iMage: Alyssa

ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම විශ්වවිද්‍යාලයේ ටිකක් විතර ජනප්‍රිය වෙන්නත් හේතුවක් වුණා. දවසක් මම තරම් උස ඇති, ඒ කාලේ බොහොම අහිංසක පෙනුමට සිටි, අපේ වසරේ අධ්‍යාපන හැදැරූ එක හිමිනමක් කැලණිය සරසවියේ තෙල්බැම්ම ළඟදී මට කතා කළා.

“අක්කේ, මට පොඩි උදව්වක් ඕනෙ.”
හාමුදුරුවෝ කිව්වා.

මම හිතුවෙ පත්තරේට ලිපියක් දාගන්න වගේ දෙයක් වෙන්න ඇති කියලා.

“කියන්න අපේ හාමුදුරුවනේ.”
මම ගරුසරු ඇතිව කීවා.
“අක්කා මාධ්‍යවේදිනියක් නේද?”
“එහෙමයි හාමුදුරුවනේ”
“එහෙනම් අක්කා කොළඹ තැන් දන්නවා ඇති නේද?”
“තැන් කිව්වෙ හාමුදුරුවනේ”

ඊට පස්සෙ හාමුදුරුවො තමන්ගෙ මල්ලට අත දාලා ඡායාරූපයක් ගත්තා. අවුරුදු දහතුනක දාහතරක විතර දැරිවියක් ඡායාරූපයේ සීරුවට හිටගෙන හිටියා.
“මේ මගේ ගෑනු ළමයා. මට එයත් එක්ක පොඩ්ඩක් කොහේ හරි කතා කරන්න යන්න ඕනෙ. අක්කා දන්න තැනක් තියෙනවාද?”

මම හාමුදුරුවන්ගෙ මූණ බැලුවෙ ටිකක් අපහසුවෙන්. සරසවියේ ප්‍රේමය අරුමයක් නොවුණත් මේ ඉල්ලීම මට නුහුරු වුණා. මාධ්‍යවේදිනියක් වීම ගැනත් මට ඇති වුණේ පොඩි ලැජ්ජාවක්. ඒ හැඟීම් සියල්ල පැත්තක තියලා මම එක ප්‍රශ්නයක් ඇහුවා.

“හාමුදුරුවනේ මේ ළමයා පොඩියි නේද?”
“ඔව් අක්කේ. මෙයා අපේ දහම් පාසල් ළමයෙක්. එයත් කියනවා කතා කරන්න ඕනෙ කියලා.”
“ඔබ වහන්සේ කරන්නෙ වැරැද්දක්. මේ දරුවෙක්. එයා කැමැත්තෙන් ආවත් ඔබ වහන්සේ වැරැදිකාරයා වෙනවා. අනික හාමුදුරුවනේ මම මාධ්‍යවේදිනියක් වුණාට ගෑනු ළමයි එක්ක කතා කර කර ඉන්න පුළුවන් තැන් දන්නෙ නෑ.”

එහෙම කියලා මම යන්න ගියා. මම හිතුවා හාමුදුරුවො අන්තිම වසර වෙ⁣ද්දි සිවුරු අරියි කියලා.

ඒත් එහෙම වෙලා නෑ කියලා තේරුම් ගියේ සරසවි අධ්‍යාපනයෙන් කලකට පසු සාලයේ රූපවාහිනී යන්ත්‍රයෙන් හුරුපුරුදු හඬක් ඇහෙනකොට. බලන කොට අපේ හාමුදුරුවො. අර දරුවා බේරෙන්න ඇතියි කියලා මට හිතුණා.

මම කියන මේ හාමුදුරුවො අද රටේ සුප්‍රසිද්ධ චරිතයක්. උන්වහන්සේ නොදන්න කෙනෙක් නෑ.

මේක ලියන්න කලින් මම හුඟක් හිතුවා. මොකද මේ රටේ මිනිසුන් යමක් තේරුම් ගන්නෙ ටිකක් අමුතු විදියට නිසා. ඒ වුණත් දරුවන් වෙනුවෙන් මේක ලියන්න ඕනෙ කියලා හිතුවා.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ඉතා වැදගත්. නිසි වයසෙදි නිසි ලිංගික අධ්‍යාපනය දරුවන්ට දෙන්න ඕනෙ. වරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මා සමඟ කියා සිටියේ මෙරට දූෂණයට පත්වෙන කාන්තාවන්ගෙන් සියයට අනූවක් පාසල් දැරියන් බවයි. බොහෝ විට තමන්ගේ පෙම්වතුන් අතින් දැරියන්ට මේ විපත් සිදුවන බව ඔහු පැවසුවා.

මේ සිදුවීම එක ආගමකට හෝ ජාතියකට සීමා වූ දෙයක් නොවේ. ජනමාධ්‍ය වාර්තා කරන අන්දමට සහ අප දන්නා පරිදි සියලු ආගම්වලට අයත් සමහර පූජකවරුන් අතින් මේ අපරාධ සිදුවෙනවා. එනමුත් මේ අපරාධවලට විරුද්ධ ආගමික පූජකවරුන් සිටින බවත්, ඔවුන් දරුවන් ඇතුළු සමස්ත ලෝකය වෙනුවෙන් සේවය කරන බවත් අප අමතක කළ යුතු නෑ.

මා මේ සටහන තැබුවේ දරුවන් වෙනුවෙන්. දරුවන් රැක ගැනීම අප සියලු දෙනාගෙ වගකීම බැවින්.

උක්ත හිමි නම කවුරුන්ද යන්න මම කිසිවිටෙක හෙළි නොකරන බැවින් මේ ගැන කුමනාකාර හෝ විමසීමක් නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය වැදගත් බව පමණක් අවධාරණය කරන්නේ කුඩා කල ඔවුන්ට වෙන විපත්වලින් දරුවන් බේරා ගැනීමටයි.

සුමේධා නරවරත්න | Sumedha Nawarathne