iMAGE: via JLR/AP

1983 වසරේ ජූලි මස ඇති වූ සංහාරයෙන් රට දෙදරා යන විට මම ලන්ඩනයේ ආචාර්ය උපාධි සිසුවෙක් වීමි. දෙවියන් වහන්සේට ස්තුති වන්නට අප ජීවත් වූ ප්‍රදේශයේ එකම දමිල ජාතික නිවස වූ අපගේ නිවහන මැතිවරණ ලේඛනයෙන් මෙන්ම කඩු අමෝරාගත් බේබදු මැර පිරිසකගෙන් බේරී තිබුනේ මාගේ මවගේ හා සහෝදරියගේ නිර්භීතබව හා දුර දක්නා නුවණ පමණක් නිසාවෙනි. දැන් එම සංහාරයට වසර 37 කට පසු හා දශක තුනක් පුරාවට පැවති ලේ වැකුණු යුද්ධයකින් පසු එම හිංසාකාරී ක්‍රියාදාමය මෙහෙයවූ ප්‍රධාන චරිතවල අරමුණු හා අභිලාෂයන් ඉටු කරගෙන ඇත්ද හෝ ඒවා අතහැරදමා ඇත්ද හෝ වඩා ප්‍රඥාගෝචර, කළහැකි හා අත් කරගත හැකි යමකට වෙනස් වී ඇත්ද යන්න අප ඇසිය යුතුය.

එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජයට පත්වී ඇති අතර සමහරුන්ගේ බලාපොරත්තු හා තවත් සමහරුන්ගේ සිත් වල ඇති සැකය කෙසේ වෙතත් කොළඹ පවතින රජයේ හා ඩයස්පෝරාවේ උදව් ඇතිව නිර්දයභාවය හා අන්තවාදය පෝෂණය කර එහි නැවත ආගමනය වේගවත් කරනු නම් මිස නැවතත් එහි නැගිටීමක් ඇති වේ යයි සිතිය නොහැක. දමිල ජාතිකවාදය යනු පසුගිය කාල වල හා අදටත් බහුතර ප්‍රජාවගේ අතිරික්තයන්ට හා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් අන් සැමට වඩා උසස් යයි තහවුරු කිරීමට ගත් උත්සාහයන්ට වූ ප්‍රතික්‍රියාවකි. කිසිම අවස්තාවක දමිල ප්‍රජාවගෙන් බහුතරයක් වෙන්වීමට පක්ෂව සිටි බව මම විශ්වාස නොකරමි. ෆෙඩරල්වාදය යනු ඔවුන් ගිය හා යනු ඇති උපරිමයයි. එල්ටීටීඊය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් අවශ්‍ය වූ විට ශ්‍රී ලාංකික රාජ්‍යයට එරෙහිව නැගී සිටීමට භාවිතා කල ආරක්ෂකයන් ලෙස සලකනු ලැබූ විනා කිසිවිටකත් ඔවුන් තම පාලකයන් ලෙස පත් කර ගැනීමට දමිල ජනතාවට කැමැත්තක් නොතිබුණි. එබැවින් මහලු අයට උරුම වූ සහ තරුණයන් මිය ගිය යුද්ධයක අවසානයේ දේශපාලන විසදුම යනු අදටත් පවතින කතිකාවකි. එය වෙන කවරදාටත් වඩා ව්‍යාකූලව පවතී. අතීතයේ සිරිල් මැතිව් වෙනුවට අද පුජ්‍ය ඥානසාර හිමියන් හා ජේ.ආර් ජයවර්ධන වෙනුවට අද ගෝටාභය පත් වී ඇත. ඔවුන් දෙදෙනාටම විවීධත්වය තුලින් වූ එකමුතුව යන සංකල්පය මත ගොඩනැගු ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වාසයක් නැත. නමුත් ශ්‍රී ලංකාව මින් පෙරත්, අදටත් බහු වාර්ගික හා ආගමික වන අතර මෙය ඉතා අගය කොට සැමරිය යුතු පමණක් නොව අපගේ දේශපාලන ව්‍යුහයද ඒ මත ගොඩනැගීය යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් ගත් කල, 1983 ජුලි ම්ලේච්ඡත්වය හා යුද්ධයෙන් වසර 37 කට පසුව අප තව තවත් බහුතරය හා සුළුතරයේ බෙදීම තුලින් අවිකල්පයෙන් හට ගන්නා බහුතරවාදි හා ඒකාධිපතිවාදී ආණ්ඩු ක්‍රමයකට ලං වෙමින් සිටින්නෙමු. ඒ හේතුවෙන් අද ජනවාර්ගික සමගිය හා සාමය, ප්‍රජාතන්ත්‍රවාදී රජය සහ පාලනය ඇති කිරීමට ගෙන ආ ව්‍යවස්ථා සංශෝධන දෙකක් අවදානමට ලක්ව ඇත.

දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම් වලදී, එයට වඩා හොඳ හා වඩාත් අර්ථවත් ලෙස බලය බෙදීමක් සදහා යෝජනාවක් නැත. සත්‍ය වශයෙන්ම දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ඉඩම් හා පොලිස් බලතල සම්බන්දයෙන් මුළුමනින්ම ක්‍රියාත්මක කලද අනෙකුත් බලතල ඇත්තේ මධ්‍යම රජයට පක්ෂවයි. එපමණක් නොව, 2013 දී තේරී පත් වූ උතුරු පළාත් සභාව, ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද අරමුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත මධ්‍යම රජයට යැවීම හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදීමක් ඇති කිරීමට ක්‍රියා කර නැත. සමහර විට පැවති සියළුම රජයන් විසින් නැවත නැවතත් දුන් පොරොන්දු වල කූටප්‍රාප්තිය ලෙස රාජපක්ෂ රජය විසින් ලබා දුන් දහතුන්වන ව්‍යවස්ථා සංශෝධන ප්ලස් පොරොන්දුව ඊට එහා ගිය දේශපාලන විසදුමක් ලබා දීමට සහතික වූ හෙයින් දමිල දේශපාලන නියෝජනය දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වීම කර ඇත්තේ ක්‍රියාත්මක කළත් එය ප්‍රමාණවත් නොවන බව පෙන්වීමට පමණි. මෙහි දී අවශ්‍ය වන්නේ බාහිර බලයක් විසින් උපද්දවන ලද සංශෝදනයක් නොවේ. මෙහි අවශ්‍ය වන්නේ එය කල් පවතින, ස්වාධීන හා අර්ථවත් කිරීමට එය ක්‍රියාත්මක කළ යුතු අයගේ ඇති ස්ථිර විශ්වාසයයි.

බලය බෙදීම නැගී සිටින්නේ හෝ පැවතෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය තුල එහි ගුණාංග හා අවශ්‍යතාව කෙරෙහි ඇති ස්ථිර විශ්වාසය මතයි. විධායක බලය සහ අධිකාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරික්ෂාව හා සැසදීම සිදු කරන දහනව වන ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන් වැදගත් වන්නේ මෙහිදීය. අනෙක් සියල්ලටම නීතිය නියම කල හැකි බලවත් රාජ්‍ය කාර්යාලයක් පවතී නම් බලය බෙදීම සිදුවිය නොහැක. කිසිදු කාර්යාලයකට බලය අධික ලෙස සංකේන්ද්‍රණය වූ විට එය ක්‍රියාත්මක විය නොහැක.මේ සම්බන්ධයෙන් ගත් කල, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට දශක තුනකට පමණ පසු ඇති කල වුවක් වුවත්, එය පදනම් කරගත් අදහස දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි – එනම් කාර්යාල, ආයතන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාවලීන් සහ ආණ්ඩු ක්‍රමය තුලින් බලය බෙදී යාමට සැලැස්වීමයි. බලය කේන්ද්‍රගත කිරීම හා රජය සහ පාලනය හැසිරුවීමට මිලිටරි මානසිකත්වයෙන් පිරී ඇති විකල්ප කාර්ය සාධක බලකායන් ගෙන් සැදුම් ලත් විකල්ප ජාලයක් මත ශක්තිමත් වීමට තැත් කරන රාජපක්ෂ පාලන තන්ත්‍රයට විරුද්ධව සිටින්නේ මෙයයි. 2015/16 දී එක් කෙටි දිදුලන මොහොතක සංක්‍රාන්ති යුක්තිය පිළිබඳව දුන් පොරොන්දුව මෙම පාලනය සහ බලහත්කාරය තුළ අවලංගු කරනු ලැබේ හෝ හිතාමතාම නොසලකා හරිනු ඇත. ජිනීවාහි 30/1 යෝජනාවේ අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම එවැනි එක් උදාහරණයකි. මානව අර්ථයෙන් වඩාත් කැපී පෙනෙන අනෙක් කාරණය නම් මිරිසුවිල් ඝාතන වලට වැරදි කරු වූ සුනිල් රත්නායකට සමාව ලබා දීමයි. 1983 ජුලි සිදුවීම් මතකයට ගෙන එන එම සිද්ධිය දරුවන්ගේ උගුරු දඬු කපා ඝාතනය කර අවසානයේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අනෙකුත් අධිකරණ වෙනස් මතයක් දරුවත් ජනාධිපති සමාව ලැබීම එම පදවියේ විනිර්මුක්තියට කදිම උදාහරණයකි.

යුද්ධයේ අවසානයෙහි උරුමය කුමක්ද ? මහා මානුෂීය මෙහෙයුමේ මතකයද? එසේත් නැත්නම් විනිර්මුක්තියේ උරුමයද? ආපසු හැරී බලන විට, 1983 ජුලි යනු අපගේ දේශපාලනයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය නෛතික හා දේශපාලනික වශයෙන් තහවුරු කිරීම සඳහා සමකාලීන යුගයේ උත්ප්‍රේරක සිදුවීම විය. ඉදිරි දශක දෙකහමාර තුළ දේශප්‍රේමී / ද්‍රෝහී භේදය ද අපගේ දේශපාලන කතිකාව තුළ දැනටමත් තහවුරු වී ඇත. බටහිර බලවතුන් අපව පරාජය කිරීමට හා බෙදීමට පෙළ ගැසී සිටින නිසාවෙන් වටලුනු ලැබූ හා ආරක්ෂා වීමේ සටනක නිරතව සිටින සුළුතර මනෝභාවයක් ඇති බහුතරයක් ලෙස සිංහලයන් පෙනී සිටිම ඉන් පසු සිදුවිය, නැත ඉදිරියටත් සිදු වනු ඇත. දැන් ලෝකය අප සමගත්, අප ලෝකය සමගත් සිටින විට නවතම ඉලක්කය ඇත්තේ මුස්ලිම්වරුන්ය. ඔවුන් ආධිපත්‍යය පැතිරීමට අධික ජනගහනයක් ඇති කර අප ළමා මනාලියන් ඇති ඉස්ලාමීය රාජ්‍යක් බවට පත් කරනු ඇත. මක්කම සිට ජකර්තා දක්වා ඇති අඩසඳ වන් රටවල් අතරින් දැනට ඉස්ලාම් රාජ්‍යක් බවට හැරවීමට ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව පමණක් බව අප මතක් කර ගත යුතුය. මහා බහුතරවාදී පුනර්ජීවනයට එරෙහිව අදත් බාධා පැමිණෙනු ඇත.

අපගේ සෙසු පුරවැසියන්ගේ සමස්ත පරම්පරාවක්ම 1983 ජූලි ගැන සැබවින්ම නොදනී : එය නිර්මාණය කළ කෝපය, වේදනාව, කටුක බව සහ දුක්ඛදෝමනස්සයන් පිලිබඳ ඔවුන්ගේ අදහසක් නැත. එය යුද්ධය සහ එහි අවසානය මෙන්ම 1980 දශකයේ අග භාගයේ ඇති වූ ජේවීපී කැරැල්ල පිළිබඳවද එසේ වනු ඇත. බොහෝ දෙනෙක් අමතක කරති; ඉතා ස්වල්ප දෙනෙක් මතක තබා ගනිති.

දැන් වසංගතය මධ්‍යයේ මහ මැතිවරණ ව්‍යාපාරයක් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත්, අපි එහි පීඩනයෙන් පිටතට ගොස් හෙට දවසට මුහුණ දෙමු. අවම වශයෙන් එවිට ආණ්ඩු ක්‍රමය අතරින් විවේචනාත්මක ප්‍රජාවක් ඇති වී ජුලි 1983 යනු අසම්පූර්ණ ලෙස සාක්ෂාත් කර ගත් අවශ්‍ය හා අදාළ විවිධත්වය තුලින් වූ එකමුතු බැවින් ඇති වූ රටක් යන නිවා නොදැමිය යුතු සංකල්පයට එරෙහිව සිදු වූවක් බව තේරුම් ගනු ඇත. එසේ නිවා දැමීම මඟින් අප නායකයින් වනවා නොව අප දුර්වලයන් බවට පත්වනු ඇත – අතීතය පිළිබඳ ඔවුන්ගේ හැඟීම්, අනාගතය පිළිබඳ ඔවුන්ගේ බිය සහ පිළිකුල නිසා වර්තමානයේ වහල් වී සිටින ජනතාවක් වනු ඇත.

ආචාර්ය පාකියසෝති සරවනමුත්තු | Dr. Paikiasothy Saravanamuttu

 

 

සංස්කාරක සටහන : මෙම ලිපිය මුල් වරට  groundviews වෙබ් අඩවියේ The Significance of 1983 දින ඉංග්‍රීසි භාෂාවෙන් පළවිය.