iMAGE: Vimukthi De Silva 

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය මේ වන විට ලෝක වසංගතයක් බවට පරිවර්තනය වීම හේතුවෙන් ලොව පුරා සංචරණ ක්‍රියාවලිය අක්‍රමවත් වී තිබේ . එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත ගොඩ නැගුණු ආර්ථික මොඩලය මේ වන විට පවතින්නේ විශාල අර්බුදයක ය. ශ්‍රී ලංකාව තුළත්  කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ පසුගිය මාර්තු 20 වනදා සිට පනවන ලද  ඇඳිරි නීති  තත්වය හේතුවෙන් ආහාර පරිවහන කාර්යයන් අඩපණ විය. ආහාර නිෂ්පාදනයේ යෙදෙන ගොවින් ,ධීවරයන් හා සත්ව පාලනයේ යෙදෙන්නෙන් ඔවුන්ගේ නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමේ යන්ත්‍රණයන් සම්පුර්ණයෙන්ම බිද වැටීම හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටිති .නාගරික හා අර්ධ  නාගරික පාරිභෝගිකයන්ට  ඔවුන්ට අවශ්‍ය ආහාර  සපයා ගැනීම නොහැකි තත්වයක් උදගත  වී තිබුණි .

විශේෂයෙන්ම අපගේ පරිභෝජන රටාව  ගොඩ නැගී ඇත්තේ ආනයන ද්‍රව්‍ය මත වීම මෙහි පවතින තවත් ප්‍රබල  ගැටලුවකි. අත්‍යවශ්‍ය  ආහාර වන හාල් ,කිරි පිටි ,පරිප්පු ,පාන් පිටි ,අල, ,ළුණු , ඇපල් ,මිදී ,දොඩම් දක්වාම අපගේ ආහාර රදා පවතින්නේ  ආනයන මතය. (රුපියල් මිලියන 900 පමණ අපගේ ආනයන සදහා වැයවේ.). පවතින තත්වය හමුවේ දැනට පවතින සංචිතයන් කොපමණ කාලයකට ප්‍රමාණවත් දැයි අපි නොදනිමු .රජය මේ සදහා නිවැරදි යාන්ත්‍රණයක් ඇති කිරීමට තවමත් උත්සාහ කර නැත. තවදුරටත් එසේ වුවහොත් කොරෝනා වසංගතයට වඩා  සාගින්න  ප්‍රබල ගැටලුවක් වීම නැවැත්විය නොහැකිය.

කෙසේ නමුත් කොරෝන සමඟ ආහාර පිලිබඳ භීතිකාවක් වර්ධනය වූ බවනම් සැබෑය .එය භීතියක් ලෙස අර්ථ දැක්වීමට බොහෝ දෙනා අකමැති වනු ඇත. නමුත් මා දකින ලෙසට නම් අප කිසියම් දෙයකට පෙළඹෙන්නේ  එහි අනාරක්ෂිත බව පැහැදිලි වූ විගසය .බොහෝ දෙනා දැන් මැතිනි  කාලේ  වගේ තමා ඉන්න වෙන්නේ යැයි කියා තිබුණි.ඉතින් අපි බැල්කනියේ සිට සෑම බිම් අගලකම වවන්නට උනන්දු වෙමින් ඇඳිරි නීතිය ඉවත් වූ වහාම කෘෂි ද්‍රව්‍ය වෙළඳ සැල්  වල පෝලිමට එකතු විය. අපි මැලේසියාවෙන්,තායිලන්තයෙන් ගෙන්නවන ලද බීජ (ලංකාවේ එළවලු බිජ අවශ්‍යතාවයෙන් ලංකාව තුළ  නිෂ්පාදනය වන්නේ 20% වැනි ප්‍රමාණයක් ය. )  කොම්පෝස්ට් පොහොර,ප්ලාස්ටික් බදුන් හරි හරියට ගෙදර ගෙන ගියෙමු.මේ  උද්යෝගයත්  සමඟම රජය ගෙවතු  වගා දසලක්ෂයක් සඳහා වන “සොභාග්‍යා  ගෙවත්ත  “ වැඩසටහන ආරම්භ විය. ඒ සදහා  ඔන්ලයින් ලියාපදිංචි  වී බිජ නිවසට ගෙන්වා  ගත හැකිය .එමෙන්ම ග්‍රාම සේවක මහතා හරහා එක වසමකට තෝරාගත් පවුල් 30ත් 50 අතර පිරිසකට එය ලබා ගත හැකිය .ගෙවත්ත පිළිබඳව කිසිම ගැටලුවක් නැත.වස විසෙන් තොරව ආහාර වේලක් ලබා ගැනීම සැමගේ අයිතියකි. අනෙක් අතට වගාව යනු මිනිසාගේ ජානගත ලක්ෂණයකි. දැන් ගැටලුව ආසාවට හෝ හිතේ  බයට  සදළු තල වලද ගෙදර මිදුලේද  කළ ගෙවතු වගාව කවදා වෙනතුරු  නඩත්තු කිරීමට හැකිද  යන්නයි.මෙය අවසන් වූ පසු නැවත අපි අපගේ සුපුරුදු රේස් එක දිවීමට නියමිත වී ඇත.

නමුත් අර්බුදය නම් රාජ්‍ය මුදල් වෙන් කර ගොඩ නැගු ගෙවතු කොපමණ තිබේද යන්නය.2007 දී  “අපි වවමු -රට නගමු “යටතේ  ගෙවතු ලක්ෂ 40 ක් ද, 2010 දී  ගෙවතු දස ලක්ෂයක් ද ,2015 දී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන  යටතේ ” සිතමු”  කාන්තා සමිති 25000 ක්  තුළ ද ගෙවතු වගා ආරම්භ කළේය .එපමණක් ද නොව සමෘද්ධිය ,දිවි නැගුම ,ගැමි දිරිය වැනි  සහනාධාර වැඩසටහනක් තුළ ද   ගෙවතු වගා කළේය.නමුත් සෑම රජයක්ම ඉතා විශාල මුදලක් යොදවා නැවත නැවත එකම බොරුව කරමින් තිබෙන බව අපි අමතක කරමින් සිටින ඇත්තය .මන්ද යත් ලංකාව තුළ කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙතෙක් මෙම උද්යෝගය හෝ  මෙම   ක්‍රියාවලිය ඵලදායි දායකත්වය ලබා දී නැති හෙයිනි.

රජය නිරතුරුව  ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තීන් ගොඩ නගන්නේ  ආයෝජකයන්  හරහා  කෘෂි කර්මාන්තය ගොඩ නැගීම සඳහා පමණි . මේ මොහොතේද ඔවුහු එම අවස්ථාව ඉතා හොදින්ම ප්‍රයෝජනට ගනිමින් සිටියි. විශේෂයෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වන අවස්ථාව වාසිය මේ ඔස්සේ සලසා ගනිමින් සිටියි. ඉතා විශාල විරෝධයක් මතුවූ කටුපොල් වගාව සඳහා තවදුරටත් කටුපොල් වගා කරුවන්ගේ ඉල්ලීම මත ඉඩම් නිදහස් කිරීමට උත්සාහ කරමින් සිටියි. තවද ලංකාව  තුළ  අපනයනය මුලික කරගනිමින් කරන වාණිජ කෘෂි කර්මාන්තය ගොඩ නැගීම මේ මොහොතේ පවා ඔවුන් අතහැර නැත. ඇත්ත වශයෙන්ම කිව හොත් ඔවුන් දිගින් දිගටම සිදු කරමින් සිටින්නේ දේශීය හා විදේශීය විශාල සමාගම් හා ආයෝජකයන් ට ගැලපෙන ලෙස නීති සහ අණ  පනත් වෙනස් කිරීමය.

මේ මොහෙතේ ආහාර අත්‍යවශ්‍යතාවය හුවා  දක්වමින් මිලිටරිය භාවිතා  කරමින් කෘෂිකර්මාන්තය ගොවියාගෙන් ඉවත් කිරිමට දරන ප්‍රයත්නයක් ද ඒ අතර දක්නට ලැබේ. ගොවින් ගේ නිෂ්පාදන මිල දී ගැනීමට කිසිත් නොකරන ඔවුන් හමුදා සෙබළුන් යොදාගෙන වගා  කටයුතු කිරීමට පිඹුරු පත් සකස් කරමින් සිටියි. කාරණය ඉතා පැහැදිලිය; එනම් ව්‍යසනය  නිරන්තරෙන්ම පාලක පන්තිය ඔවුන්ගේ වාසිය සඳහා යොදවාගෙන ඇත.

කෙසේ වෙතත්  ලෝක සුළු ගොවි ව්‍යාපාරය වන ලා වියා කැම්පසිනා සහ ලංකාවේ ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියා සිටින්නේ කොරෝනා හමුවේ රාජ්‍යයන් තුළ  කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පවතින අර්බුදය ඉතාම පැහැදිලි බව බවය .තවදුරටත් ලෝක වෙළඳ සංවිධානය ,අන්තර් ජාතික ආයතන ,බහු පාර්ශවික හා ද්විපාර්ශවික  වෙළද ගිවිසුම් මත ආහාර පාලනය කල නොහැකි බවය. එසේම  වසංගතයට එහා ගොස සාගින්න හේතුවෙන් ජිවිත බිලි ගැනීමේ අවධානමක් ඇති බවය.

තවමත් ලෝක ආහාර නිෂ්පාදනයෙන්  70% පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් සිටින්නේ සුළු පරිණාම ආහාර නිෂ්පාදකයන් ය.එහෙයින් සුළු පරිමාණ ගොවියා , ධීවරයා ඇතුළු ආහාර  නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් ,පිරිමින් ඇතුළු සියල්ලන්ගේ අයිතිවාසිකම් තහවුරු  වන ක්‍රියාවලියක් ගොඩ නැගිය යුතුය.වෙළදාම  මත පවතින ආහාර  සුරක්ෂිත භාවයට එහා ගිය  ආහාර නිෂ්පාදකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ අයිතීන් තහවුරු කරමින්, ආහාර  ස්වෛරීභාවය ගොඩනැගීම කළ යුතුය.

ගෙවතු වගා වලට මේ මොහොතේ දැක්වූ උනන්දුව ඉතා අගනේය. නමුත් එය පවතින කෘෂිකාර්මික අර්බුදයට  විසඳුමක් නොවේ. අපට අවශ්‍ය වන්නේ දීර්ඝ කාලීන  ශක්තිමත් පිළිතුරුය .විශේෂයෙන්ම  හරිත විප්ලවයෙන් පසු ආරම්භ වුණු  ලංකාවේ ගොවි ජනපද වල ගොවින් ඇතුලු  සියලු ගොවින්  මේ මොහොතේ ඉල්ලමින් සිටින්නේ පොහොරය. පොහොර නොමැතිව ගොවිතැන් කිරීමට නොහැකි බව ඔවුන්ගේ මතය. ගොවින්ට  තමන්ගේ බීජ සකසා ගැනීමේ ක්‍රමවේදයක් ද නැත. ඔවුන් බීජ මිලදී ගන්න සමාගම් වල බීජ සම්පුර්ණයෙන්ම රසායනික පොහොර , කෘමි නාශක හා වල්  නාශක මත යැපෙන ඒවාය. මේ බිජ නිෂ්පාදනය වන්නෙම එම යාන්ත්‍රික ක්‍රමවේද වලට ගැලපෙන ලෙසය .මේ හේතුවෙන් ගොවීන්ට අවශ්‍ය දේශීය බීජ වර්ග  නිෂ්පාදනය කිරීමට ගොවින් ව මෙහෙයවීම සහ ඊට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තීන් ශක්තිමත් කිරීම අතවශ්‍යම දෙයකි.

එසේම  බොහෝ ගොවින් ඔවුන්ගේ වගාවන්  ලෙස තෝරාගත් බෝග කිහිපයකට පමණක්  යොමුවී   සිටිමද මෙහි ඇති ගැටලුවකි .ඔවුන්ගේ වගාවන් තීන්දු කරන්නේ තොග වෙළෙන්දන් විසිනි. ඒ නිසා  තමන්ගේ ඉඩම තුළ ගොවින් සිදු කරන ඒක බෝග  වගාව  එහෙමත් නැත්නම් වාණිජ බෝග වගාවන් වලින් බහු බෝග වගාවන්ට ගොවීන්ගේ ගොවිබිම් වෙනස් කිරීමේ අනිවාර්යතාවයක් මතුවේ. එසේ නොවුණ හොත් වට්ටක්කා  ගොවින්,ළුණු ගොවින් ,කෙසෙල් ගොවින් වෙන් කර ගෙන  අස්වැන්න ලැබෙන කාලයට මිල පහල බැසීම් නිසා වෙන අර්බුදය වලක්වන්නට නොහැකි වීම සිදුවේ. මේ මොහොත එය තේරුම්ගො ගැනීමට වඩා හොඳ වාතාවරනයක් සපයා දී තිබේ. ගොවින්ට  පවා  පවා තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වුවහොත්  සාගින්නේ සිටීමට සිදුවීම වැළක්විය නොහැක්කකි.

එහෙයින් මෙම ත්ත්වයන් වළක්වා ගැනීමට ලිපිය හරහා අපි යෝජනා කීපයක් ගෙන එමු.  වෙළඳ පොළ ක්‍රමයට එහා ගිය  තමාගේ ස්වයං  පෝෂණය හා අතිරික්තය සඳහා වන වෙළඳ පොලක් ගොඩ නැගිය යුතු බව එයින් එකකි.මේ සඳහා හොදම ක්‍රමය  නම්   සුළු ගොවින් ,ධීවරයන් සහ කිරි ගොවින්  ඒකාබද්ධ වන ලෙස ගොඩ නැගුණු  ගොවි -පාරිභෝගික සමුපකාර ගොඩනැගීමය .මෙහිදී නිෂ්පාදනයේ  සිට පාරිභෝගිකයාගේ  මේසය දක්වා වන ආහාර පරිවහන  දාමය කෙටි විය යුතුය. ප්‍රාදේශීයව ගොඩනගන ලද සමුපකාර ක්‍රමයක් අවශ්‍ය වන්නේ එහෙයිනි.

ගොවින් විසින්  මිල තීන්දු කරන ලද ,ඔවුන් විසින් සකසන ලද පෝෂණීය හා ගුණාත්මක ආහාර වේලක් පාරිභෝගිකයා අතට පත් කරනන්නට අපට හැකි විය යුතුය.   පරම්පරික දැනුම සේම නවීන තාක්ෂණික භාවිතයන් සමාජගත කිරීමත් මෙහිදී අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්  ග්‍රාමීය කාන්තාවට මේ දනුම නිරායාසයෙන්ම ලැබී තිබේ. . බීජ  සංරක්ෂණය ,නැවත බිජ සකස් කර ගැනීම ,ආහාර කල් තබා ගැනීම හා සැකසීම යන බොහෝ දේ සිදු වන්නේ කාන්තාවන් අතිනි. නමුත් ගැටලුව නම් ඔවුන්ගේ ශ්‍රමය ඉතාම ලාභදායි  ලෙස වෙළඳ කලාප වලට විකිණි තිබීමය. මේ වන විට බහු ජාතික සමාගම් විසින් හඳුන්වා දී ඇති  ක්ෂණික ආහාර රටාවකට හුරු වීම හේතු කොට ගෙන ආහාර වල  ගුණාත්මක වටිනාමක නොසලකා  හැර පෙනුමෙන් ආහාර ලෙස පෙනෙන  ඒවා ගිල දැමීමට අපි සියල්ලෝම පෙළඹී තිබේ.නමුත් නැවත වතාවක් අපගේ දේශගුණික තත්වයන්ට හා ශරීරයේ අවශ්‍යතාවයන්ට අනුව සැකසී තිබු ආහාර රටාවන් ශක්තිමත්  කිරීම අවශ්‍ය වෙමින් තිබේ. ඒ සඳහා උචිතම කාලය මෙය බව මගේ හැඟීමය.

වස විසෙන් තොර;  ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් ඊට අනුකුල වූ ගොවි තැන්  ක්‍රමයක් අපට අවශ්‍ය වන්නේ එහෙයිනි.ගොවින් මේ ක්‍රියාවලිය සඳහා එකතු කර ගැනීමට  රජය සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සම්පුර්ණයෙන්ම මැදිහත් විය යුතුයි. නමුත් කනගාටුවට කරුණ නම්  ඔවුන් එවැනි ව්‍යාපෘතීන් නිරන්තුරුවම සිදු කරන්නේ සංදර්ශන ස්වරූපයෙන් පමණක් වීමය.  මේ නිසා ගොවින් ,ධීවරයන් ඇතුලු සුළු පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින්,  පෝෂණීය හා ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට පාරිබෝගිකයන්ට පවතින අයිතිය තහවුරු වන ,ආහාර නිෂ්පාදකයින්  හා ගොවින් අතර පවතින දුරස්ථභාවය අවම වන ලෙස සැකසුනු සමුපකාර  වෙළඳ ක්‍රමයක් ඇති කරමින් ,ලාභය මුලික වූ ක්ෂණික ආහාර රටාවෙන් මිදුණු විවිධත්වයෙන් පිරුණු ආහාර රටාවක් ගොඩනැගීමට අවශ්‍ය වේ.

කොරෝනා හමුවේ ඇති වූ ගෙවතු වගා උනන්දුව ලංකාවේ කෘෂිකාර්මික පැවැත්ම වෙනස් කරමින් වස විසෙන් තොරව මහා පොලොව සුවපත් කරමින් ඉදිරියට යන ගමන් මගක් බවට පත් කිරීමට නම් ආහාර දෙන්නා මෙන්ම ලබන්නා ද මේ මොහොතේ  බලපෑම්  සිදු කිරීම  අවශ්‍ය වේ.

විමුක්ති ද සිල්වා | Vimukthi De Silva (ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය -MONLAR)