ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි හොඳම පෙරවදන ය.

අණපනත් නැතිව කිසිදු කාර්යක් වගවීමක් ඇති පාරදෘශ්‍යබවකින් යුතුව කරගෙන යෑමට නොහැකිය. එවැනි කාර්ය පරිපාටියක් නැති විට තීන්දු තීරණ ගනු ලැබෙන්නේ පුද්ගලබද්ධව ය. නීතිය යනු පුද්ගලයාගේ කැමැත්ත බවට පත්වෙයි. 2020 යනු නීතියේ පාලනයට අදාළ සංකල්පයන්ට නව අර්ථකථනයන් ලැබෙන වසරක් බව දැන් සිටම ලියා තැබීමට හැකිය.

2019 අවසන් වූයේ තවත් එවැනිම සිදුවීම් කිහිපයක් සමඟ ය. ඉන් එකක් නම් මගී ප්‍රවාහණ සේවා බස්රථ සඳහා වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් දෙන්නට යන්නේ ය යන පුවතය. මෙම පුවත පළ වී දින ගණනාවක් ගතවී ඇතත් ආණ්ඩුව එම පුවත ප්‍රතික්ෂේප කර නැත. බස්රථවල මගීන්ට නිවිහැනවිල්ලේ පොතක්, පත්තරයක් කියවාගෙන යෑමට නම් කළ යුත්තේ මේ ගී වාදනය සහමුලින්ම තහනම් කිරීමයි. පුද්ගලික බස් ජාවාරම ජේ.ආර්.ජයවර්ධන විසින් ඇති කරනතුරු මෙරට මගී ප්‍රවාහණ සේවාවන්හි මෙවැනි කරච්චල තිබුණේ නැත. කිසිදු සංවර්ධිත රටක බස් රථවල මෙවැනි කාල ගෝට්ටි නැත.

මෙරට ද එවැනි තත්වයක් ඇති කරනු වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව කරන්නට යන්නේ අපට අනිවාර්යයෙන්ම අසන්නට සිදුවනු ඇති ගී ඔවුන් විසින් තෝරා දීමය. රාජ්‍ය විසින් මෙවැනි ගී නිර්දේශ කිරීම සිදුවන්නේ උතුරු කොරියාව වැනි සම්පූර්ණයෙන්ම ජනමනස පාලනය කරන ඒකාධිපති රටවල පමණ ය. දැන් රාජපක්ෂවරුන් ද සමාජ මනස පාලනය කිරීම සිය දේශපාලන උපාය මාර්ගයක් බවට පත් කරගෙන සිටී. මාර්ග අසළ බිත්තිවල ආගමික සහ යුදවාදී (බොහෝ විට අජූත) චිත්‍ර ඇදීම ද දියත් කරන ලද්දේ ජන මනස පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ය. සමාජීය ජනමනස පාලනය කරන්නට සැළසුම් කරන රාජ්‍යයන් වඩා අවධානය යොමු කරන්නේ ළමා සහ තරුණ මනස කෙරෙහි ය. 2020 පුරා අප මෙවැනි පියවරයන් වර්ධනයවීමත් පාසල් පෙළපොත්හි මගින් මොළ සේදීමත් දක්නට ලැබෙනවා ඇත.

අධ්‍යාපනය ගැන කතා කරන විට පොහොට්ටුවාදී භික්ෂුන් විසින් පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම තහනම් කිරීමට ගෙන යන ව්‍යාපාරය අමතක කළ නොහැක. මේ එක් භික්ෂුවක් ළමා අපචාර සම්බන්ධ චූදිතයෙකි. වරක් පොහොට්ටුවට පක්ෂව ලිංගික අපචාර සම්බන්ධයෙන් එංගලන්තයෙහි දී සිරබත් කෑ චීවරධාරියකු ද කළ එළි බැස්සේ ය. සමහර විට නව පෙළ පොත් ලිවීමට මෙවැනි චීවරධාරීන් ද පත්කිරීමට ඉඩ තිබේ.

කතානායක විසින් පැහැදිළිව කියා සිටි පරිදි චම්පික රණවක අත්අඩංඟුවට ගැනුණේ නිසි ක්‍රියා පිළිවෙතට පිටිනි. ඊට හේතුව ජනපති රාජපක්ෂ කියන පරිදි හදිසි අවස්ථාවලදී අණපනත් සැළකීම අවශ්‍ය නොවන නිසා විය හැක. අනෙත් අතට අණපනත් නොසළකා අල්ලස් සහ දූෂන විමර්ශන කොමිසම, එහි කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නැතිව කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් විය. ඒ අධිකරණ ස්වාධීනත්වය නිසා ය. එනමුත් එළෙස අනිසි ලෙස නඩු පවරන ලද කිසිදු නිලධාරියකුට එරෙහිව කිසිදු විභාගයක් නොපැවැත්වෙනවා ද ඇත.

ජනපති, අගමැති, ඇමැති යනාදීන්ගේ උපදෙස් අනුව අණ පනත් නොසළකා කටයුතු කිරීම වරදක් නොවන බවට තහවුරු කරන නීතියක් ගෙනඑන බව රාජපක්ෂවරු දැනටමත් ප්‍රකාශ කර තිබේ. දැන් දැන් පෙනෙන්නේ ඒ පෙර නිමිති ය.

චම්පික රණවකට විරුද්ධ මාර්ග අනතුරු නඩුව යළි විභාග කළ හැකි නම් මහින්ද රාජපක්ෂට විරුද්ධ හෙල්පිං හම්බන්තොට නඩුව යළි කවදාක හෝ යළි විභාග කරන්නටත් පුලුවන් වනවා ඇත. මෙකී රාජපක්ෂ පූර්වාදර්ශය විසින් 2020- 2025 කාලය තුල විසිකර දමන්නට නියමිත බොහෝ නඩු යළි විභාග කිරීම සඳහා අවස්ථාවක් සැළසෙන්නට ද ඉඩ තිබේ.

ගිනි අඟුරු මොලවන පිරිස් චන්ඩ ගිනිදැල් පැතිය යුතුයැයි දශක ගණනාවකට පෙර ලියා තිබුණේ ඉන්දුනීසියානු විප්ලවවාදී කවියෙකි. 2020 වර්ෂයේ දී රාජපක්ෂවරුන් සිහිතබා ගතයුතු වැදගත්ම කරුණක් ඒ දෙපදය විසින් ඉදිරිපත් කරයි. එනම් ඉතිහාසය ඉදිරියට යන බවත් කවර පාලනයක් හෝ සදාකාලික නොවන බවත් ය.

මේ වනාහී 2020 පුරා අප අත්දකිනු ඇති තවත් ළකුණක් වනු ඇත්තේ අණපනත් නොසළකා හැරීමට දේශපාලනික බෞද්ධ භික්ෂුන්ට ලැබෙනු බලය යි එහි දුශ්ඨතම ප්‍රකාශනයක් වන්නේ මඩකළපුවේ සුමන ය. මෙම නීතියට උඩින් වැඩීමේ බලය ඇත්තේ එවැනි දේශපාලනික-භික්ෂුන්ට පමණි. ළමා සහ ලිංගික අපචාර වෙනුවෙන් අත්අඩංඟුවේ පසුවන බව කියන 41ක් වන බෙෘද්ධ භික්ෂූන් නිදහස් කළ යුතු බව ද කියවෙනු දැන් දැන් පෙනෙන්නට තිබේ.

2020 හි දී ආපසු හැරවෙනු ඇත්තේ අපරාධ චූදිත ‘රණවිරු දඩයම’ පමණක් ම නොවේ. ඊනියා දූෂන චූදිත ‘දේශපාලනඥ දඩයම’ සහ අපචාර දූෂිත ‘භික්ෂූ දඩයම’ ද ආපසු හැරවෙන්නට ඉඩ තිබේ. මන්ද යත් 2020 සිට ශ්‍රී ලංකාවේ අධිකාරය බවට ‘දේශපාලන-හමුදාමය-භික්ෂුමය’ ත්‍රිත්ව බලය පත්වීමට නියමිත නිසා ය. දැනටමත් පොලිස් කොමිසම කටයුතු කරන්නේ වැල යන අතට මැස්ස ගහන හැටියට ය. මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතුලු ස්වාධීන කොමිෂන් සභා යනු යූඇන්පී කොමිෂන් යැයි කියා තිබුනේ වෙනින් කව්රුවත් නොව බඩුමිල අඩුකිරීමේ සූත්‍රාධිපති වාසුදේව ය.

19වන සංශෝධනය අහෝසි කළ යුතුම බවට ජනපති රාජපක්ෂ ද යළි යළිත් ප්‍රකාශ කරන අතර සිරිසේන ද ඊට අත්වැල් ගායනයෙන් සහය වෙයි. 19වන සංශෝධනය අහෝසි කිරීමේ සැළැස්ම 2020 අණපනත් නැති පාලනයක් ගෙන ඒමේ ප්‍රබලතම සාක්ෂිය යි. බලයට පත් වී සති හයක් තරම් කෙටි කාලයක් තුළ රාපක්ෂවරුන් විසින් ක්‍රියාවට දැමූ පහත දැක්වෙන පියවරයන් දෙස බලන්න:

වම්පික රණවක සහ රාජිත සේනාරත්න පසුපස හඹාගොස් අත්අඩංඟුවට ගැනීම; බිත්ති පින්තාරුවේ සිට ගී නිර්දේශ කිරීම සඳහා පියවර ගැනීම; ඇමැතිවරයකු පත් නොකොට එමගින් ආරක්ෂක අමාත්‍යාංශය ජනපති රාජපක්ෂ විසින්ම පාලනය කිරීමට කූටෝපායක් ක්‍රියාත්මක කිරීම; ජනපති රාජපක්ෂ විසින් සමස්ත ඩිජීටල් තොරතුරු තාක්ෂනය තමන් යටතට ගැනීම; ප්‍රධාන ධාරාවට අයත් සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සිය ප්‍රචාරක ආයතන බවට පත් කර ගැනීම; අන්තර් ජාල පුවත් මාධ්‍ය බිය ගැන්වීමට පියවර ගැනීම; රාජපක්ෂවාදී අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීමට මූලිකත්වය ගත් නීතිවේදීන්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රචාරය කිරීම, අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව අඩපන කිරීම පිනිස එහි ප්‍රධානින් ඉවත් කිරීම, 700කට වැඩි රහස් පොලිස් නිලධාරීන් බිය ගැන්වීම පිනිස ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සංහිදියාව සිය ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත් කිරීම; රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංංශය යටතට ගැනීම, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම්වලට විසඳුමක් ලබා නොදෙන බව ප්‍රකාශ කිරීම; ජාතික ගීය සිංහලෙන් පමනක් ගැයීමට පියවර ගැනීම; විපාක්ෂික දේශපාලනඥයින්ට දඩුවම් පැමිණවීම පිනිස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කිරීම සහ තවත් පියවර.

2020 වසර සදහා අප ප්‍රක්ෂේපනයක් ඇදිය යුත්තේ මෙම කරුණු ප්‍රස්ථාරගත කරමිනි. ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනමාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස, අධිකරණ ස්වාධීනත්වය, නීතියේ පාලනය යනාදී බොහෝ දේ 2020 දේශපාලන සිතියමෙහි අදුරු තිත් බවට පත් වී යාමට බොහෝ දුරට ම ඉඩ තිබේ.

ජනපතිවරණයේ දී රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූ එක්සත් ජාතික පක්ෂය ගැන සඳහන් නොකර 2020 ඇඟවීම් අවසන් කළ නොහැකි ය. ඒහි නායකත්ව පොරය නිසාම එජාපය තවත් දුර්වලවීම වැළැක්විය නොහැකිවනු ඇත. වික්‍රමසිංහ හෝ ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කවරකුටවත් ප්‍රබල විපක්ෂ භූමිකාවනට නායකත්වය දීමට නොහැකි වීමට හොදටම ඉඩ තිබේ. එය තව දුරටත් පවතිනු ඇත්තේ කුණාටු සයුරක රුවලක් නැතිව අසරණ වූ නෞකාවක් පරිද්දෙනි. එජාපවාදී සිවිල් සමාජය ද දැන් විසිරී ගොසිනි.

ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පතිත වනු ඇති රාජපක්ෂ යකුළු පහරවලට ප්‍රථම ප්‍රතිචාර දැක්වීම දැනටමත් පෙනෙන්නට ඇති පරිදි සියලු ආකාරයේ විකල්ප ජනමාධ්‍ය උරහිස් මත රදා පවතිනු ඇත. ජනමාධ්‍ය යනු ඉතිහාසයේ මුල් පිටපතයැයි කියනු ලැබේ. වර්ථමාන ජනමාධ්‍යට වැළදී ඇති සියලු භූත ප්‍රේත පිශාචාදී අට අනූවක් රෝග තිබියදීත් තවමත් ඉතිහාසයේ මුල් පිටපත් ලියමින් සිටින්නේ ජනමාධ්‍ය විසිනි. එනයින් 2020 අප සියලු දෙනා මත ඇත්ත ඇති සැටියෙන් වාර්ථා කර ලියා තැබීමේ වගකීම දෙගුණ තෙගුණ වී පැවැරෙයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya