iMage:VIKALPA

පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එල්ලකරන ලද කිසිදු අපරාධයකට සම්බන්ධ කිසිවෙකුත්, නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු පාලනයකට හැකි වූයේ නැත. පසුගිය යහපාලන කාලය තුළ යම් උත්සහයන් ගත්තා වුවද, ඒවාත් අතර මග නතර වූයේ ලංකාවේ අපරාධ සදහා යුක්තිය ඉටු කිරීමට ඇති නොහැකියාව මහ දවල් ප්‍රදර්ශණය කරමිනි. ඒ තරමටම ලංකාව තුළ ‘වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය’ හෙවත් දණ්ඩමුක්තිය නිධන්ගත රෝගයක් ලෙස තවමත් පවතී. ජනමාධ්‍යවේදීන් ට සිදුකරන ලද අපරාධවලට යුක්තිය ඉටු කරනවා යැයි පවසමින් බලයට පැමිණි කිසිවෙක්ටවත් ඒ ‘දණඩමුක්තිය අවසන් කිරීම’ සදහා දේශාපාලන අභිලාශයක් තිබෙනවා යැයි කියා පෙන්නුම් කරීමට නොහැකි විය. අවසානයේ සිදු ව ඇත්තේ අපරාධවලට චෝදනා ලැබූවන් බලය ලබා ගැනීමත්, ඒ අපරාධ පිළිබද පරීක්ෂන කළ නිළධාරීන් ට හිරගෙවල් හිමි වීමත්ය.

කෙසේ නමුත් මෙම තත්ත්වය තුළ නැවත වටයකින් ජාත්‍යන්තර ව මේ පිළිබද සාකච්ඡාව ආරම්භ වී තිබේ. ඒ එළඹෙන පෙබරවාරි 22 සිට මාර්තු 23 කාලය තුල, ‘ජිනිවා’ හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 46 වන නිත්‍ය සැසියේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සමාලෝචනය කිරීමත් සමගය. ‍ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සැසිවාරය පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ වගවීම සඳහා තීරණාත්මක අවස්ථාවක ය.

මෙම ජිනීවා සැසිවාරයට පෙර CJA(center for justice and accountability) විසින් ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සදහා වූ කමිටුව(CPJ) විසින් සපයන ලද තොරතුරුද සහිතව, ජනමාධ්‍යවේදීන් නිහඬ කරවීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීම සහ නිරන්තරයෙන් දඬුවම් නොපැනවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙනයන ක්‍රමානුකූල හා මාරාන්තික ව්‍යාපාරය ලේඛනගත කරමින් වාර්තාවක් නිකුත් කළේය. එහි මෙසේ සදහන් වෙයි,

අපරාධ සඳහා දඬුවම් නොපැනවීම දශකයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුල පැවතේ. මේ අතර, 2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ නැවත පත් වූ දිනයේ සිට මාධ්‍යවේදීන්ට සහ රජයේ විවේචකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව දැකිය හැක. එසේම, 2021 ජනවාරියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් අනාගතයේ සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනයන් වැලැක්වීමේ අරමුණින් යුතුව වර්තමානයේ අඛණ්ඩව සිදුවන වගවීමේ අසාර්ථකත්වයන් විසඳීමට පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට හදිසි නිර්දේශ නිකුත් කළේය.

එහි තවදුරටත් සදහන් වන්නේ,

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ 2005 සිට 2015 කාලය තුල සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී කීත් නොයාර්, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සහ දේශපාලන කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් රැසක් ඝාතනයට ලක්වීම, පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම සහ අතුරුදහන් වීමට ලක්විය. මෙම සිදුවීම් වලට, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයට අනුයුක්ත ට්‍රිපොලි ප්ලැටුන් සහ මාධ්‍යවේදීන් පැහැරගෙන යෑමට සහ ඝාතනය කිරීමට සුදු වෑන් රථ භාවිතා කළ විශේෂ ක්‍රියාකාරීන් කණ්ඩායමක් සම්බන්ධ වී තිබේ. දශකයකට අධික කාලයක් පුරාවට එක්සත් ජාතින් විසින් වගකිව යුතු පාර්ශවයන් නීතිය ඉදිරියට පැමිණවීම ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව පියවර ගන්නා බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී තිබේ [Read (1) / (2) කෙසේ වෙතත්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඇතුළු මෙම ප‍්‍රහාර සැලසුම් කළ බවට චෝදනා ලැබූවෝ සියල්ල මේ වන විට බලයට පත්ව සිටිති. ඔහු නැවත බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර පිලිබඳ විමර්ශනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටවීමට බලකෙරී ඇත. එමගින් නැවත වරක්, ජනමාධ්‍යවේදීන්ට රටින් පිටවීම හෝ ස්වයං වාරණ පනවා ගැනීමට බලකෙරේ.

එසේම ‘මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කල නිර්දේශයන් අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වල තත්ත්වය පිලිබඳ නිරීක්ෂණය වැඩි කිරීම, අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි එකතු කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා වන ස්වාධීන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සහ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආධාර කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ මූලාරම්භයන්ට ප්‍රමුඛතාවය දීම යන කරුණු ඇතුලත් වන බවත් මෙම වාර්තාවේ ඔවුන් විසින් නැවත වරක් සදහන් කර තිබේ.

‘ශ්‍රී ලංකා රජය විසින්, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුවන්ටද පිළියමක් සඳහා වන අයිතිය සහතික කිරීම ඇතුළු මානව හිමිකම් බැඳීම් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම සැලකිල්ලට ගනිමින්, අනාගත වගවීමේ ක්‍රියාදාමයන්ට සහාය වීම සඳහා සාක්ෂි එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා කැපවූ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන නව යෝජනාවක් සම්මත කිරීම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල තත්වය වැඩිදියුණු කිරීම සහ අධීක්ෂණය කිරීම සහ සිවිල් සමාජ මූලාරම්භයන්ට සහය දැක්වීම සඳහා ප්‍රමුඛත්වය දීම, විශේෂයෙන් වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම යන කරුණු පිලිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු’ යැයි ඔවුන් විසින් වැඩි දුරටත් පවසයි.

එයට අමතරව වාර්තාව මගින්, ‘මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ස්ථිර පියවර ගන්නා බවට නිර්දේශ කරන ලෙස අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු. ඒ යටතේ පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස’ ඔවුන් ඉල්ලා සිටී.

– ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ පිලිබඳ විමර්ශනය කරන සහ ඒ පිලිබඳ නීතිය ක්‍රියාත්මක කරන වත්මන් සහ හිටපු නිලධාරීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, අනිසි සෝදිසි කිරීම් සහ පහර දීම වහාම නතර කිරීම,

– සිර භාරයට ගැනීමට පෙර මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිළිබඳ පරීක්ෂණයක් අධීක්‍ෂණය කරමින් සිටි හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වහාම නිදහස් කිරීම,

– ආණ්ඩුව විවේචනය සාපරාධි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන නීති අවලංගු කිරීම,

– අතරමග නවතා දැමු, ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, පහරදීම්, ඝාතනයන් පිළිබඳ විමර්ශන කටයුතු නැවත ආරම්භ කිරීම හා ඒ සදහා පහසුකම් සැපයීම, (here)

(CJA/CPJ ඇසුරිනි.)

සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න.