iMage:Kesavarajanofficial/FB

මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම ඔහු සමඟ හෝරා කිහිපයක්ම පිළිසඳරේ සිටියෙමි. ශ්‍යාම අම්බරෙන් හැලෙන වර්ෂා දිය, නිවස ඉදිරියේ වූ අඹ ගස ට පතිත වන දෙස බලමින් ඔහු කථාව සීරුවට කරයි.

”.දවසක් මම බයිසිකලේ පැදගෙන පාරේ යනකොට, හමුදාවෙන් නවත්වලා අහනවා කොහොද යන්නේ කියලා? මම උත්තර දුන්නට පස්සේ මට බයිසිකල් චෙන් එකෙන් ඔළුවට ගහනවා, ඊට පස්සේ යන්න කියනවා.. මම හිතුවා ඇයි උත්තර දුන්නම මට ගහන්නේ? එතකොට මට කල්පනා වුනා මම දෙමළ, දෙමළ වෙලා ඉපදුනාම ගුටි කන්න ඕනේ. එදා මට හිතුනා විමුක්ති කොටි හරි කියලා.. මම එයාලට එකතු වුනා.. අපි කවුරුත් ගුටි කන්න ඉපදිලා නැ..” කේසා එසේ කියවාගෙන යනවිට ඔහුගේ ආදරණිය බිරිඳ මට කිරි තේ කෝප්පයක් පිළිගැන්විය.

කේසා චිත්‍රපට පිස්සෙකි… ඔහුට අවශ්‍ය වුයේ චිත්‍රපට අධ්‍යක්ෂණය මිස එහි රඟපෑම නොවේ. විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයකු වූ අවධියේ දී ඔහු සංවිධානයේ ක්‍රියාකාරකම් පටිගත කිරීමේ වගකීම උසුලන ලදී. “අපි එදා හිටියේ කිලිනොච්චියේ. සංවිධානය කොල්ලන්ට කිලිනොච්චියෙන් පසුබසින්න විධානය දෙනකොට උන් ඇඩුවා. ඒක හරිම දුකක්.. යුද්දය අවසන් වුනාට පසුව මම සිවසුබ්‍රමනියම් සිවකාමි (තමිලිනි ) බලන්න දොඩම් අරගෙන ගියා. එයාට එතකොටත් අමාරුයි.. යුද්ධයෙන් පස්සේ අපේ ජිවිත වලට මොකද වුනේ. තුවක්කු පත්තු වෙන එක නැවතුනා. එත් අපි?.. බලන්න මගේ දිහා..මගේ නෝනට සනීප නැ.. ඉන්න තැනක් නැ. ණයක් අරගෙන තමා චිත්‍රපටියක් හදන්නේ. චිත්‍රපටි හදන්න මිස තුවක්කු, බෝම්බ හදන්න මම දන්නේ නැ..සංවිධානයේ හිටපු හැමෝටම දැන් ජීවිතය තවත් දුෂ්කරයි.. සංවිධානය තිබුන කාලේ අපිට සැප සම්පත් තිබුනේ නැ. එත් අරමුණක් තිබුණා. අපිට චිත්‍රපටි කරන්න අරමුදල් ලැබුණා. අපි ඒවා පිරි මහා ගත්තා. මගේ චිත්‍රපටි වල තිබුනේ මම දැක්ක දේවල්. මගේ වටේ තිබුණ පරිසරයේ සැඟවූ කතාවන්…මගේ හීනය තමා මගේ චිත්‍රපටියක් දකුණේ සිනමා හලක ප්‍රදර්ශනය කරන එක.. අපි හැමෝම ඉන්නේ එකම ගොඩක නංගි…”

අම්මා නෙල්ලම් සහ තවත් සිනමා රචනාවන් කිහිපයක් කේසා විසින් ඉදිරිපත් කර තිබුණි. 2015 මුණ ගැසීමෙන් පසු ඔහු මට නැවත හමු වන්නේ 2018 කොළඹ රීගල් සිනමා ශාලාවේ තිරගත වූ තුන්දෙනෙක් (Him. Her . The Other ) හි මංගල දර්ශනයේ දී ය. රීගල් සිනමා හලේ පිලේ සිට සැන්ඩ්විච්යක් ගිල දමමින් හෙතෙම පැවසුවේ “නංගි මම අද රෑ කෝච්චියෙම යාපනේ යනවා..” කියාය. ඉන් පසු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සම්බන්දතා පවත්වා ගත් අතර අද උදැසන මා අනුෂ්කා ශිවලිංගම් ගේ පෝස්ටු ව දකින තුරු කේසා පිලිබඳ දැඩිව කල්පනා නොකලෙමි.

ආදරණිය කේසා.. නුඹ යන්න ගොස් ඇත.
මට නුඹ ගැන වර්ණනා කිරීමට අවශ්‍ය නොවේ… එහෙත් මම මෙය කිව යුතුමය.

උන් ඒවා මරා දමන බව දැන දැනම
අපි සිහින දුටුවෙමු
පණ පිටින් පුළුස්සන බව
දැක දැකම අප
නව විශ්වාසයන් ගෙනාවෙමු
සටන නිම නොවන බව
පෙනී පෙනීම අත නොහැර එකට සිටියෙමු
එත් නුඹ අද යන්න ගොසිනි
සොයා නුඹේ සඟයන් ව ගොස් දුරක
අයෙමත් හමු නොවනු ඇත අප
එහෙත් නුඹ ගැන මතකය
සදාකල් රැකෙනු ඇත මා සිත තුළ

ඔබට සුභ ගමන්…කේසා

අරුණි සමරකෝන් | Aruni Samarakoon