අප්‍රේල් 2 වැනිදා, රම්සි රසීක් තම ෆේස්බුක් වෝලය මත “චින්තන ජිහාදයක්” නොහොත් “මතවාදී අරගලයකට” ඇති අවශ්‍යතාවය ගැන සටහනක් තැබුවේය. ජිහාදය යනු මතභේදකාරී වචනයක් වන අතර විවිධ විද්වතුන්ට අනුව, “ජිහාදය” යනු “අරගලය” වන නමුත්, එය බොහෝ විට සන්නද්ධ යුද්ධය හෝ ත්‍රස්තවාදය ලෙස වැරැදි ලෙස තේරුම් ගැනේ. ඔහුගේ පෝස්ටුවේ දී, රම්සි නිශ්චිතවම කියන්නේ “ජාතිවාදී කල්ලි විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව ගෙන යනු ලබන සූක්ෂම වෛරී ප්‍රචාරණවලට එරෙහිව” “පෑන සහ පරිගණක කීබෝඩය අවිය කර ගනිමින්”, “ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු පවතින සෑම අවකාශයක්ම” යොදා ගනිමින් “ජනතාවට සත්‍ය අවබෝධ කර දීම සඳහා කළ යුතු “මතවාදී” අරගලයක් ගැනය.

මෙම පෝස්ටුවට අමතරව රම්සිගේ පෙර ෆේස්බුක් පෝස්ටු ද කියවා බැලූ කල පැහැදිලිව පෙනෙන්නේ රම්සි යනු දිගු කලක් තිස්සේ ජාතිවාදයට එරෙහිව, ප්‍රජාවන් අතර සමගිය, සමානාත්මතාවය සහ සාධාරණත්වය නගා සිටුවීම සඳහා හඬ නැගූ පුද්ගලයෙක් බවයි.

ඔහු විසින් අප්‍රේල් 01 වැනිදා කොවිඩ්19 නිසා මිය ගිය පුද්ගලයෙකු ආදාහනය සම්බන්ධයෙන් විවේචනාත්මක පෝස්ටුවක් පළ කර ඇත්තේ ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ විසින් කොවිඩ්19 මළ සිරුරු වල දැමීමට අවසර දුන් තත්වයක් යටතේ වුවත්, සංශෝධිත රජයේ රීතින් පිළිබඳ සඳහන් කරමින්, ඔහු කීවේ සෞඛ්‍ය විද්‍යාත්මක හේතු මත වලදැමීම මහජන සෞඛ්‍යයට හානි කර බව නිවැරැදි යැයි ඔප්පු වන්නේ නම් මළ සිරුරු ආදාහනය පිළිබඳ තීරණය මුස්ලිම්වරු විසින් පිළිගත යුතු බවයි.

“චින්තන අරගලය” පිළිබඳ පෝස්ටුව පළ කිරීමෙන් දිනකට පසු, අප්‍රේල් 03 වැනිදා, පළකළ වෙනත් ෆේස්බුක් පෝස්ටුවකින් රම්සි කියා සිටියේ තමන් ස්වයං වාරණයක් පටන් ගන්නා බවත්, මෙයින් අනතුරුව සිංහල බසින් දේශපාලන හෝ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් පෝස්ටු ලිවීම සිදු නොකරන බවත්ය. මෙයට හේතු ලෙස ඔහු දැක් වූයේ තමන්ගේ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළිය නොහැකි බවයි. “මගේ පෝස්ටුවට ලැබුණු ප්‍රතිචාර සහ නානඳුනන පුද්ගලයන්ගෙන් ලැබුණු ඉන්බොක්ස් මැසේජ් දුටු මගේ වැඩිමහල් දුව කම්පනයටත් බියටත් පත් වී සිටී. ඇයට දුන් පොරොන්දුවක් සහ මට ආදරය කරන තව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත තවදුරටත් දේශපාලන හෝ ජාතික ගැටලු සම්බන්ධ කිසිදු පෝස්ටුවක් සිංහල භාෂාවෙන් පලනොකිරීමට තීරණය කළෙමි.” යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය. තවමත් මෙම අවසන් පෝස්ටුව ඔහුගේ ෆේස්බුක් වෝලය මත දැකිය හැකිය.

තවමත් අන්තර්ජාලයේ පෙනෙන්නට තිබෙන, ඔහුට එල්ල කළ මරණ තර්ජන ගැන ඔහු විසින් පොලිසියට පැමිණිල්ලක් කරන ලද අතර, අප දන්නා තරමින් එසේ මරණ තර්ජන සිදු කළ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තවමත් කිසිදු පියවරක් ගෙන නැත.

අත්අඩංගුවට ගැනීම සහ ICCPR පනත

වාර්තා වෙන පරිදි ඔහු විසින් අප්‍රේල් 2 වැනිදා පළ කළ පෙර කී පෝස්ටුව සහ 2019 දී පළකළ වෙනත් පෝස්ටු කිහිපයක් නිසා ඔහු අත්අඩංගුවට පත් වී ඇත. අප්‍රේල් 10 වැනි දින අත්අඩංගුවට පත් ඔහු පළමුව අප්‍රේල් 22 වැනිදා දක්වා ද, අනතුරුව අප්‍රේල් 30 වැනිදා දක්වා ද, නැවතත් මැයි 14 වැනිදා දක්වා ද රිමාන්ඩ් භාරයට පත් කර ඇත. ඔහුගේ නීතිඥයන්ට අනුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් නීති ලෙස දක්වා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය (ICCPR) පනත සහ පරිගණක අපරාධ පනතයි. ICCPR පනතට අනුව පොලිසියට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත හැකි අතර, ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත්වරයකුට ඇත්තේ නැත. පසුගිය වසරේ, ICCPR පනත යටතේ ලේඛකයකු වූ ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී මාස 4ක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් පසු මහාධිකරණයෙන් ඇප නියම කරන ලදී.

ICCPR පනතේ 3(1) වගන්ති යටතේ වැරැදි වන යුද්ධය ප්‍රවර්ධනය කිරීම හෝ සතුරුභාවය, වෙනස්කොට සැලකීම හෝ ප්‍රචණ්ඩත්වය ඇවිස්සෙන ආකාරයේ වෛරී ප්‍රකාශ සිදු කිරීම යන කිසිවක් රම්සි විසින් සිදු කළ එකදු පෝස්ටුවක් හෝ කොමෙන්ටුවක් අපට නම් හමු වූයේ නැත. රම්සි අත්අඩංගුවට ගැනීමේ දී, පොලිසිය විසින් ICCPR පනතේ වෛරී ප්‍රකාශ වරදවල් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සම්පාදනය කළ විස්තරාත්මක නිර්දේශ නොසලකා හැර ඇති බව පෙනේ. එම නිර්දේශ ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් වන අදහස් ප්‍රකාශනය සහ ‘පැතිරවීම’ හා ‘පෙළඹවීම’ සම්බන්ධ අංශ හයකින් යුතු පරීක්ෂණය සහ ආරිය රූබසිංහට එදිරිව සුනිලා අබේසේකර මුලික අයිතිවාසිකම් නඩු තීන්දුවට අනුව නීත්‍යානුකූලභාවය සැපිරීමට තිබිය යුතු නීත්‍යානුකූලභාවය, සමානුපාතභාවය සහ අවශ්‍යතාවය යන තුන්කොන් පරීක්ෂණය ආදී විවිධ කාරණා සලකමින් සකසා ඇත.

රම්සිගේ සෞඛ්‍ය තත්වය සහ රැඳවුම් ස්ථානවල තත්වයන්

රම්සි පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර, ඔහු නියමිත කාලයට කලින්ම විශ්‍රාම ගත්තේ ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්වය නිසාය. ඔහුට දෛනිකව බෙහෙත් ගැනීම අවශ්‍ය වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුට නිලධාරීන් විසින් කියා තිබුනේ එක් දවසකට පමණක් අවශ්‍ය බෙහෙත් රැගෙන එන ලෙසයි. ඔහුට දැන් සති තුනක පමණ කාලයක් තිස්සේ අවශ්‍ය බෙහෙත් නොමැතිව කල් ගත කිරීමට සිදු වී ඇතැයි පවුලේ අය දුක් වෙති.

සෙනග පිරි රැඳවුම් මධ්‍යස්ථානවල භෞතික දුරස්ථභාවයට සහ මූලික සනීපාරක්ෂක පහසුකම්වලට අවම අවස්ථා සහිතව රඳවා තැබීම නිසා රැඳවුම් භාරයේ සිටින අලුත් සහ පරණ රැඳවුම්කරුවන්ට සෞඛ්‍ය අවදානම්වලට ද මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන්නේ කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් වශයෙනි.

සමාජ මාධ්‍යයේ වැරැදි පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ජනමාධ්‍යවේදියකු තමා රිමාන්ඩ් වී ගත කළ සති දෙක ගැන අත්දැකීම් ගැන සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කොළඹ බන්ධනාගාර දැනට සිරකරුවන්ගෙන් පිරී පවතින නිසා තමා සති දෙකක ‘නිරෝධායනය’ සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන් සදහා වූ විශෝදන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි. මෙහිදී වර්ග අඩි16ක් වැනි ඉඩක් තුළ පුද්ගලයන් 8ක් පමණ වන කුටි 10ක පුද්ගලයන් රඳවා සිටි බවත්, එම සියලු දෙනාට තිබුනේ පොදුවේ භාවිතා කළ හැකි වැසිකිළි 2ක් පමණක් බවත්, කොවිඩ්19 සම්බන්ධයෙන් තබාගත යුතු මූලික භෞතික දුරස්ථතතාවය හෝ වෙනත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පහසුකම් නොතිබූ බවත්ය. එසේම රැඳවුම් මධ්‍යස්ථානයේ දරුවන් හා වැඩිහිටි සිරකරුවන් මිශ්‍ර කිරීම නිසා රැඳවුම් මධ්‍යස්ථානය තුළ දරුවන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කළ සිද්ධියක්ද ඒ නිසා වැඩිහිටි සිරකරුවන්ට පහරදුන් අවස්ථාවක් ගැන ද ඔහු සඳහන් කර තිබුණි.

අප්‍රේල් 18 වැනිදා මීගමුවේ පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ (ගම්පහ දිස්ත්‍රික්කයේ) රඳවා සිට නිදහස් වූ තවත් පුද්ගලයෙක් වාර්තා කළේ රම්සි රඳවා සිටින්නේ ද එම රැඳවුම් මධ්‍යස්ථානයේ බව සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රවේශවිය හැකි (කොමඩ් එකක් සහිත) වැසිකිළි පහසුකම් නොමැති වීම සහ සනීපාරක්ෂක නොවන තත්වයන් හේතුවෙන් රම්සි ඉමහත් කරදරවලට මුහුණ පාන බවත් ය. නිදහස් වූ පුද්ගලයා රැඳවුම් පහසුකම්වල සෙනග වැඩිපුර සිටීම, වැසිකිළි අඩුවීම, සහ අවුරුදු 18ට අඩු සිරකරුවන්, වැඩිහිටි සිරකරුවන් සමග එකට සිටීම ගැටළු ලෙස මතු කළේය. එහි සිටි අත්අඩංගුවට ගත් බොහෝ අය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි කළ අයය. රැඳවියකු ජේලර්වරයකු විසින් තදින් පහර දීමට ලක් වෙනු ඔහු දුටු අතර ඔහු ප්‍රකාශ කළේ එවැනි සිදුවීම බහුල බවය. මෙම කාරණා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයට අප්‍රේල් 18 වැනිදා යොමු කරන ලදී.

රම්සි අප්‍රේල් 9 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු සිටින ස්ථානයට පැමිණීමට කතා කිරීමට අවස්ථාවක් පවුලේ අයට ලැබී නැත. ඔහුගේ නීතිඥයන්ට අනුව, මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට නිසි සෞඛ්‍ය රැකවරණ පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ඇතත්, ඔහුට සෞඛ්‍ය රැකවරණ පහසුකම් ලබාදෙන ආකාරය ගැන පවුලේ අය දැනුවත් කර නැති අතර, පවුලේ අය දුක් වන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී තිබෙනු ඇතැයි කියාය. රැඳවුම් කැඳවුරේ සිට අප්‍රේල් 18 දා නිදහස් වූ පුද්ගලයාගෙන් ලැබුණු තොරතුර හැරුණු විට, රම්සි කොහේ නවත්වා ගෙන සිටින්නේ දැයි පවුලේ අයට දැනුම් දී නැත.

ප්‍රකාශනයේ නිදහස හා වෛරී ප්‍රකාශ, නොමග යවන සුළු සහ සාවද්‍ය පුවත් සහ හැඳි දෙකකින් බෙදීම

ත්‍රිකුණාමලයේ රජයේ නිලධාරියකු විවේචනය කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, රජය ගැන විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ නිවසට පොලිසියෙන් පැමිණ ඇත. කාත්තන්කුඩි හි දී රජයේ නිලධාරියකු විවේචනය කිරීම සම්බන්ධයෙන්තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රජයෙන් ලබා දෙන සහනාධාර ඉල්ලමින් විරෝධතාවයක නියැලුනු තවත් විරෝධතාකරුවෙක් එසේම අත්අඩංගුවට ගෙන රඳවා ගෙන තිබේ එසේම රුපියල් 5000 බෙදාදීමේ දී සිදු වූ අසාධාරණකම් ගැන කතා කළ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු දැක ඇත. අප්‍රේල් 17 වන දාතම ලිපියකින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙතට පැමිණිලි කර ඇත්තේ යාපනයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයකුගේ “මතභේදකාරී සහ ජාතිවාදී පෙර අතීතය” ගැන සහ ඔහු විසින් “සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා හමුදාවට අනර්ථකාරී අදහස්” ඉදිරිපත් කිරීම ගැනයි. මඩකලපුවේ ඇතැම් ජනමාධ්‍යවේදීන් චෝදනා කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මානුෂික ආධාර බෙදීමේ දී සිදුවූ අසාධාරණතා ගැන වාර්තා කිරීම නිසා තමන්ට එරෙහිව වෛරී ප්‍රකාශ සහ කමෙන්ටු ෆේස්බුක්හි තිබූ බවය. මඩකලපුව දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ ගැන විවෘත ලිපියක් ජනපතිට යොමු කරමින් ප්‍රාදේශීය රජයේ නිලධාරීන්ගේ සහ නියෝජිතයන්ගේ ක්‍රියා හෙළා දකින ලදී.

මාර්තු 17 වැනිදා මාධ්‍ය වාර්තා කළේ පොලිසිය විසින් සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන 40 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අප්‍රේල් 17 වන විට අඩුම තරමින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට තවත් වාර්තාවක් පළ වී තිබුනි. කෙසේ වුවත්, එම අත්අඩංගුවට ගත් ක්‍රියාදාමය වෙනස් කොට සලකන ආකාරයකින් යුතු අතර, කුඩා බලපෑමක් ඇති රජය ගැන විවේචනය කරන පුද්ගලයන් ඉලක්ක කර අත්අඩංගුවට ගත් බවක් පෙනෙන අතර, රජයට සහාය ලබා දෙන අතිවිශාල බලපෑමක් කළ හැකි මාධ්‍ය ආයතන-රූපවාහිනී නාලිකා සහ පුවත්පත් හා පුද්ගලයන් විසින් නොමග යවන සුළු, සහ අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කිසිදු දඩුවමකට ලක් නොවූ බවක් පෙනේ. උදාහරණ ලෙස :

• රජයට හිමි, රජයෙන් පාලනය වන, “සන්ඩේ ඔබ්සවර්” පුවත්පත විසින් “අප්‍රේල් 19 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ සුළු රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ නොපෙන්වන අය ඇතුළුව සියලු කොවිඩ්19 රෝගීන් හඳුනා ගෙන සම්පූර්ණයෙන්ම සුව කරන බව” සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී .

• තවත් ප්‍රධාන පුවත්පතක් වන, “ලංකාදීප” විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් උපුටා දක්වමින් පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයේ සඳහන් කළේ “කොරෝනා අවදානම ඉවරයි” යනුවෙනි. එය දින දෙකකට පසුව පෙර අසත්‍ය සිරස්තලය තරම් ලොකුවට නොපෙනන ලෙස පළකල සමාව ඉල්ලීමකින් එය නිවැරැදි කරන ලදී.

• “අද දෙරණ” මාධ්‍ය ජාලය කොවිඩ්19 රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අතිශයින් නොමග යවන සුළු ප්‍රස්තාරයක් පළ කරන ලදී .

• අප්‍රේල් මාසය මුල දී, ශ්‍රී ලංකා තේ මණ්ඩලය වාර්තා කළේ ලංකා කළු තේ (සිලොන් බ්ලැක් ටී) ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට උදව් වෙන කොවිඩ්19 වළක්වන බීමක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවයි. එසේ වුවත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කියා සිටියේ කොවිඩ්19 රෝගීන්ට තේ බීමෙන් ගුණයක් ඇති බවක් කිසිදු පර්යේෂණයකින් ඔප්පු වී නැති බවත්, එය කොවිඩ්19 රෝගය නිවාරණය කිරීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස හුවා දැක්විය නොහැකි බවත්ය.

• මාර්තු 21 වැනිදා, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ පොදු ජන පෙරමුණේ එන පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු අපේක්ෂක වෛද්‍ය සීතා අරඹේපොල උපුටා දක්වමින් පළ කර තිබුනේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට කොරෝනා සඳහා ගන්නා රහසිගත ඖෂධවල ඇති තරම් තොග ඇති බවත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් පසු එය භාවිතා කළ හැකි වනු බවත්ය.

• අප්‍රේල් 2වැනි දා, සෞඛ්‍ය අධිකාරීන් විසින් කොවිඩ්19 පරීක්ෂණ සම්බන්ධයෙන් මුස්ලිම් පල්ලියක කැඳවූ රැස්වීමක් මුස්ලිම් ආගමික නායකයන් විසින් ඇඳිරි නීති කාලයේ කැඳවූ රැස්වීමක් ලෙස සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු විය.

• දෙරණ රූපවාහිනී නාලිකාවට අනුබද්ධ චතුර අල්විස් නිවේදකයා විසින් “සිංහල අවුරුදු කන්න නැතිකළේ නාත්තන්ඩිය, අකුරණ, බේරුවල 3 දෙනෙක්” යැයි කියමින් සිංහල සහ දෙමළ අයට අප්‍රේල් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව අහිමි කිරීමට මුස්ලිම් ජනතාව වගකිව යුතු යැයි අදහසක් පළ කළ බවට චෝදනා එල්ල වී ඇත.

• එසේම තවත් රූපවාහිනී සාකච්ඡාවක සජීවීව විකාශනය වූ විවේකකාලයේ දර්ශන අතරතුර මුස්ලිම් ජනයාට එරෙහිව ජාතිවාදී ප්‍රකාශ කිරීමේ චෝදනාවක් ද ‘චතුරට’ එල්ල වී ඇත.

පොලිසිය විසින් මුස්ලිම් ජනයාට විරුද්ධව වෛරී ප්‍රකාශ සහ අසත්‍ය පුවත් පළ වූ අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවන් සම්බන්ධයෙන් අඩුම ගණනේ කැපී පෙනෙන උදාහරණ දෙකක් ඇත. වසරකට පමණ ඉහත 2019 වර්ෂයේ මුස්ලිම් පල්ලියක පැවැත්වූ ආගමික මෙහෙයක වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූයේ 2020 මාර්තු මාසයේ ඇඳිරි නීතිය පවතින විට එය පැවැති බවක් අඟවමිනි. පොලිසිය මෙම වීඩියෝව බෙදා හරි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එම වීඩියෝව මාර්තු 27 වැනි දින හිරු රූපවාහිනියේ ප්‍රවෘත්ති හරහා ද විකාශය වූ නමුත්, එම රූපවාහිනියට සම්බන්ධ කිසිවෙක් අත්අඩංගුවට ගැනීම හෝ වෙනත් පියවරක් ගැනීමක් ගැන වාර්තා වූයේ නැත. පොලිසිය එසේම මුස්ලිම් පුද්ගලයන් සුපිරි වෙළෙඳසැල්වල ආහාරවලට කෙළ ගසන්නේ යැයි ද, සිංහල අය වෙතට ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට කාන්තාවන් එවන බවද, මුස්ලිම් කඩවලින් භාණ්ඩ මිලදී නොගන්නා ලෙස ද කියැවෙන හඬපටයක් සමාජ මාධ්‍ය හරහා බෙදා හැරි පුද්ගලයකු ද අත්අඩංගුවට ගන්නා ලදී . හඬපටියේ කතා කරන පුද්ගලයා කීවේ තමන් බුද්ධිඅංශයේ වැඩකරන බවත්, මෙය බුද්ධි අංශවල රැස්වීමක දී ලබා දුන් තොරතුරක් බවත්ය.

පසුගිය අප්‍රේල් 25 වැනි දින මානව හිමිකම් කොමිසම විසින් වැඩබලන පොලිස්පති වෙත ‘ප්‍රජාතන්ත්‍රවාදයක අදහස් ප්‍රකාශනය සීමා කිරීම: නෛතික සමබරතාවය තබා ගැනීමේ අවශ්‍යතාවය’ නමින් ලිපියක් යොමු කර තිබුනි. මෙම ලිපියේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම යටතේ සිදු කළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුනු අතර, විවේචනය හා අදහස් ප්‍රකාශනයේ නිදහස සහ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් වෙනස්කම් නොවන ආකාරයෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය මතු කර තිබුණි. එම ලිපියට අනුව නඩුවල බී වාර්තාවලට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබුනේ දණ්ඩ නීති සංග්‍රහය (120 වගන්තිය), පරිගණක අපරාධ පනත, පොලිස් ආඥාපනතේ 98 වගන්තිය, නිරෝධායන ආඥාපනත (4 සහ 5 උපවගන්ති), සහ ව්‍යසන කළමණාකරණ පනතේ 24 වැනි වගන්තිය යටතේ ය. නිරෝධායන ආඥාපනත යටතේ, සහ ව්‍යසන කළමණාකරණ පනත යටතේ සාවද්‍ය අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ දී එම ආඥාපනතේ අඩංගු නීති වගන්ති කෙසේ කඩවන්නේ ද යන්න අපැහැදිලි බවත්, නිලධාරීන් රාජකාරි ඉටු කිරීමේ දී එම රාජකාරිවලට බාධා වන්නේ නම් පමණක් එම නීති යොදා ගත හැකි බවත්, රට තුළ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ ව්‍යසන තත්වයක් ප්‍රකාශ නැති බැවින් ව්‍යසන කළමණාකරණ පනතේ 24 වැනි වගන්තිය යොදා ගත නොහැකි බවත් එහි සඳහන් කර තිබුණි.

එසේම එක් බී වාර්තාවක කිසිසේත්ම අත්අඩංගුවට හේතු වූ නෛතික පදනම සඳහන් නොවන බවද සඳහන් කර තිබුණි. අවංක අත්වැරදීම්, යහපත් චේතනාවෙන්, පොදු යහපත සඳහා කරන ලද ප්‍රකාශ සහ සිතාමතා සිදුකරන වැරැදි ප්‍රකාශ වෙන් වෙන්ව හඳුනා ගත යුතු බව ද එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබුණි. එසේම වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කර ප්‍රජාවන් අතර සහ-පැවැත්ම ආරක්ෂා කිරීමේ වුවමනාව හඳුනා ගන්නා අතරම, වෛරී ප්‍රකාශවලට එරෙහිව ICCPR පනත වෙනස්කම් නොවන ආකාරයෙන් භාවිතා කර නොමැති බවද එම ලිපියේ තවදුරටත් මතු කර තිබුණි.

අදහස් ප්‍රකාශනයේ සහ විසම්මුතියේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිය යුතු වන්නේ ඇයි?

2013 වසරේ දී, පිරිසිදු ජලය ඉල්ලා සිදු කළ රතුපස්වල පැවැති උද්ඝෝෂණයට යුද හමුදාව විසින් වෙඩි තබා පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරනු ලැබුනි. දැන් පොලිසිය සිරගත කරන්නේ ආහාර සහ රජයේ සහන ඉක්මනින් සහ, සමාන ලෙස බෙදා හරින ලෙස ඉල්ලා සිටින අය සහ ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් ගැන විවේචනය කර අය ය. පසුගිය වසරේ සම්මාන දිනූ ලේඛකයෙක් මාස 4ක් පමණ සිර ගත වූයේ කෙටි කතාවක් ලිවීම නිසා වන අතර තවමත් ඔහු වසර 10ක් දක්වා සිර දඩුවමකට ලක් විය හැකි චෝදනාවලට ලක්ව සිටී. පසුගිය අප්‍රෙල් 9 වැනිදා රම්සි අත්අඩංගුවට ගැනුනේ අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු, ඔහුට සහ ඔහුගේ පවුලේ අයට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් ස්වයංවාරණයක් ප්‍රකාශ කර සිටිය දීය.

අපේ ව්‍යවස්ථාවේ සඳහන් යාම් ඊම් පිළිබඳ නිදහස, සහ එක්රැස්වීමේ නිදහස ආදී මූලික හිමිකම් සම්බන්ධ සීමාවන් කොවිඩ්19 සන්දර්භය තුළ අවශ්‍ය වේ. ඇතැම් තත්වයන් තුළ දී අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ද ව්‍යවස්ථාව විසින් සීමාවන් සපයන අතර, එවැනි සීමාවන් නීතියෙන් නියම කළ හෝ නීතිය පදනම් කර ගත් සීමා කිරීම් විය යුතු බව තවදුරටත් ව්‍යවස්ථාව සඳහන් කරයි. කොවිඩ්19 ලංකාවේ පැතිරීමට පටන් ගෙන දැන් මාස එකහමාරක් පමණ ගත වී ඇති නමුත්, අයිතිවාසිකම් සීමා කරනු ලබන එවැනි නීති හෝ රටේ හදිසි තත්වයක් ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථාවට අනුව සිදු කර නොමැත.

ඒ වෙනුවට, මෙම මස මුල අප දුටුවේ රජයේ නිලධාරින්ගේ සුළු අඩුපාඩු විවේචනය කරනු ලබන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය විසින් සිදු කළ බලහත්කාරී ප්‍රකාශයකි. මේ ප්‍රකාශයට අනුව විවේචනය කිරීම හා සුළු අඩුපාඩු පෙන්වා දීම යන කරුණු අසත්‍ය පුවත් පළ කිරීම, වෛරී ප්‍රකාශ සිදු කිරීම හෝ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන ඒවාට සමාන කර තිබෙන බවක් පෙනේ.

කොවිඩ්19 සම්බන්ධයෙන් ගත් ඇඳිරි නීතිය පැනවීම, බන්ධනාගාරවල සීමාවන් සහ උසාවිවල සීමා කරන ලද කටයුතු නිසා රැඳවුම් භාරයේ සිටින අයට නීතිමය සහන ලබා ගැනීම දුෂ්කර වී තිබේ. රැඳවුම් භාරයේ සිටින අයට සහ ඒ අයගේ පවුල්වල අයට නීතිඥයන් වෙත ප්‍රවේශය අපහසු වී ඇති අතර, නඩුවල වාර්තා ලබා ගැනීම ද අපහසු වී තිබේ. අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පනත(ICCPR Act) වැනි ඇප ලබා ගැනීමේ දී ඉහළ උසාවියකට යා යුතු අවස්ථාවල දී නීතිඥයකුට පවා ඉහළ උසාවි වෙත ළගා වීම තවදුරටත් දුෂ්කර වී තිබේ.

කොවිඩ්19 වැනි අර්බුදයක දී අදහස් ප්‍රකාශනය සහ විවේචනය යන්න වඩාත්ම අවදානමට ලක්ව සිටින පුද්ගලයන්ගේ හඬ සහ දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමටත්, විශේෂයෙන්ම බඩගින්නේ සිටින අය, වෙනස්කමට, වෛරී ප්‍රකාශවලට සහ තර්ජනවලට ලක්වෙන පුද්ගලයන් සහ ප්‍රජාවන් නොසලකා කටයුතු කිරීමෙන් වළක්වා ගැනීටත් අත්‍යවශ්‍ය වේ. නිලධාරීන් විවේචනය කළ අනෙකුත් අය සහ රම්සි අත්අඩංගුවට ගැනීම අප හෙළා දැකිය යුතු වන්නේ මේ නිසාය. කොවිඩ්19 අර්බුදය සහ එහි ආර්ථික, සමාජ සහ දේශපාලන පැතිකඩ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය එකකි. අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම තුළින්, මෙම අර්බුද සමයේ ජනතා විවේචන නිසා නිලධාරීන් සහ ආයතන ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගවීමට ලක් කරන අතර, බලයේ සිටින පුද්ගලයන්ට ඒ නිසා කොයිතරම් අපහසුතා සිදු වුවත්, ඒ සඳහා පුරවැසියන්ට තමන්ගේ නිදහසෙන්, සෞඛ්‍යයෙන් සහ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු නොවිය යුතුය. රම්සිගේ අත්අඩංගුවට විරුද්ධව අපි සියලු දෙනා හඬ නැගිය යුතු වන්නේ ද ඒ නිසාමය.

*(මෙම ලිපියට අදාල Foot Note සහිතව වැඩිදුර තොරතුරු සහ දත්තයන් සදහා පිවිසීමට මෙයට පිවිසෙන්න)

දමිත් චන්දිමාල් සහ රුකී ප්‍රනාන්දු | Damith Chandimal and Ruki Fernando