iMAGE: via Green Holiday Travels 

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ සිවිල් ඉඩම් පරිපාලනය සඳහා හමුදාව මැදිහත්වීම හා විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටීන්ගෙන් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ඉඩම් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහය  සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරමින් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) අද නිවේදනයක් නිකුත් කොට තිබේ.

විශේෂයෙන්ම තම නිවේදනය හරහා මෙම සිද්ධියේ තත්කාලීන වර්ධනයන් පිලිබඳ සාකච්ඡා කරමින් ඔවුන් දක්වා ඇත්තේ ඕනෑම ප්‍රදේශයක ඉඩම් ගැටලු  සඳහා සංකීර්ණ ඉතිහාසයක් ඇති හෙයින් ඒවා විසදීමට ක්‍රියා කිරීමේදී සංවේදී හා අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවය.

නිවේදනය දක්වන්නේ මෑතදී රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන කිහිපයක්ම අනවසරයෙන් සිදු වූ අල්ලා ගැනීම් සහ විනාශ කිරීම සිදු  කරන බවට චෝදනා කරමින්  ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල ඔස්සේ ගෙන ගිය ප්‍රවෘත්ති සඳහා ප්‍රතිචාරයක් වශයෙන්, ජනාධිපතිවරයා විසින් තත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීම හා පාලනය කිරීම වෙනුවෙන් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට 2020 මැයි 14 වන දින පොතුවිල් මුහුදු මහා විහාරය නැරඹීමට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබෙන අතර එම දූත පිරිසට ආරක්ෂක ලේකම්, යුද හමුදා සහ නාවික හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා ද ඇතුළත් ව තිබෙන බවය. සංචාරයෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගුණරත්න විසින් මුහුදු මහා විහාරය හා ඒ අවට “ආරක්ෂාව පවත්වා ගැනීම”වෙනුවෙන් නාවික උප ඒකකයක් පිහිටුවීමට උපදෙස් දී ඇති අතර, මාධ්‍ය වාර්තා වලට අනුව එම දූත පිරිස දීඝවාපී ප්‍රදේශය සහ නොරොචෝලේ නිවාස යෝජනා ක්‍රමය ද නිරීක්ෂණය සඳහා සංචාරය කර තිබෙන බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL)  දක්වයි.

එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන 1971 දී පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ අක්කර 72 ක භූමියක් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් ගැසට් කිරීමට කටයුතු කළ බවත්, “අන්තවාදී කණ්ඩායම්” විසින් මෙම ඉඩම  “ආක්‍රමණය”කිරීම සහ “පුරාවස්තු විනාශ කිරීම” පිළිබඳ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඉඩම් ඇමතිවරයා මෑතක දී මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 61 ක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කරන ලෙස උපදෙස් දී තිබෙන බව සහ ඉහත සාකච්ඡාවේදී පොතුවිල් මුහුදු මහා විහාරයේ ප්‍රධාන නාහිමියන් වන පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමියන් නැවත ඉඩම්  අක්කර 72 ම අත්පත් කරගත යුතු බවට අවධාරණය කිරීමේ  මාධ්‍ය වාර්තා එම නිවේදන මඟින් උපුටා දක්වා තිබුණි.

කෙසේ වෙතත් පවතින ඉඩම් ගැටලුවේ සංකීර්ණත්වය පිළිබඳ අවධාරණය කරමින් එම සංවිධානය කියා සිටින්නේ 1961 වන තෙක් අම්පාර දිස්ත්‍රික්කය මඩකලපුව දිස්ත්‍රික්කයේ කොටසක් වූ අතර ඉන් පසුව එහි අනන්‍යතාවය දිගමඩුල්ලේ ශිෂ්ටාචාරමය වැදගත්කම සමඟ සම්බන්ධ වී තිබුණු බවය.ඒ අනුව සියවස් ගණනාවක් පුරා මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙමළ සහ මුස්ලිම්වරුන් පිළිබඳව  කිසිදු සඳහනක් නැති බවත්, අම්පාරේ ඉඩම් ජනපදකරණය සහ ඉඩම්වලින් ඉවත් කිරීම පිළිබඳ නිදහසින් පසු දීර්ඝ හා කටුක ඉතිහාසයක් ඇති අතර එය ගල් ඔය වාරිමාර්ග යෝජනා ක්‍රමය, 1956 කෝලාහල, යුද්ධය හා පශ්චාත් යුධ වර්ධනයන් සහ සුනාමිය සමඟ සම්බන්ධ වී තිබෙන බවත් ; මෙම සියලු සිදුවීම්  මඟින් ජනගහන සංඛ්‍යාලේඛනවල සැලකිය යුතු වෙනස්කම් ඇතිකර තිබෙන බවත්, වර්තමානයේ දී මුස්ලිම් සහ දෙමළ ජනගහනය වෙරළ තීරයේ කේන්ද්‍රගතව වාසය කරන අතර සිංහල ජනගහනය වැඩි වශයෙන් ගොඩබිම දෙසට කේන්ද්‍රගත වී තිබෙන බවත් ඒ අනුව  පරිපාලන ආයතනික ව්‍යුහයන්ගේ සංයුතිය අතිශයින් ජනවාර්ගික වී තිබෙන බවත් දක්වයි. විශේෂයෙන්ම දේශපාලන අනුග්‍රහය සම්පත් වෙන් කිරීම කෙරෙහි බලපාන අතර එමඟින් එය ද ජනවාර්ගික වී තිබෙන බව ඒ හි දක්වා තිබේ. මෙම තත්වය හමුවේ ප්‍රදේශයේ ප්‍රජාවන් අතර ගැඹුරු අවිශ්වාසයක් අඛණ්ඩව ඇති වී තිබෙන අතර දීඝවාපී ‘පූජා භූමිය’, පොතුවිල් ඉඩම් සහ පුරාවිද්‍යාව පදනම් කරගෙන ඉඩම්වලින් ඉවත් කිරීම, සහ නොරොච්චෝලේ සුනාමි නිවාස යනාදිය සඳහා වෙනස් කොට සැලකීම, බලය යෙදවීම සහ ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිළිබඳව වූ අම්පාර ප්‍රදේශයේ ඉඩම් ආරවුල් පැමිණිලි සඳහා පැහැදිලි උදාහරණ බව අවධාරණය කරයි. පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස පොතුවිල් මුහුදු මහා විහාරය අවට ප්‍රදේශය හා සම්බන්ධ මායිම්වල පැහැදිලි බවක්, මහජන සන්නිවේදනයක් නොමැති අතර, ඉඩම්වලින් ඉවත්කිරීම පිළිබඳ දුක්ගැනවිලි වලින් එය  පිරී තිබෙන බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) කියා සිටියි.

ඒ අනුව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) මේ සම්බන්ධයෙන් වන තම නිරීක්ෂණ පහත පරිදි ඉදිරිපත් කොට තිබේ.

රජය විසින් ඉඩම් අත්පත් කර ගැනීමට හෝ ඉඩම්වල පදිංචිවීමට පෙර ප්‍රදේශයේ හමුදා කඳවුරු පිහිටුවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුකිරීම පිළිබඳව තම අවධානය යොමු වී තිබෙන බව පවසන ඔවුන්, මෙය විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන බව ප්‍රකාශ කොට තිබේ. පුරා විද්‍යා, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නමින්  කරන අපැහැදිලි හා සුළු සාධාරණීකරණයකින් යුත් ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රවණතාව පිළිබඳව දිගින් දිගටම තමන් විසින්  ලේඛනගත කොට තිබෙන බවත් මෙම අත්තනෝමතික ඉඩම් අත්පත් කර ගැනීම් ස්ථාපිත ප්‍රජාවන් පලවා හැරීමට හේතු වී ඇති අතර ජනවාර්ගික සුළුතරයන් කෙරෙහි අසමාන ලෙස බලපාන ඉඩම් ආරවුල් ඇති කර තිබෙන බවත් දක්වා තිබේ. ජනවාර්ගීකරණය වූ සහයෝගීතාවයේ දේශපාලන අදාළත්වය සහ මැතිවරණ වර්ෂයක් තුළ ‘බුද්ධාගම ආරක්ෂා කරන්නාගේ’ ප්‍රතිරූපයක් යෙදවීම ද මෙහිදී  කැපී පෙනෙන බව නිරීක්ෂණය කොට තිබේ. ඉහත ක්‍රියාවලින් හමුවේ ප්‍රදේශයේ සියලු ජනතාව අතර පවතින කටුක තත්වයන් තවදුරටත් උත්සන්න කිරීමේ හැකියාවක් පවතින අතර ජනවාර්ගිකත්වය කුමක් වුව ද පදිංචිකරුවන්ගේ පුද්ගලික ආරක්ෂාව හා ජීවිත කෙරෙහි ඇති තර්ජනය ද , අනාරක්ෂිතබව, අවිශ්වාසය සහ ආතතීන් මේ හේතුවෙන් තවදුරටත් ඉහළ නංවන බව  ද ඔවුන්ගේ අදහසයි. ඒ අනුව මෙම කාරණා සැලකිල්ලට ගනිමින්; ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) විසින්

  1. සිවිල්  පරිපාලන ගැටලුවක් සඳහා මිලිටරි මැදිහත්වීම මෙම ගැටලුව වඩාත් සංකීර්ණ කරවන හා ජනතාව ධ්‍රැවීකරණය කරවන හෙයින්  මේ සම්බන්ධයෙන් වූ ඕනෑම ගැටලුවක් නීතිය  හා සාමය පිළිබඳ වන පොලීසියට අයත් විෂය පථයට අන්තර්ගත හෙයින්, පොතුවිල් ප්‍රදේශයේ නාවික ඒකකයක් පිහිටුවීම කිසිදු ප්‍රමාදයකින් තොරව ඉල්ලා අස්කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
  2. පවතින සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම, බලපෑමට ලක්වූ පාර්ශවයන්ගෙන් විමසීම් සහ දැනුවත් කිරීම සහ  සාධාරණ විසඳුම් ලබා ගැනීම සහතික කිරීම වෙනුවෙන් නිසි සිවිල් නායකත්වයෙන් යුත් ක්‍රියාවලියක් මඟින් පරිපාලනය කරන තෙක් පොතුවිල් මුහුදු මහා විහාරය අවට ගැසට් ඉඩම් අත්පත් කර ගැනීම නැවත කැඳවන ලෙස  ඉඩම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
  3. පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ඉඩම් නම් කිරීම සහ අත්පත් කර ගැනීම තුළ අඳාළ නීතිවල අන්තර්ගතය හා සාරය අනුව පවතින නීති හා ක්‍රියා පටිපාටි පරිපාලනය කරනු ඇති බවත්, එය විනිවිද පෙනෙන ආකාරයට සිදුවන බවත් පැහැදිලි සාධාරණීකරණය මත පදනම්ව බලපෑමට ලක්වූ පුද්ගලයින් සහ ප්‍රජාවන් ක්‍රියාවලිය පුරාම සම්බන්ධකරගන්නා බව සහතික කරන ලෙසත්  ඉඩම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
  4. නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මඟින්  ස්ථාපිත නීතියට අනුව විනිවිදභාවය සහ ආරක්ෂාව සහතික කෙරෙන හෙයින් පුරා විද්‍යා සංරක්ෂණය සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා ඉඩම් නම් කිරීම හා අත්පත් කර ගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාදාමයක් සකස් කරන ලෙසත්, ඉඩම් අමාත්‍යවරයා ඇතුලු  අනෙකුත් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීයි.
  5. සියලු කරුණු තහවුරු කර සත්‍යාපනය වන තුරු ප්‍රකෝපකාරී වචන (‘අනවසරයෙන් අල්ලා ගැනීම’, ‘විනාශකාරී ක්‍රියා’ සහ ‘අන්තවාදීන්)භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, මේ සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් සහ විශේෂයෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.  මාධ්‍ය ආචාර ධර්මවලට ගරු කරමින් කරුණු වගකීමෙන් යුතුව ඉදිරිපත් කළ යුතු අතර දැනටමත් ධ්‍රැවීකරණය වී ඇති පරිසරයක් තුළ අගතියට පත්කිරීමක් සිදු නොවිය යුතු බව තහවුරු කරයි.  

අවසාන වශයෙන් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) තම නිවේදනය හරහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් සියලුම දේශපාලන පක්ෂ හා සමාජ ව්‍යාපාරවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සැබෑ බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා  සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මිලිටරීකෘත ප්‍රවේශයක් සඳහා වූ ස්ථානයක් තමන්ගේ දැක්ම තුළ නොමැති බවත් අවධාරණය කොට තිබේ .

සම්පුර්ණ නිවේදනය ( සිංහල, දෙමළ, ඉංග්‍රීසි )  බා ගත කිරීමට පිවිසෙන්න