“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන මතයේ බොහොම පැහැදිලිව රජයක් හැටියට ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි තීන්දු අරගෙන යම්කිසි කෙනෙකුට යම් අගතියක් සිදුවුණා නම් ඒ අගතිය වෙනුවෙන් කටයුතු කරන්න. බලාපොරොත්තු වෙනවා..” (Adaderana) රාජපක්ෂ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසා තිබුණි.

ඔහු එසේ පවසා ඇත්තේ, පසුගිය 21 වනදා, ජනාධිපතිවරයා විසින් ‘මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක්’ පත් කිරීම පිළිබද අදහස් දක්වමිනි. (https://www.pmdnews.lk/si/president-appoints-coi-to-investigate-entire-gamut-of-hr-probes-and-findings/)

ජනාධිපතිවරයා විසින් පත්කර ඇති අදාල කොමිසමට පැවරී ඇති කාර්යන් කොටස් 4කින් දක්වා ඇත.

එම කාර්යයන් මෙසේය :

– මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශණය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, බරපතල ගණයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම.

– එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම.

– එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.

– පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය.

එහි තව දුරටත් මෙසේ ද දැක්වෙයි ”එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 ඔක්තෝබර් මස සම්මත කළ “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” පිළිබඳ 30/1 යෝජනාවට සහ ඒ හා බැඳුණු 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්විමෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරයේ දී නිවේදනය කෙරිණ. එසේ වුවද තිරසාර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය වන්නේය. විසඳීමට ඇති සෙසු ගැටළු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳුම් දීමටත් අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටී.”

කොමිසම් සහ රාජපක්ෂ පාලනය

30 අවුරුදු යුද්ධය ආශ්‍රිත සිදුවුනු ‘දේවල්’ ගැන සොයා බැලීම සදහා රාජපක්ෂ පාලන කාලය තුළ ප්‍රධාන වශයෙන් කොමිසම් කිහිපයක් පත් කෙරිණි.

එක් කොම්සමක් වන්නේ උදලාගම කොමිසමයි.

2006 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, විනිසුරු උදලාගම ප්‍රමුඛ සාමාජිකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත වූ උදලාගම කොමිෂන් සභාව නමින්, කොමිසමක් පත් කෙරිණි. එහි කාර්යභාරය වූයේ ‘යුධ සමයේ’ මානව හිමිකම් කඩවීම, හා එම කාලයේ දී සිදු වූ ඝාතන සිද්ධීන් 16ක් පිළිබඳව විමර්ශණය කිරීම යි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, දිගම්පතානේ දී නාවික භටයන් 98 දෙනා ඝාතනය, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනයට ලක්වීම, පොතුවිල් මුස්ලිම් වැසියන් 10 දෙනෙකු ඝාතනය වීම, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයන් 68 දෙනාගේ ඝාතනය, හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනය ඇතුලු සිදුවීම් 16ක් එම කොමිසමේ විමර්ශණයට භාජනය විය.

පරණගම කොමිසම

2013 වසරේ මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම ප්‍රමුඛ සාමාජිකයන් 4 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කළ අතර, එය හදුන්වන ලද්දේ පරණගම කොමිසම නමිනි. යුද සමයේ සිදුකලා යැයි එවකට පැවසූ යුද අපරාධ සහ අතුරුදහන් වූවන් පිළිබද සෙවීම එම කොමිසමේ ප්‍රධාන අරමුණු විය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2011 වසරේ දී. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) පත්කල අතර, එහි සභාපති වරයා වූයේ හිටපු නීතිපති රන්ජන් ද සිල්වා යි. මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, නීතිඥ රෝහන් පෙරේරා, මහාචාර්ය මොහමඩ් ජිෆ්රි ඇතුළු සාමාජිකයන් 8 දෙනෙකුගෙන් එම කොමිසම සමන්විත විය. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව 2011 දෙසැම්බර් 16 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිද අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මහජනතාව සමග සැසිවාර 57ක්, ලංකාවේ විවිධ ප්‍රෙ‍දේශ 40කට වැඩි ප්‍රමාණයක නිරත වෙමින් විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ජනතාව මුණගැසී කරුණු රැස්කරනු ලැබූ බව ද වාර්තා විය.

මෙම කොමිසන් සභාවේ වාර්තාවේද නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේය.

ඉහතින් දක්වන ලද සියලු කොමිසම් පිහිටුවන ලද්දේ රාජපක්ෂලා ආණ්ඩු බලය හොබවන සමයන් හී දීය. එසේ වී නමුත්, 2015 ජනවාරි 8 වනදා රාජපක්ෂලාට ආණ්ඩු බලය අහිමි වන තෙක් එම සියලුම කොමිෂන් සභාවල කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් තිබූ බවක් කිසිවිටකත් පෙන්නුම් කළේ නැති බව ලෝකයාම දන්නා සත්‍යකි. (ඇතැම් කොමිසම් හී වාර්තාවන් පිළිබද විවේචන සහිත වුවත්) උදාහරණයකට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ යම් සාධනීය නිර්දේශයන් තිබුණත් ඒවා හෝ ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට දේශපාලන අභිලාශයක් ඇති වූයේ නැත.) ඉහතින් දක්වා ඇති ලෙස 2011 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට නැගී ආ අන්තර් ජාතික බලපෑම් හමුවෙහි උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කළත්, එම කොමිසමෙහි බලාධිකාරය ප්‍රමාණවත් නැති බවට ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් බරපතල ලෙස විවේචන ඉදිරිපත් කළේය.

එසේ වුවත්, උගත් පාඩම් කොමිසම එම විවේචන මධ්‍යයේ වුවද යම් මට්ටමක සාධනීය වාර්තාවක් ඉදිරිපත් කරමින් විවිධ අඩු පාඩු සහිතව වුවද සාධනීය නිර්දේශයන් ද ඉදිරිපත් කළේ ය. එම නිර්දේශ සියල්ල වහාම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය. ජනාධිපති එම ඉල්ලීම් තුට්ටුවකටවත් මායිම් නොකර එම නිර්දේශයන් නොදැක්කා සේ සිටියේය.

කොමිසන් වාර්තාවෙහි ඉතා වැදගත් නිරීක්ෂනයක් වන්නේ(No Fire Zone – Sri Lanka Killing Fields” ) ‘යුද මුක්ත කලාපය – ශ්‍රී ලංකාවේ ඝාතක භූමිය’ නම් වැනල් ෆෝ වාර්තා සිනමා පටය පිළිබද වන නිරීක්ෂනයන්ය. ‘වීඩියෝව කෘතීම ලෙස ගොඩනැගීමට උත්සහ දරතීයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රභලව කියා සිටියත්, එක්සත් ජාතීන්ගේ විශේෂ සබැදියාකරුවන් විසින්,පත් කෙරුණු ශීල්පීය විශේෂඥයින් අවධාරණය කරන්නේ සිරබාරයට ගැණුනු බව පෙණෙන ජනයා නීතිමය පටිපාටියකින් තොරව වහාම මරණයට පත්කිරීම පිළිබද, පිළිගත සේ හැගෙන තොරතුරු වීඩියෝව සම්පාදනය කරන බවයි’ වාර්තාව කියයි. නමුත්, ලංකා ආණ්ඩුව පාර්ශවයෙන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු වී නැත.

මෙම වාර්තා චිත්‍රපට පිළිබදව , 2013 සැප්තැම්බරයේදී, චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ මෙසේ පවසනවා.

‘සිද්ධ විය යුත්තේ මොකක් ද කියන එක මගේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය වෙන්නේ එළිදරව් කළේ සිද්ධ වුණු දේ බව පැවසීම. සිද්ධ වෙලා තිබෙන දෙයින් ගලා එන නොවැළැක්විය හැකි නිගමනය තමයි යමක් කළ යුතු ය කියන එක. මා හිතන්නේ, දැන් ප්‍රබල ලෙස පැහැදිලි වෙන දේ තමයි චිත්‍රපටය තුළ දී අපි යුද අපරාධ පිළිබඳ මූලික මට්ටමේ සාක්ෂි ඉදිරිපත් කරනවා, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ මූලික මට්ටමේ සාක්ෂි ඉදිරිපත් කරනවා. අපි ඒවා ඉදිරිපත් කරන්නේ, ‛ඔව්, භයානක දෙයක් සිදු වී තිබෙනවා තමයි, යුක්තිය ඉටු විය යුතුයි’ කියා විතරක් මහජනයාට ඉන්න බැරි වෙන විදියට. ඒ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගියාට පස්සේ, ඊළඟට කළ යුත්තේ කුමක් ද කියන එක මගේ කාර්යය නෙවෙයි. මේ අපරාධ පැහැදිලිව ම සිදු වී තිබෙනවා ය, යුක්තිය ඉටු කළ යුතු ය කියන තීරණය ගත යුත්තේ ජාත්‍යන්තර ලෝක බලවතුන්, එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව. මොක ද, මේවා පාපිස්ස යටට තල්ලු කරලා දාන්න බැහැ. ඒක කරන්නේ කොහොම ද කියන එක මගේ කාර්යයක් නෙවෙයි, මා මාධ්‍යවේදියා පමණයි.’

අලුත් කමිටුව සහ ගෝඨාබය රාජපක්ෂ

දැන් ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, වත්මන් ජනාධිපති ගොඨාබය රාජපක්ෂ විසින් එම කමිටු සහ නිර්දේශයන් පිළිබද නැවත විමර්ශනයට කමිටුවක් පත් කර තිබේ. ඒ 2006 සිට ඔවුන් විසින්ම පත් කළ කමිටු පිළිබද නැවත සෙවීමට ලු! කෙසේ නමුත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාවගේ මුදල් වියදම් කරමින් එතෙක් මෙතෙක් පත් කරන ලද කිසිදු කමිටුවක කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක නොකර මගහැර සිටි තත්ත්වයක් තුළ, නව කමිටුවේ ප්‍රතිඵලය ගැන කියන්නට කිසිවක් ඇත්තේ නැත. එයටත් සිදුවිය හැක්කේ පෙර කමිටුවල මෙන් මුදල් සහ රාජ්‍ය සම්පත් ප්‍රතිඵලයකින් තොරව විනාශ වි යාම පමණි. ඒ සදහා වන කිසිදු දේශපාලන අධිෂ්ඨානයක් ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව පෙන්වා නැත. යුක්තිය, ප්‍රතිසංධානය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙසේ වෙතත් ඔවුන් පෙන්වා ඇත්තේ එහි ප්‍රතිපක්ෂයයි. එය යාපනයේ විශ්ව විද්‍යාලයේ මිය ගිය වූවන් සැමරීම සදහා සකසා තිබූ ස්මාරකය මහ රෑ හමුදාව පැමිණ ඩෝසර් කිරීමෙන් පමණක් ඕනැම අයෙක්ට අවබෝධ කර ගත හැකිය. මාධ්‍යවේදී ලසන්ත ඝාතනයෙන් පසු විදෙස් මාධ්‍ය ඉදිරියේ ‘කවුද ලසන්න කියන්නේ?’ යනුවෙන් ප්‍රශ්ණ කිරීමෙන්ද ඔවුන්ගේ ඇති මනෝභාවය තව දුරටත් සනාථ කර ගත හැකිය.

2012 ජූලියේදී ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ පහර කෑමෙන් මිය ගිය වව්නියාවේ ගනේෂන් නිමලරූබන්, යාපනයේ ඩිල්රුක්ෂාන් ඇතුලු රුදවියන් ඝාතනය කල ඝාතකයන් නීතිය හමුවමට පැමිණවීමට රාජපක්ෂ නෑදෑ ආණ්ඩුවට නොහැකි වීමෙන් ද, ඔවුන්ගේ මානව හිමිකම් පිළිබද අභිලාශය අපට සිතා ගැනීමට පහසු වන්නේ නැත. 2012 නොවැම්බරයේ, වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් ඝාතනයේ සිට 2020 නොවැම්බරයේ දී මහර බන්ධනාගාරයේ රුදවියන් ඝාතනය දක්වා වූ අශීලාචාර තත්ත්වයන් තුළින් ද මානව හිමිකම් ප්‍රවර්ධනය හෝ වගවීම පිළිබද කිසිදු දේශපාලන දැක්මක් පෙනෙන්නට නැත. දවස් 1000කට වඩා උතුරු සහ නැගෙණහිර, අතුරුදහන් වූවන්ගේ සමීපතමයින්, සිය දරුවන් සැමියන්, බිරින්දෑවරුන් පිළිබද තොරතුරක් ඉල්ලා මහපාරවල් වල තවමත් සිටීමෙන් තහවරු වන්නේ ද, තම දරුවන් තම අතින්ම හමුදාවට බාර දුන් දෙමාපියන්, අද දක්වාම ‘කෝ අපේ දරුවන්?’ යැයි විලාප දෙන හඩ පාලකයන්ට ඇසෙන්නේ නැත්තේ ද, අන් කිසිවක් නොව, අපරාධකරුවන් ආරක්ෂා කිරීම ලාංකීය දේශපාලන සංස්කෘතියේ මුල් බැසගත් අංගයක් වී ඇති නිසාය. එය රාජපක්ෂලා පාලනය කල හා කරන කාලයට පමණක් සීමා වූවක් නොවේ. එය ‘යහපාලනය’ නමින් බලය හෙබවු මෛත්‍රී-රනිල් පාලනයටත් එකසේම අදාලය.

එබැවින් තවත් කමිටු යනු ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමේ එක් උපක්‍රමයක් බවට විශ්ලේෂකයන් පවසන්නේ එබැවිනි.

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත්කෙරුණු අවස්ථාවේ ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය මෙසේ කීවේය:

‘‘බාල මානව හිමිකම් කැරැට්ටුවක් සහ වල්වැදුණු දණ්ඩමුක්ති තත්වයක් පිළිබඳ ගොඩනැගිය හැකි ජාත්‍යන්තර විවේචනය වෙනතක හැරවීම සඳහා හිටිඅඩියේ පත්කරන කොමිෂන් සභා පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ලංකාවට තිබේ. 1948 නිදහසේ සිට එවැනි කොමිෂන් සභා අඩු වශයෙන් 10 ක්වත් පත්කොට තිබේ. එයින් එකකින්වත් වැදගත් ප්‍රතිඵල අත්වී නැත.’’

එහිම, තවදුරටත් මෙසේද සඳහන් වෙයි:

‘‘ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකාවේ වගවීම පිළිබඳ ප්‍රශ්නය මතුකරන හැම විටම ලංකාවේ ආණ්ඩුව කරන්නේ කොමිසමක් පත්කිරීමයි. බොහෝ කල් ගන්නා එවැනි කොමිෂන් සභාවලින් අත්වූ සෙතක් ඇත්තේම නැත.’’

(ඔක්තෝබර් 2015 https://www.vikalpa.org/article/25198)

එම තර්කය රාජපක්ෂ පාලනය විසින් එවකටද සනාථ කෙළේය. අද දක්වාද එය තවමත් මහපොළවේ සත්‍යකි.

කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය එළබෙන පෙබරවාරි 22වනදා ආරම්භ වීමට නියමිතය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ ගේ වාර්තාව පිළිබද ව මේ වන විට නොනිළ මට්ටමින් විවිද කතිකාවන් ආරම්භ වෙමින් තිබේ. කොමසාරිස්වරියගේ යෝජනාව හි අන්තර්ගතය පිළිබද දැනටමත් ලංකා ආණ්ඩුව නොදන්නවා විය නොහැකිය. එබැවින් හැම විටම මෙන් ජිනීවා වලින් ‘ගැලවීමේ’ උපායමාර්ගයක් ලෙස ගෝඨාබය රාජපක්ෂගේ නව කමිටුව නැවතත් ඉදිරියට පැමිණියා විය හැකිය. කෙසේ නමුත් එක් දෙයක් ලියා තැබිය යුතුය. කුමන වාර්තාවකින් ගැලවීමට, කුමන ඇස්බැන්දුම් ඉදිරිපත් කලත්, සිය හෘද සාක්ෂියෙන් කිසිදාක ගැලවිය නොහැකිය. නමුත්, දේශපාලන අභිලාශයක් ඇතොත් ප්‍රමාද වී ඇතත්, එය කළ හැකිය. නමුත් එය කළ හැකි වන්නේ සත්‍ය, යුක්තිය සහ මානව හිමිකම් මත පදනම්ව පමණි.

වසන්ත බණ්ඩාර | Wasantha Bandara