය නො සිතයි නම්, මා ද එවැනි යි මට කිව හැකි ය. අප දෙදෙනාම ප්‍රාර්ථනා කරන්නේ අතරමැද යම් දෙයකි – වඩා රුචිකර, වඩා සත්‍යවාදී යම් දෙයකි. අද දවසේ අපට දකින්නට නැති යම් දෙයකි.

පෙළපතෙහි ද ? ඇයගේ දෙමාපියෝ, ජනාධිපතිවරණයේ දී මහින්ද ට ඡන්දය දුන්හ. මා දුන්නේ සරත්ට ය.

ඇයත් මාත් පාසල් ගියේ ද එකට ය. සම වයසෙහි පසු වුණු අප එකම ශ්‍රේණියෙහි සිටි මුත් අපි දෙදෙනා යන්තමින් වත් එකිනෙකා දැන හඳුනාගෙන නොසිටියෙමු. ඇය සිටියේ දෙමළ මාධ්‍යයෙහි ය. මා සිංහල මාධ්‍යයෙහි ය. එකල පවා ඇය ඉතා කුඩාවට සිටි බවත් ඇය ශාන්ත ගතිපැවතුම් ඇති පුංචි දැරිවියක විය යුතු යැයි සිතනුත් මට මතක ය. මට එතරම් ම වැරදී නැත!

වතාවක් ත්‍රී වීලරයක නැගී සිය දෙමාපියන්ගේ නිවස බලා යමින් සිටිද්දී පොලිස් නිලධාරියෙක් ඇය නතර කළේ ය. රථය සෝදිසි කළ ඔහු, විශේෂයෙන් ම ඇයගේ හැඳුනුම් පත පරීක්ෂා කොට ඇය දෙමළ බව දුටු විට, එක දිගට ප්‍රශ්න වැලක් ම අසනු ලැබිණ. ඈ ඉවසිලිමත්ව සියල්ලටම සිංහලෙන් පිළිතුරු දුන්නා ය. ඇය සිය අත්බෑගයේ සුරැකිව තබා ගෙන සිටි මගුල් පින්තූරයක් පෙන්නූ විට පවා ඇය සිංහලයෙකු කසාද බැඳ සිටින බව පිළිගන්නට ඔවුන් මැළි විය. ඔවුන්ට කරුණු කියන්නට ගත් උත්සාහයෙන් පසුව, ඇයගේ ශාන්ත ගතිය නැති විය. ගොත ගැහෙන සිංහලෙන් ‛වර්ගවාදී බැල්ලිගෙ පුතා’ යි ඔවුන්ට කියා ගන්නට ඈ සමර්ථ වූවා ය. පසුව වදන්වලින් ඔවුන්ට හොඳ හැටි තඩි බෑ නිසා ඇය වහා පොලීසියට ඇද ගෙන ගියෙන් සිය සැමියා පැමිණ කැටුව යන තෙක් එහි රැඳෙන්නට ඇයට සිදු විය.

“අපොයි දෙයියනේ, එයා දෙමළ,” යැයි මා සිතා ගත්තේ පහුව දා මා පිනවමින් ඇය මේ කතාව කියූ පසුව පමණකි. ඇරත්, ‛දෙමළ’ ය කියා කියන විට මා ඉන් අදහස් කරන්නේ ඇයගේ ජනවාර්ගිකත්වය ම නොවේ. මා අදහස් කරන්නේ, ඇය මේ රට තුළ සුලුතරයක් ලෙස ජීවත් වන බවත්, සිංහල නමක් තිබෙන හේතුවෙන් මට භුක්ති විඳීමට ඉඩ ලැබී තිබෙන නිදහසවල් ඇයට තහනම් කෙරී තිබෙන බවත්, මා අවබෝධ කර ගත්තේ මෙන්න මේ විෂම සිදුවීම් අතරතුර දී බව ය.

“ඒක විහිළුවක්,” දොස් නගන්නා මෙන් එදා ඈ මට කීවා ය. “මම දෙමළ ය කියල දැක්කා ම අර පොලිස්කාරයා පුදුම වුණා – මගේ හැඳුනුම්පත නොදැක්ක නං එයා කීයටවත් ඒක දැන ගන්නෙ නැහැ. මම මගේ සැමියගෙ නම අරගෙන තිබුණ නං, ඒ වෙච්ච කිසි දෙයක් සිද්ධ නොවෙන්න තිබුණ.” ඇය ඇත්ත හරියටම කී බව අවබෝධ වූයෙන් මම පසු බෑවෙමි. තෝන්තු වුණෙමි. තරමක් ලජ්ජාවට ද පත් වුණෙමි.

වැනාට නම්, සිද්ධිය හුදු තනි සිද්ධියක් විය. අහේතුවට සිදු වුණු පුංචි සිදුවීමක් ද ඇයගේ මිතුරු මිතුරියන්ට කියන්නට හොඳ කතාවක් ද විය. මට නම්, ඊට වඩා ටිකක් වැඩි අසුබදායක යම් දෙයක් ඉන් ඇඟවිණ. ප්‍රශ්නයට බඳුන් වුණු පොලිස්කාරයා හුදෙක් එක් තනි වසයෙකු පමණක් විය හැකි බව සත්ත යි. ඒත් මේ වර්ගයේ අඩන්තේට්ටම් කිරීම් දිනපතා සිදු වන බව අපි හැමෝ ම දන්නෙමු. පෙනෙන හැටියට නම් අප හාත්පස වසයෝ බොහෝ දෙනෙක් සිටිති. යුද්ධය අවසන් වන්නට කලින් මාස කිහිපය තුළ දී මම මේ ගැන මගේ මිතුරෙකු සමග කතාබහක යෙදුණෙමි. මුර පොළක් පසු කර ගිය හැම අවස්ථාවකම තමන් තුළටම ගුළි වන්නට උත්සාහ කළ දෙමළ මිතුරියක තමන්ට සිටි බව ඔහු පැවසුවේ ය. “ඇයට ඕනෑ කළේ හැංගෙන්න. වැඩියක්ම, මට ඒ ගැන හිතල වද වෙන්න හේතුවක් නැති බව මා දන්න නිසා, මට ඇත්තට ම ඇය ගැන කනගාටුවක් ඇති වුණා,” ඔහු කීවේ ය.

අපට කවදාවත්ම වද වෙන්න හේතුවක් තිබිල නැහැ. එහෙම නේද?

අපත් මුර පොළවල දී නතර කරල තියෙනවා. අපෙනුත් ඊට සමාන ප්‍රශ්න අහල තියෙනවා. ඒක එච්චර දෙයක් නෙවෙයි, හරි ද? ඒ ගොල්ලන්ට ඒක ඒ තරම් අමාරු දෙයක් වෙන්න විදියක් නැහැ. එහෙම නම් ඒ ගොල්ලො මොකක් ගැන ද චෝදනා කරන්නෙ? ඒ ගොල්ලො හැම දෙනා ම කරන්නෙ චෝදනා කරන එක. මේක යුද්ධ කාලයක් – මේ දේවල් කරන්න ම වෙනවා.

යුද්ධයේ අවසන් අදියරේ දී – මුර පොළවල පටන් මුලතිව්හි කොටු වී සිටි සිවිල් වැසියන් දක්වා වූ නානාවිධ පසුබිම් ගණනාවක දී, මා දන්නා හඳුනන මිනිසුන් ඉතා බොහෝ දෙනෙක් යට කී වදන් තෙපලනු මා අසා ඇත. කාරණය වන්නේ මා මේ දේවල් කී වතාවක් අසා සිටියේ ද යන්න නො වේ. ඔවුන් කිසි විටෙකත් මා නිහඬ කිරීමට සමත් නොවීම යි. මධු විත තොල ගාන අතරෙහි දෙසා බාන එක් අහඹු වැකියකින් ඔවුන්ට මිනිස් ජීවිත තඹයකට නොතකා කතා කළ හැකි ය. යන්තමින් තම දෙඋර හකුළා කරන සංඥාවකින් ඔවුන්ට ඝාතනයකට සමාව දිය හැකි ය. ඝාතනයක් යුක්ති සහගත වුව ද කළ හැකි ය. සමහරුන් ‛දෙමළ ප්‍රශ්නය’ යන වචන දෙක දමා ගසන්නේ එය නපුරු හෝ වඩා නපුරු යෙදුමක්, ත්‍රස්තවාදය යන්නට සමාන තෙපුලක් ලෙස සලකා ගෙන ය. බුද්ධිමත්, කල්පනාන්විත පුද්ගලයෝ පවා – තමන් කියන දේ පසුපස පවතින හලාහල විෂ වුව ඔවුන්ට අවබෝධ වෙත් දැයි මට සැක සහිත ය. ඒ තරමටම, දිගින් දිගට ම, තමන් කියන දේ ගැන සැහැල්ලුවෙන් සිතන්නට පෙලඹී සිටිති.

‛අනෙකා’ පිළිබඳ මෙම හැඟීම අප සමාජය තුළ කොතරම් තදින් කා වැදී ඇත් ද යන වග මෙම නිමේෂයෝ වේදනාකාරී ලෙස මට පසක් කර දුන්හ. වැනා සහ මා අතර වැඩි වෙනසක් මා කිසි දා දැක තිබුණේ නැත. එහෙත් මා මෙම තත්ත්වයන්ට මුහුණ දෙන විට, වැනා පිළිබඳ මගේ ආකල්පය නිසා මා මුළුමනින් ම පිටස්තරයෙකු බවට පත් වන සෙයක් පෙනී යයි. කෙසේ වුව ද මට නම් ඇය කිසියම් ‛ඔවුන්ගේ කණ්ඩායමකට’ අයත් කෙනෙක් නොවේ. ඈ ඇය ම ය. මට නොවැටහෙන ඇය පිළිබඳ ඒ තොරතුරු මා තුළ කුහුලක් දනවනවා පමණකි. ඈ මගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන බොහෝ දේ දනී. මා ඇය ගැන යමක් දන්නේ යන්තමිනි. සිය විවාහ මංගල්‍යයේ දී ඇයට ඉටු කරන්නට සිදු වුණු වතාවත් ගැන මා හා කියමින් සිටි වේලේ ඇය මට කියූ නුහුරු නුපුරුදු අසිරිමත් දේවලින් මම වසඟ වුණෙමි.

යුද්ධය අවසන්ව වසරක් ගෙවී ඇතත් අප පසු කර ඇත්තේ කොතරම් නම් ස්වල්ප දුරක් ද? සටන නැතිකම සැබෑ සහ අර්ථවත් සාමයක් බවට පරිවර්තනය කළා වෙනුවට, වසර පිරී තිබෙන්නේ ආධිපත්‍යය තකා කළ තරඟවලිනි. සටන් ජය ගෙන තිබෙන, අප වල්මත් කරන ප්‍රචාරක පෝස්ටර තව දුරටත් අප ඇස නොගැටෙන මේ මොහොතෙහි සමහර විට අපට එකිනෙකා ගැන සිතා බැලීම ඇරඹීමට පිළිවන් විය හැකි ය – සිතා බලන්නට, අදහස් හුවමාරු කර ගන්නට සහ සැබෑ ලෙස අවබෝධ කර ගන්නට. ඉතිහාසයට දොස් කීම පහසුවනතාක් දුරට දේශපාලනඥයෝ ද අධිකාරීහු ද අප වැරදි මග දිගේ කැඳවා ගෙන යති. එහෙත් එය වැළඳ ගනු ද නොගනු ද යනු තෝරා ගත යුතුව තිබුණේ අප ය. කෙසේ වුව ද දැන් වෙනසක් සිදු වන්නට යන්නේ නම්, එය සිදු විය යුත්තේ අප අතිනි – කිසිවෙකු අප තුළ එම වුවමනාව ඇති කළ බැවින් නොව දැන් අපට එම වෙනස වුවමනා කරන බැවිනි.

‛අප’ යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් පමණක් නො වේ. අපගේ පාරිභාෂික වචන ද වෙනසකට ලක් විය යුතු ය: ‛අප’ සහ ‛ඔවුන්’ වෙනුවට – නිකම් ම නිකම් ‛අප.’ එය වූ කලි සම්බන්ධතා ගොඩ නැගීමකි – එහෙත් එය බෙහෙවින් දේශපාලනීකරණය වී ද බෙහෙවින් සංකීර්ණ වී ද බෙහෙවින් අශෝභන වී ද පවතියි. එය එහෙම පිටින්ම වෙනත් යමක් බවට පරිවර්තනය වී ඇති සැටියක් පෙනී යයි. බලය. හිමිකම. ඊර්ෂ්‍යාව. බිය. මේ සියල්ලම අපගේ පද්ධති තුළට මුසු වී ඇත. අපගේ රුධිරය සමග එක් වී ඇත. අප සියලු දෙනාම ඉවත ලිය යුතුව තිබෙන්නේ මෙය යි.

වැනා දැන හඳුනාගැනීම මගේ ජීවිතය මුළුමනින්ම පාහේ වෙනස් කර ඇත. මාගේ මුල්ම සමීප දෙමළ මිතුරිය වන ඇය, මා තුළත් අනෙකුන් තුළත් පවතින අසංවේදිතාව – මා දැන නොසිටි බව කිසිදා නොහැඟවෙන්නට ඉඩ තිබුණු ඒ අසංවේදිතාව, ඇය කැමැත්තෙන් සිටි ඒ අසංවේදිතාව – හඳුනා ගන්නට මට බල කර ඇත. ඉතින් අවසානයේ දී අප ළඟා වන්නට සිදු වී ඇත්තේ එතැනට යැයි මම අනුමාන කරමි: නමුත් අප පරිස්සම් විය යුතු ය.

යුද්ධය අවසන් වී ගෙවුණු වසර අප සමරද්දී මා තුළ යම් බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒ අපගේ මනස තුළ අලුත් බලාපොරොත්තුවක කඳවුරු බැඳිය යුතු ය යන්න යි. එවැන්නකින් දිගු කලක් තිස්සේ පැවතුණු විශ්වාසයන් කෙරෙහි උදහස පළ වන්නට ඉඩ තිබෙන නිසා සහ සැඟවුණු පක්ෂපාතීකම් එළිදරව් වන්නට ඉඩ තිබෙන නිසා තවමත් එවන් බලාපොරොත්තු බොහොමයක් උදෙසා සටන් වැදීමට අපහසු ය. එහෙත් ලේ වැගිරීමක් නැති යම් බලාපොරොත්තුවක්. අත හැර දැමීමට පොලඹමින් විසි කෙරෙන අල්ලස් ගත නොහැකි නිසා හෝ ශාරීරික ශක්තියෙන් පරාජය කළ නොහැකි නිසා – මනස වෙනස් කරනවාට වඩා ශරීරය මරා දැමීම පහසු ය – වඩා අභියෝගාත්මක බව ඔප්පු වනු ඇති යම් බලාපොරොත්තුවක්.

අප එම යුද්ධය දිනුව හොත්, අනෙකාගේ වේදනාවේ සහ මරණයේ වියදමින් ජීවත් වීමේ වරදින් අපගේ ප්‍රීත්‍යෝත්සව කිලිටි නොවනු ඇත.
එම ජයග්‍රහණයේ දී, අප සියලු දෙනාම වීරයන් වනු ඇත.

[2010 මැයි 22 www.groundviews.org වෙබ් අඩවියේ පළවූ Living with the Other in post-war Sri Lanka ලිපියේ සිංහළ පරිවර්තනය යි]