iMAGE:Anton Raharjo/Anadolu Agency via Getty Images

ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූ මුස්ලිම් භක්තිකයන් භූමිදානය කල යුතුද නැද්ද පිළිබඳ මතු වූ විවාදයට අපි ඇහුම්කම් දුන්නේ මහත් කනගාටුවකිනි. කෝවිඩ් 19 වසංගතයෙන් මරණයට පත් වූ මුස්ලිම් භක්තිකයන් ආදාහනය කිරීමේ දී රජය අසාධාරණව ක්‍රියා කළ බවත්, එහිදී මරණයට පත් වූවන්ගේ පවුල්වල කැමැත්තට හෝ අදහස්වලට තැනක් ලබා නොදුන් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි නිර්දේශයන්ට අනුකූලව වූවද දේහයන් භූමි දානය කිරීමට අනුබල නොදුන් බවත් ලාංකික මුස්ලිම් ප්‍රජාවන් තුළ සිටින ඇතැම් කණ්ඩායම් විශ්වාස කරති. රජය තුළ , මාධ්‍ය තුළ හා මුස්ලිම් ප්‍රජාවට අයත් නොවන ඇතැම් පුද්ගලයන්ගේ මතය වූයේ මුස්ලිම් භක්තිකයන් මුළු මහත් සමාජ යහපත නොතකා හරිමින් තම ආගම පෙරටු කරගන්නා බවත්, පීඩාවට පත්වූවන් ලෙස තමන්ව නිරූපණය කරමින් විශේෂ සැලකිලි බලෙන් ඉල්ලා සිටින බවත්ය. සමහරුන් , විශේෂයෙන් ම සමාජ වෙබ් අඩවි තුළ මුස්ලිම් විරෝධී මතයන් ප්‍රකාශ කළහ.

පසුගිය කාලයේදී පැවති විවාදයන් තුළ මතු නොකරන ලද පර්යාලෝකයක් ඉස්මතු කිරීමේ අරමුණින් මෙම ලේඛනය ලියමු. කරුණාව මත ගොඬනැඟුණු ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනා ඒකරාශී කරන, මෙම ව්‍යවසනයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූවන් වන ජීවිතක්ෂයට පත් වූවන් හා ඔවුන්ගේ පවුල් ඉහළට ඔසවා තැබීමේ අරමුණින් සෑදුණු ප්‍රවේශයක් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී පෙනී සිටිමු.

අවමංගල්‍ය කටයුතු සියලු දෙනාට වැදගත් වේ;එයට ආගම් භේදයක් නොමැත. එවැනි අවස්ථාවකදී අප විසින් සිදු කරන ලබන සිරිත් විරිත්, සම්ප්‍රදානුකූල වූවත් නොවූවත්, ආගමික විශ්වාස මත පදනම් වූවත් නොවූවත්, ඒවා සෑම විටම මරණයට පත් වූවන්ගේ ගෞරවය හා ශාන්තිය සුරක්ෂිත කිරීමේ බලවත් අභිප්‍රාය ඇතුව අප විසින් සිදු කෙරෙයි. එසේම මෙවැනි සිරිත් විරිත් අපට අපගේ ශෝකය පාලනයක් ඇතුව ප්‍රකාශ කිරීමට උපකාරී වන අතරම ,මෙලොවින් සමුගත් අපගේ ආදරණීයයන්ට අර්ථවත් අයුරකින් අවසන් ගෞරවයක් දැක්වීමට අවස්ථාවක් සපයයි. ලෝකය වටා වෙසෙන බොහෝ දෙනාට තමන්ගේ ආදරණීයයන් සමඟ ඔවුන්ගේ අවසාන මොහොතවල් ගතකිරීමට මෙන්ම සිරිත් විරිත් හා යුතුකම් ඉටුකරමින් යම් මානසික සහනයක් ලබා ගැනීමට හා තමන්ට හුරු පුරුදු අයුරින් තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව නැති වෙමින් පවතියි. ලොව වටා රටවල් බොහෝමයක්  මෙහි වැදගත්කම හඳුනාගෙන ඇති අතර කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ වුවද අර්ථවත් හා ගෞරවාන්විත භාවයකින් යුත් අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීමට මනුෂ්‍යයා තුළ තිබෙන මෙකී බලවත් අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමට හැකි සෑම අයුරකින්ම උත්සහයන් දරති. ශ්‍රී ලාංකික ජනතාවටද මෙයට අදාළ වේ. එසේම , ශ්‍රී ලාංකික  මුස්ලිම් ප්‍රජාවටද මෙය අදාළ වේ.

මුස්ලිම් භක්තිකයන් ශ්‍රී ලංකාවේ සම පුරවැසියන් වේ. මෙකී සමානාත්මතාවය අප ජීවිතවල සෑම පැතිකඩක්ම අතික්‍රමණය කරයි.මෙම සමානාත්මතාවය තහවුරු කිරීම රජයේ යුතුකමක් පමණක් නොව මුස්ලිම් ප්‍රජාවන් වන අපගේ ද යුතුකම හා වගකීමයි.

පුරවැසියන්ගේ අදහස්වලට හා විශ්වාසවලට ඇහුම්කන් දීම හා ඒවාට ගෞරව කිරීමට රජයට යුතුකමක් තිබෙන අතරම , වර්තමාන තත්ත්වයන් තුළ ගෞරවාන්විත, ජාතිවාදී නොවන , වෙනස් කොට සැලකීමකින් තොර වූ චර්යාවකින් යුතුව, කිසිවෙකු පිට වැරැද්දක් නොපටවන හා ක්‍රෝධයට උල්පන්දම් නොදෙන ආකාරයකින් භාෂාව භාවිතා කිරීමේ වගකීම ද රජය සතු වේ. අවශ්‍ය වන මානව සම්පත් පිළිබඳ විපරම් කිරීමට, සුසාන භූමි වෙන් කර දීමට හා සුරක්ෂිත හා සුදුසු ආකාරයකින් සිරිත් විරිත් වෙනස් කර කරන ලද භූමිදාන කිරීම් පිළිබඳ නිර්දේශයන් නියම කිරීමට රජය උත්සහ කළ යුතු වේ. කෙසේ නමුත්, සාධාරණීකරණය කළ හැකි යම් හේතුවක් මත භූමිදාන කිරීමට අනුබලදීමට නොහැකිනම්, මහජන සෞඛ්‍යයට එමඟින් සැබෑ අනතුරක් හෝ අවදානමක් ඇත්නම්, මෙම කාරණය පාරදෘශ්‍යව හා සහකම්පනයෙන් යුතුව මුස්ලිම් ප්‍රජාවට සන්නිවේදනය කළ යුතු ය.

නිරෝධානය වී සිටින පුද්ගලයන්ගේ, රෝගීන්ගේ හා ජීවිතක්ෂයට පත්වූවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල පෞද්ගලිකත්වය සහතික කිරීම රජයේ හා මාධ්‍යයේ යුතුකමයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදු වූ මරණ සම්බන්ධයෙන් ගන්නා දැඩි ක්‍රියාමාර්ග වූවද මරණයට පත් වූවන්ට උපරිම ගෞරවය දැක්වෙන ආකාරයකින් සිදුකිරිමට හැකියාවක් පවතියි. එය අප සියලු දෙනාට තනි තනිවමත් සමූහිකවත් තිබෙන ගෞරවයට ඇති අයිතියකි.

කරුණාව පෙරටු කරගෙන සියළු ක්‍රියා පටිපාටිවල නිරත වීම මඟින් අපට විවිධ ප්‍රජාවන් වශයෙන් ද, සමස්තයක් ලෙස ගත් කල රටක් වශයෙන්ද මෙම අර්බුදය මධ්‍යයේ ශෝකය ප්‍රකාශ කිරීමට හා සුව වීමට අවස්ථාවක් ලැබේ. තවද, වෛරසය ආසාදනය වීම පිළිබඳ ඇති ඉතා දැඩි ඒකාකෘතික සිතාගැනීම් මර්දනය කිරීමටද මෙය අවස්ථාවක් සපයයි. එමඟින් පවතින වෛද්‍ය සේවාවන් පිළිබඳ විශ්වාසයක් ගොඬනැගෙන අතරම, සුළු ජාතික ප්‍රජාවන්ට ශ්‍රී ලාංකික රජය විසින් තමන්ට හා තම ආදරණීයයන්ට සම ගෞරවයකින් සලකයි ද නැද්ද යන්න ගැන මතු වන භීතිය හා සැකය දුරු කිරීමට ද හේතු වේ.

 මරණයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ශෝකය බෙදා ගැනීමේ අරමුණින් ආදාහනය කිරීම් හේතුවෙන් ඔවුන් යම් වැරදි ක්‍රියාවක හවුල්කරුවන් බවට පත් නොවූ බවත්, “ආදාහනය කල මත්තෙන් මරණයට පත් වූ තැනැත්තා මුස්ලිම් භක්තිකයෙක් නොවනවා” වැනි අදහස්වලින් ඔවුන්ව ඈත් කොට ඔවුන්ව සැනසීම හා ධෛර්යවන්ත කිරීම මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් වශයෙන් අපගේ වගකීමයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම භීතියට හෝ වරද පැටවීමට හේතුවක් නොවන බව සියලු ශ්‍රී ලාංකික මුස්ලිම් භක්තිකයන්ට තහවුරු කල යුතුය. එමඅරමුණින් නීතියට හා මහජන යහපැවැත්මට යටත්ව කටයුතු කිරීම අපගේ ඇදහිලිවල කොටසක් බව දැක්වීමට පොදු සාකච්ඡාවල නියත වීමද අපගේ වගකීමකි. ඉස්ලාම් වූ කලී සියලු කාලයන්ට හා තත්ත්වයන්ට ගැළපෙන ආකාරයේ ආගමකි. එය සාමයේ ආගමකි; කැමත්තට ඉඩ හසර ලබා දෙන ආගමකි; විද්‍යාව ද දැනුමද යුක්ත වූ ආගමකි. අවමංගල්‍ය චාරිත්‍රයක් ලෙස ගත් කල භූමි දානය කිරීම් මුස්ලිම් භක්තිකයන්ට ඉතා වැදගත් වේ. එහෙත්, පෙර නොදුටු විරූ තත්තවයන් මතු වී ඇති වර්තමානයේ භූමි දානය කිරීමේ චාරිත්‍රයට වෙනස් කිරීමක් කල මත්තයෙන් අපි පහත් හෝ නුසුදුසු මුස්ලිම් භක්තිකයන් බවට පත් නොවන බව අපි දැඩිව විශ්වාස කරමු.

වෛරසය මැඬලීමේ සාමූහික අරමුණින් පෞද්ගලික හා පොදු වේදිකාවන් තුළ ශ්‍රී ලාංකිකයන්ක දැක්වූ දායකත්වය හා උපාය කෞශල්‍යය අපි බොහෝ අගය කරමු. එසේම, කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ට සත්කාර කරන්නන් විසින් ගනු ලබන අවදානමට අපගේ ප්‍රශංසාව හිමි විය යුතුය. අත්‍යවශ්‍ය තොරතුරු හා සේවාවන් ඒවා ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොමැති හා ඒවා නිවෙස්වලට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයන්ට ලබාදීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. තවද, වයස්ගත පුද්ගලයන්ට, අඩු ආදායම්ලාභී පවුල්වලට, එදිනෙදා ලබන ආදායමෙන් ජීවත් වන පුද්ගලයින්ට හා ප්‍රතිශක්තිය අඩපන වූ පුද්ගලයන්ට  අමතර ආධාර ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් ලක් කළ යුතු බවද අපි අවධාරණය කරමු.

මෙම වසංගතය හේතුවෙන් අපි සියළු දෙනා වටහාගත් කරුණක් වේ නම්, ඒ අප සියළු දෙනාගේ ජීවිත හා දෛවයන් එකිනෙක හා බැඳී පවතින බවයි; එයට ජාති , ආගම්, කුල , ආදායම් මට්ටම , භාෂාව හා භූගෝලීය පිහිටීම යනාදිය අදාළ නොවේ. එක් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය හා සුරක්ෂිතභාවය අප වටා සිටින සියළු දෙනාගේ සෞඛ්‍ය හා සුරක්ෂිතභාවය මත රඳා පවතින බව මෙමඟින් ගම්‍ය වී තිබෙන ආකාරය දැක ගත හැකිය. කිසිවෙකුට තනිවම මෙම වසංගතය මැඬලිය නොහැක. එය අප සියළු දෙනා දායක විය යුතු සාමූහික ප්‍රයත්නයකි.

මහජනයා දැනුවත් කිරීමේ සිට නිවාරණය දක්වා, වෛද්‍ය සත්කාර සිට  පශ්චාත් මරණ ක්‍රියාපටිපාටි දක්වා කොව්ඩ් 19 පිළිබඳ මතු වන සෑම සංවාදයක්ම මනුසත්භාවය, අන්‍යෝන්‍ය විශ්වාසය හා කරුණාව මුදුන්පත් කරගෙන පවත්වන ලෙස ඔබ සියළු දෙනාගෙන් අයැද සිටින්නෙමු. එක්ව ඉදිරියට ගමන් කළ හැකි එකම මාර්ගය මෙයයි.

 

අර්මිසා ටීගල්, හිශ්‍යාමා හමීන්, හසනා සේගු ඉසඩීන්, මර්යම් අස්වර්, සුමයියා පල්ලක්, නාඩියා ඉස්මයිල්, සහරා රිස්වාන් සහ සබ්රා සහීඩ්