සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ගාල්ලේ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක්. – FMM

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යළි යළිත් බරපතල අනතුරු ඇඟවීම් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සීතා රංජනී විසින් අද(13) නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, ‛‛අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අගෝස්තු 12 වැනිදා ගාල්ල නගරයේදී පැවැත්වූ විරෝධතාවට එල්ල කළ පොලිස් ප්‍රහාරය සහ එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම හා ඔවුනට පොලීසිය තුළ දී පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති හා විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින් ආරක්‍ෂා කර ඇති, අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන මෙම ක්‍රියාව මඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යළි යළිත් බරපතල අනතුරු ඇඟවීම් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

වාර්තා වන ආකාරයට සාමකාමීව පැවැත්වූ මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. පොලීසියේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂකයන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාමකාමී උද්ඝෝෂණය වැළැක්වීමට පොලීසිය ගත් මර්දනකාරී ක්‍රියාවට එරෙහිව හා තමන්ගේ පිරිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගාල්ල පොලිස් ස්ථානයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ අජිත් කුමාර යන මහත්වරුන් සහ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාට පොලීසිය තුළ දී පහර දී අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම ද නොතැකූ, පොලීසියේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම මඟින් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කර ඇත්තේ ඉතාමත් බරපතල අනතුරු ඇඟවීමකි. අනෙක් අතින් මෙය අසමාන ලෙස සැලකීමකි. මීට පෙර රජයේ ඇමැතිවරයකු කළ උපවාසයේදී රජයේ නිල ප්‍රකාශකයින් කියා සිටියේ, උද්ඝෝෂණ, උපවාස, විරෝධතා කිරීමට ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩ කටයුතුවලට බාධා කරමින් කළ එම උපවාසයට සම්පූර්ණ පොලිස් ආරක්‍ෂාව සපයා දී තිබිණ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයේදී එම ප්‍රජාතන්ත්‍රවාදය අසමාන සැලකීමක් ලෙසට ලඝු වී ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමී විරෝධතා දැක්වීමේ හා රැස්වීමේ අයිතිය මෙන්ම කැමැති දේශපාලන මතයක් දැරීමේ හා නියැලීමේ අයිතිය අනතුරට ලක් කරන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නිහඬ වී සිටීමෙන් අනාගතයේ දරුණු ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදු විය හැකි බව මේ රටේ පුරවැසියන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.’’