මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (www.lankaenews.com) කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය හෙබවූයේ පසුගිය නොවැම්බර් 16දා යළි බලයට පත් වූ රාජපක්ෂවරුන් ප්‍රමුඛ ආණ්ඩුවයි. වෙනසකට ඇත්තේ එවකට ජනාධිපති වූයේ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ‘අයියා’ වන මහින්ද රාජපක්ෂයි. වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වීමද විශේෂත්වයකි.

ඊ නිව්ස් ගිණි තැබීම ඇතුලු මාධ්‍යවේදීන් ඝාතනය, පහරදීම්, බිය වැද්දීම් විශාල සංඛ්‍යාවක් සිදුකරන විට ඒ පිළිබද කිසිදු අන්දමක පිළිගත හැකි පරීක්ෂණයක් සිදුකිරිමට එවක රාජපක්ෂ ආණ්ඩුව කිසිදු උත්සහයක් ගත්තේ නැත. ඒ අපරාධවලට සම්බන්ධ කිසිවෙකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූ රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි 8වනදා මේ රටේ පුරවැසියන් විසින් පරාජය කලේය. නමුත් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුවට ද වසර 5කට ආසන්න කාලයක් තුළ දී වත් ලංකා ඊ නිව්ස් ගිණි තැබූ අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරිමට නොහැකි විය. එපමණක් නොවේ ජනවාරියේ දී මෙන්ම එම වසර ගණනාවේම ජනමාධ්‍යට එල්ල කල කිසිදු අපරාධයකට සම්බන්ධ කිසිවෙක් නීතිය හමුවට ඉදිරිපත්කිරීමට නොහැකි වූ අතර අතුරුදහන් කල මාධ්‍යවේදී ප්‍රගිත් එක්ණැලිගොඩ සහ ඝාතනය කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග පිළිබද පරීක්ෂණ පමණක් යම් මට්ටමකට ක්‍රියාත්මක කිරීමට පමණක් ඔවුන්ට හැකි විය.

නමුත් දැන් අලුත් ආණ්ඩුව තුළ ද ලසන්ත ඝාතනය සහ අතුරුදහන් කළ ප්‍රගීත් සම්බන්ධ පරීක්ෂණද කුණු කූඩයට යමින් තිබේ. නමුත් පාලකයන් විසින් එම අපරාධ කුණු කූඩයට දැමීමට උත්සහ කළත් එය ඉතිහාසය විසින් මකා දැමීම කල හැකි දෙයක් නොවේ. එම අපරාධ සිදුකල අපරාධකරුවන් හමුවේ එම අපරාධවලින් වින්දිතබාවයට පත්වූ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ වේදනාව අපරාධකරුවන්ගේ සහ එම අපරාධවලට සහය දුන් අපරාධ සහයකයන්ගේ සවන් සිදුරුකරනු ඇත. එබැවින්, විසල් ගොඩනැගිලි තනා, සෞභාග්‍ය ගැන ‘බණ’ කියමින් සිටියත්, එම අපරාධවලට යුක්තිය ඉටු නොකර සෞභාග්‍යක් ලගා කර ගැනීමට නොහැකි බව ඕනෑ තරම් උදාහරණ ලෝකය විසින් පෙන්වා දී ඇත.

එම නිසා මාධ්‍ය නිදහස ගැන වැදි බණ කියමින් මාධ්‍යට තඩිබාන ඕනෑම කෘරර පාලනයක වුව පුරවැසියාගේ වගකීම විය යුත්තේ යුක්තිය උදෙසා සටන් වැදීමය. අද ලංකාවට සේම අනාගත ලංකාවේ ද පුරවැසියන් විසින් අත්නොහළ යුතු වගකීමක් වන්නේ යුක්තිය උදෙසා සටන් කිරීමයි.

පහත පළවන්නේ 2011 ජනවාරි 30වනදා ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තැබීමෙන් පසු, එවකට ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා දැක්වූ අදහස් අප විසින් ‘විකල්ප‘ තුළ පළ කලේය. එය නැවත අප මෙහි එය පළකරන්නේ එවැනි බිහිසුණු ජනවාරිය ගැණ සටහන් කිරීමටය. එය යුක්තිය සොයා යෑමේ අරගලයට සහයක් වනු පිණිසය.

“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, කැමරා ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. අපේ පොත් එකතුවක් තිබුණා අවුරුදු 100 ක් 200ක් විතර පරණ පොත් සමහර පොත් පුස්තකාලවලවත් හොයා ගන්න බැහැ. ඒ සියළුම දේවල් විනාශවෙලා තියෙනවා. ඒවයෙ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ.’’

‛‛ජනවාරි කියන්නෙ අවුරුද්දෙ ආරම්භක මාසය. ආරම්භක මාසයේ මොකක් හරි ආරම්භ කරලා මේ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් තමයි පසු ගිය අවුරුදු ගාණක් පුරා මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. අපි ඒකෙදි බොහොම දුක් විඳලා, පීඩා විඳලා තියෙනවා. රැකියා පවා නැතිවෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ඕනෙ. මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මාධ්‍ය නිදහස ගැන, මිනිස් අයිතිවාසිකම් ගැන. නමුත් මං අහන්න කැමතියි මේවා පිටිපස්සෙ ඉන්න පිරිසගෙන් මේ මාධ්‍යට කරන හිරිහැර තුළින් අළුත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න යනවාද කියලා.”

මෙම ගිණිතැබීමට විරෝධය පළකරමින් 2011 පෙබරවාරි 1වනදා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කොළඹදී පවත්වන ලද විරෝධතාවය ‘විකල්ප’ වීඩියෝ එකතුවෙන්

‘හැමදාම ආණ්ඩුව බිල්ලක් ගන්නවා……………ජනවාරි 30 කියන්නේ ආණ්ඩුවේ මරමස්ථාන දිනයක්’ – දයාසිරි ජයසේකර(2011 ජනවාරි 31 – Colombo)