”බෙන්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන අයෙක්, කුඩා සාමණේර නමකට ලිංගික අතවර කිරීමෙන් පත් වූ පීඩනය දරා ගත නොහැකිව කුඩා සාමණේර හිමි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි”.

”මිනිස් වෙසින් සිටින මෘගයෙක් කුඩා දැරියක ලිංගික අපයෝජනයට ලක් කර එහි පටිගත කළ දර්ශන කොටස් සමාජ ජාලා වෙත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරිය දැඩි නිද්‍රාවක පසුවේ.”

ඉහතින් මා දැක්වූයේ පසුගිය දිනවල සමාජ ජාලා වල හා මාධ්‍යයන්හි සැරිසැරූ පුවත් ය.

මේ සමාජයේ සිදුවන අපචාර වලින් සුලු වශයෙන් හෝ අවධානය යොමු වූ සිදුවීම් ය. මෙම සිදුවීම් දෙකම බැලූබැල්මට වෙනස් ස්වරූපයන් ගත්ත ද අපට නොපෙනෙන භයානක පැතිකඩක් එහි අභ්‍යන්තරයේ ඇත.

එනම් මෙම සැකකරුවන් යැයි පැවසෙන දෙදෙනාම සමාජයේ පළිගත්, මෙලොව දියුණුව ලගා කරගත් පරලොව උදෙසා පින් රැස් කර ගැනීමට දිවා රෑ වෙහෙසෙන්නන්ය. කුමන තරාතිරමක සිටියද මොවුන් මේ මහ දවල් විනාශ කරන්නේ අපේ දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන්ගේ නින්දිත, අවලං විකෘති ලිංගික ආසාවන්ට ගොදුරු වී සිටින්නේ ලිංගිකත්වය යනු කුමක්දැයි කියා කිසිවක් නොදන්නා අහිංසක දරුවන්ය.

නමුත් මේ සිදුවීම් දෙක පිළිබදව වසර 2500ක ඉතිහාසයක් ඇතැයි කියන ‘පෞඩ’ යැයි කියා ගන්නා මිනිසුන් බොහොමයක් හඩය. එයට විරුද්ධව හඩ නගන්නේ මේ සමාජයේ ඉතාමත් සුුලුතරයකි. එය මේ පොලොවේ සැබෑ යතාර්තයයි. එය මේ මෘග ක‍්‍රියාවට විරුද්ධව පමණක් නොවේ. පසුගිය කාලය පුරාම මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඔවුන්ගේ ආත්මයන් පවා සුනු විසුනු කර දම්ද්දී ද හඩ නැගුවේ ද එවන් වූ සුලු පිරිසකි. ව්‍යාජ දේශපේ‍්‍රමයෙන් මුලු සමාජයම හිරි වට්ටා ඇති කාලයක අද ද ඒ කුඩා දැරියට යුක්තිය ඉල්ලා සිටන්නේ ඒ, ඉතිරිව ඇති මිනිස් ධෛර්යයේ සහ බලාපොරොත්තුවේ මිනිස් සමූහයක හෘද සාක්ෂියයි. පසුගිය දින කිහිපයේම කොළඹ, කොටුවේත්, ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිටත්, ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අවකාශයන් හීත් හඩ නගන්නේ එවන් ශිෂ්ට මිනිසුන් සහ ගැහැණුන්ය. එවන් වූ මිනිසුන් සහ ගැහැණුන් මහපොළවේ නොවන්නට, සමස්ත සමාජ පද්ධතියම ‘මෘගයන්ගේ බිමක්’ බවට පත්වී බොහෝ කල්ය. එම නිසාම සුලුතරයක් වුවත් ඔවුන්ගේ හඩ මිනිස්කමේ හඩයි. යුක්තියේ හඩයි.

කෙසේ නමුත් මේ ඛේදවාචකයට මුහුණ දුන් දරුවා ඔබේ/මගේ දරුවා නම්, ඔබ මම කොපමණ අසරණ වෙයිද? අප කොපමණ උගත්, ධනවත් වුවත් ඒ අසරණ වේදනාවෙන් මිරිකුණු, මැලවුණු මුහුණ දකින වාරයක්, වාරයක් පාසා ඔබත්, මමත් කොපමණ මැරි මැරී ජිවත් වෙයිද?

නමුත් මේ අපේ ම දරුවා නොවෙයි. එම නිසා අපට මෙවන් දේ අදාළ නැත. මේ බහුතර මතයයි. බහුතර චින්තනයයි. නමුත් සෑම විටම බහුතර මතය නිවැරදි නම් මේ ලාංකීය භූමිය මේ තරම් නරා වළක් වන්නේ නැත. එම නිසා අද ද ලාංකීය භූමියේ බහුතර මතය තවමත් නිවැරදි මතය නොවන බවට ඕනෑ තරම් උදාහරණ බබෙක් නොවන ඕනෑම අයෙක්ට සොයා ගත හැකිය.

දරුවෙකු දූෂණයට, අපචාරයට හෝ අතවරයට ලක් කිරීම කිසිදා සමාව දිය නොහැකි, නිදහසට කරුණු ඇසිය නොහැකි තරම් වු බරපතල වැරැද්දකි. දරුවෙක් දූෂණයට, අපයෝජනයට හෝ අතවරයට ලක් කිරීමෙන් ලබා ගන්නා ලිංගික තෘප්තිය විකෘති මානසික ලක්ෂණයකි. කෙසේ වෙතත් මෙම සිදුවීම් දෙක දෙසම විමසිල්ලෙන් බැලූවිට පෙනී යන පොදු ලක්ෂණයක් ඇත. දැනට සමාජයෙන් චෝදනාවට ලක් වී ඇතැයි පැවසෙන දෙදෙනාම විවෘත සමාජයට මහා පින්වත්ත චරිතයන්ය. මොවුන් දෙදෙනාම බොහෝ පින් දහම් රැස් කරන, සිහිනෙනුත් බණ කියන, නින්දෙදිත් පිරිත් ශ‍්‍රවණය කරන නමුත් ඔවන්ගේ අභ්‍යන්තරය වල් වැදී ඇති නරුමයන් ය.

එමෙන්ම මෙවන් මිනිස් වෙස් ගත් මෘගයන්ට නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකිරීම යනු නීතිය හසුරුවන් ද බලය හා ධනය ඉදිරියේ තම නගුට හකුළා ගත් සිකනළුන් බව නොවේද?

හොදම දේ දරුවන්ට

අප හැම විටම උත්සාහ දරන්නේ හොදම දේ අපේ දරුවන්ට දීමටයි. හිමිදිරි උදෑසන බණ පදයේ පටන් මැදියම් රැයේ බලන අවසන් වෙළද දැන්වීම දක්වා අප දකින්නේ හොදම දේ දරුවන්ට යන තේමාවන් ය. නමුත් ඒ අතර විකාශය වන ප‍්‍රවෘත්ති විකාශයේ දී අපට දැක ගන්නට ලැබෙන්නේ අපේම දරුවෙකුට ලැබී ඇති පහත්, නින්දිත, කුරිරු අතිශය වේදනාකාරී අත්දැකීමකි. එය පංසිල් ගන්නා ඊනියා ‘සිංහල බෞද්ධ’ රාජ්‍යයේ කැඩපතද? එසේම එම ‘සිංහල බෙෘද්ධකම‘ පෙරට දමාගෙන ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ පොතකට පවා විරුද්ධ වූ ‘කහ රෙදි’ ඇදගත් අය ලැජ්ජා විය යුතු නොවන්නේ ද?

එසේම සමාජ මාධ්‍යන්හි කියන පරිදි ‘ගවුම හදාගෙන වාඩි වී සිටීමෙන් පමණක්’ ඔබේ දරුවා ආරක්ෂා කර ගත නොහැක. මේ මිනිස් සමාජයේ සිටින සියලුම අසරණ දරුවන් වෙනුවෙන් ඔබේ තනයෙන් කිරි එරිය යුතු වෙලාවයි. ඔබේ හඩ අවදි කරවිය යුතු වෙලාවයි. එසේ නොවුනහොත් හොදම දේ ඔබේ දරුවාගේ දෙපතුළ ලගින් ගෙනත් තබන මෙහොත වන විට ඔබේ දරුවාගේ දෙපතුලේ සිට හිස් මුදුන තෙක්, මිනිස් වෙසින් සිටින මෘගයෙක් විසින් විනාශ කර දමා තිබිය හැක. එයට විරුද්ධව නැගී සිටීමත් සුදු සරම් සහ කහ රෙදි අස්සේ සැගව සිටින මෘගයන් නීතිය ඉදිරියට ගෙන ඒමට සහය වීමත්, ඔවුන්ව සමාජය දිරියේ හෙළිදරව් කිරීමත් ශිෂ්ට දේශයක් ප‍්‍රාර්ථනා කරන සියලු මිනිසුන් සහ ගැහැණුන්ගේ අද දවසේ ප‍්‍රමුඛ වගකීමයි.

ඉෂන්කා ජයසිංහ | Ishanka Jayasinghe