iMage: theleader.lk

ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරී බිම්ශානි ජාසිංහආරච්ච් පසුගිය සැප්තැම්බර් මස පත් කරන ලදී. එම පත්කිරීමේ විශේෂත්වය නම් 1866 දී, බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඇරඹි ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියෝජ්‍ය පොලිස්පතිනියක් ලෙස කාන්තාවක් හට සේවය කිරීමට හැකියාව ලැබීමය. නිරන්තයෙන්ම සිහි කැදවන කරුණක් වන ශ්‍රී ලංකා ආරථිකය කාන්තා ශ්‍රම මුලිකත්වයෙන් පවත්වා ගනු ලැබුව ද ස්ත්‍රී ශ්‍රමය නිරන්තරයෙන් ම දෙවන පෙළට හිමි වී, නිසි ඇගයීමක් ද නොමැතිව, සුරාකෑමට ලක්වන පසු බිමක ජාසිංහආරච්චි ගේ පත්වීම අගය කළ යුතුය. මෙම පත්වීම අභියෝගයට ලක් කරමින් පසුගිය දා ශ්‍රී ලංකා පොලිස් සේවාවේ නිරත පුරුෂ නියෝජ්‍ය පොලිස්පති වරු 33ක් විසින්, පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙම ක්‍රියාවලියට අප්‍රසාදය පළ කරමින් සහ බිම්ශානි ගේ පත්වීම සුජාතකරනයට ලක් කරමින්, පාර්ලිමේන්තු කාන්තා මණ්ඩලය (Women Parliamentarian Caucus)විසින් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී. එහිදී, එම මණ්ඩලයේ සභාපතිනි, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ ප්‍රකාශනය වුයේ, බහුතරයක් පුරුෂ නියෝජයනය සහිත වපසරියක, බිම්ශානියේ පත්කිරීම මගින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හදුනාගත හැකි බවය. එසේම එම මණ්ඩලයේ සාමාජිකයන් වන වෛද්‍ය සිතා අරඹේපොළ සහ පාර්ලිමේතු මන්ත්‍රිනී රෝහිනී විජේරත්නද මෙම පත් කිරීම අභියෝගයට ලක් කිරීම පිලිබඳ තම අප්‍රසාදය ප්‍රකාශ කරන ලදී. මෙම මාධ්‍ය හමුව දුටු විට මට දැනුනේ ලොව සියලු ස්ත්‍රීන් එක්ව, එක පන්තියක් ලෙස සිට ගනු ලබන මොහොතක මෙම පුරුෂමූලික පීඩනය ඉවත් කල හැකි බවය.

බිම්ශානි වෙත වන අභියෝගය ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා හමුදා නිලධාරින්යන්ට නොමැති බවට කිසිදු ලෙසට පැවසිය නොහැකිය. උදාහරණයක් ලෙස Cynthia Enloe ගේ The Morning After :-Sexual Politics at the End of the Cold War විස්තරවන්නේ දේශප්‍රේමී හමුදාව වෙත බැඳී අමරිකාන් ජාතික කාන්තාවන්, තම වෘත්තීය සගයන්ගෙන් එල්ලවන පීඩාවන් නිරාවරණය නොකරනු යේ, තමාට හිමිවන වෘත්තියමය ප්‍රවර්ධනයන් අහිමි වේ යන භීතිකාව හේතුවෙනි. එනම් මෙම පිතෘමුලික ලිබරල්වාදී රාජ්‍ය ව්‍යූහයේ කොහෝදී හෝ ස්ත්‍රිය යනු දෙවන පෙළ ලිංගිකයෙකු මිස, මානවයකු ලෙස පිලි නොගැනීමය. ලිබරල් ආකෘතිය යටතේ විවිධ ක්‍රියාවලි මගින්, පුද්ගලයා සහ ක්‍රියාවලියන් වෙනස් කිරීමට උත්සුක වුවද, මෙම ව්‍යූහය වෙනස් නොවන තුරු ස්ත්‍රිය වෙත වන පිඩාව ඉවත් වේයැයි සිතිය නොහැකිය. එහිදී එම ව්‍යූහය ලිබරල් වාදයෙන් සාමජවාදය වෙත කේන්ද්‍රගත වුවද නැවත සාමාජවාදය යටතේ ගොඩ නැගෙන්නේ ද පුරුෂමූලික ක්‍රමයක් වේ නම් ස්ත්‍රිය හිංසනයට පත් වීම අවසන් නොවේ.

බිම්ශානිගෙන් අනතුරුව මාගේ අවධානය යොමු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ගේ ආරක්ෂාව ඉවත් කිරීම වෙතය. අමාත්‍ය සරත් වීරසේකරට අනුව, ජීවිත තර්ජන පවතින පසුබිමක, #P2P වැනි පොදු අවකාශයේ පාගමන් වෙත සුමන්දිරන් මන්ත්‍රීවරයා සහභාගී නොවිය යුතුය. එසේම මේ වන විට අමාත්‍යවරයා විසින් මෙම පාගමන සංවිධානය කිරීමේ ප්‍රබයන් පිලිබඳ බුද්ධි තොරතුරු ද ලබාගෙන තිබෙන අතර ඒවා පිලිබඳ ව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරනු ඇත. එසේම මෙම අවිහිංසාවාදී පාගමන වෙත කඳුළු ගෑස් හෝ වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීමේ වාසිය සුමන්දිරන්, ගජේන්ද්‍ර පොන්නම්බලම් යනාදිය ලබාගනු ඇති බවට හෙතෙම විශ්වාස කල බවත් පවසන ලදී. එපමණක් ද නොව LTTE සංවිධානයේ තර්ජනයක් වේ නම්, මෙවැනි පාගමන් වෙත සහභාගී වීමට ද ඔහුට නොහැකි බව පැවසීමෙන් ගම්‍යමාන වන්නේ, මෙම පාගමන විමුක්ති කොටි සංවිධාය විසින් සංවිධාය කළ බවට අමාත්‍ය වරයා මුළා වී ඇති බවය (https://www.facebook.com/salakuna/videos/412022193226567/).එසේම අතුරු කතාවක් ලෙස, චමුදිත සමරවික්‍රම එම සංවාදයේ දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානිකයම් හට කතා කිරීම ඉගෙන ගැනීමට අවශ්‍ය බව පැවසීමද පෙන්වා දිය යුතුය.

දැන් එලබෙනුයේ මගේ කතාව කීමය. මා අධ්‍යන නිවාඩු ලබා ගැනීම වෙනුවෙන්, මා සේවයේ නිරත විශ්ව විද්‍යාලය සමඟ ඇපකරයක් අත්සන් කිරීමට යටත් අතර එහිදී ඇපකරුවන් දෙදෙනෙකු, විශ්ව විද්‍යාල නීතිඥවරයා සහ මගේ නීතිඥවරයා ඉදිරියේ අත්සන් කළ යුතුය. එහිදී විශ්ව විද්‍යාල නීතිඥවරයා, ඇපකරය උල්ලංඝනය කරමින්, මා විදේශයේ නතර වුවහොත්, වන නීතිමය තත්වය පැහැදිලි කළ යුතුය. එහෙත් මා සේවය කරනු ලබන විශ්ව විද්‍යාලයේ නීතිඥවරයා දේවවරම් තත්වයට පත් වෙමින්, මා සහ ඇපකරුවන් ද අපහසුතාවයට පත් කරමින්, වාචික හිංසනයක් සිදු කරන ලදී. එම හිංසනයේ එක් අවස්ථාවක් වුයේ, එක් ඇපකරුවෙකු, මා වෙනුවෙන් මෙයට ඇපවන්නේ ඇයි දැයි විමසමිනි. මෙවැනි හිංසා දෛනික රාජකාරියේ එක් කොටසක් වන, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, වෙනුවෙන් හඬක් නැගිය හැකි පාලන අධිකාරියක් හෝ වෘත්තීය සංගමයක් හෝ නොමැති වීම ඉතා කණගාටුවට කරුණකි.
මෙම අඛ්යානයන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය කවුරු, කුමක්, කා වෙනුවෙන් භාවිතා කරන්නේ ද යන්නය.

පොලිස් සහ අධ්‍යාපන ආයතනයන් ගේ පිතෘමුලික හිමිකමෙන් පීඩනය ට ලක් ව ඇත. පොලිසිය යනු හුදෙක්ම පුරුෂමූලික හිංසන යාන්ත්‍රණයක් පමණක් බවට වන ඉතිහාසයක් යටතේ ස්ත්‍රී යෝනියක් සහිත පත් කිරීම හරහා මේවන විට විට උත්කර්ෂණය ට නැගී පිතෘ මුලික පුරුෂ ලිගුවේ පොලිස් නියෝජන බලාධිකාරිත්වයට අභියෝගයක් එල්ල වී ඇත. තම පුරුෂ ලිඟු ව්‍යුහයට අභියෝගකාරී තම අනෙකා වන දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ජනවර්ග මුලින් උපුටා දැමීමේ පීඩනයෙන් ඉදිරියට යමින් එය අද තම වාර්ගිකත්වයේ අනෙකාගෙන් ලිංගික අනෙකා වන ස්ත්‍රී යෝනිය දක්වා දිගු වී ඇත. මෙම පොලිස් නිලධාරින් ගේ ක්‍රියාව හුදෙක්ම බිම්ශානි ට එදිරි ක්‍රියාවක් ලෙසට මා ලඝු නොකරමි.

මෙය ස්වභාෂා ප්‍රතිපත්තියේ සිට වාර්ගික අනෙකාට විරුද්ධව විකාශනය වී අද ලිංගික අනෙකාට විරුද්ධව ක්‍රියාත්මක වේ. එදා එම පීඩනය වාර්ගික අනෙකාට විරුද්ධව යොදාගන්නා විට, කිරිබත් කමින්, ප්‍රීති ඝෝෂා නැගී සමාජය, සහ එම දේශපාලන කදවුරේ නියෝජිතවරියන් ට, මේ මොහොතේ, ලිංගික අනෙකා හේතුවෙන් පිඩාවට පත්වන බිම්ශානි වෙනුවෙන් පෙනී සිටීමට තීරණ කිරීම ද දේශපාලන ව්‍යාජෝක්තියකි.

බිම්ශානි ස්ත්‍රියක් වීම හේතුවෙන් පිඩාවට පත්වන විට සුමන්දිරන් දෙමළ වීම හේතුවෙන් පිඩාවට පත් වේ. සුමන්දිරන් යනු දෙමළ ජනයාගේ නියෝජිතයකු ලෙස කෙසේ වෙතත්, ශිෂ්ට ගත, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස මා අර්ථනිරුපනය කරනුයේ ඔහු විසින් පසුගිය කාලය තුළ, මුලික අයිතිවාසිකම් ආරක්ෂණය සහ යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි. තමන්ගේ වෘත්තීය සගයකු වන හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නඟන ලද හඬ (https://www.newsfirst.lk/2020/12/10/mp-sumanthiran-questions-denial-of-justice-for-attorney-at-law-hejaaz-hizbullah/), 2018 පැරෂුටයක් ලෙස අගමැතිවරයකු පත්කිරීමෙන් මරාදමන ලද මෙරට ව්‍ය්වස්තානුකුලවාදය වෙනුවෙන් පෙනී සිටීම මගින් පෙනීයන්නේ, සුමන්දිරන් යනු හුදෙක්ම දේශප්‍රේමියෙකු පමණක් නොව ඒකාධිපති වියරුවට එරෙහිවන්නෙකු ලෙසය. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රේමනීයේකු පිඩාවට පත් කිරීමේ දී වාර්ගික විවිධත්වය භාවිතා කරමින් සරත් වීරසේකර අමාත්‍යවරයා සංකේත කරනු යේ, බිම්ශානි ට එදිරිව පොලිස් නිලධාරින් සිදු කරන අශිෂ්ට ක්‍රියාවලියම වේ.

එසේම මගේ විශ්ව විද්‍යාලයේ නීතිඥවරයා යනු සරත් වීරසේකර සහ බිම්ශානිට එදිරි පොලිස් නිලධාරින් ගේ ම නියෝජනයක්ම වන අතර මෙම නීතිඥවරයා උපකල්පනය කරමින් සිටිනුයේ මා සේවයේ නිරත විශ්ව විද්‍යාලය යනු තමාගේ රාජධානිය බවත්, එම රාජධානි ව්‍යුහය තුල මා වැනි ම ආධුනික වෘත්තීයවේදිනියන්, බලයට යටත්ව, සිදුවන වාචික හිංසනය ඉවසා සිටිය යුතු බවත්, එය අභියෝගයට ලක් කිරීම, බරපතල වරදක් බවත් ය.

මෙම ලිපිය අවසන් කරමින් මා යෝජනා කරනුයේ, දැන් සිදු කළ යුත්තේ, මෙලෙස විවිධ ස්වරුපයෙන්, විවිධ තල තුළ ගොඩ නැගී තිබෙන රාජධානි ව්‍යුහයන් මුලින් උපුටා දැමීමය. එහිදී එම රාජධානි ව්‍යුහයන් ප්‍රශ්න කළ හැකි ශක්‍යතාවක් අප ලබා දිය යුතුය. එසේනම් විශ්ව විද්‍යාලයේ නීතිඥවරයාගේම දිගුවක් වන පුරුෂ මුලික පොලිස් නිලධාරින් සහ සරත් වීරසේකර වැනි පුරුෂ මූලික ආරක්ෂකවාදින් විසින් ලිංගික, වාර්ගික හෝ වෙනත් අනන්‍යතාවයන් ජනයා පිඩාවට පත් කිරීම කිසි දිනක අවසන් නොකරනු ඇත. නැතිනම් සිදු වනුයේ, මහණ වීමෙන් පමණක් නොනැසී පවතීමට හැකි බව පෙන්වා දුන් Crudia zeylanica ශාකයට මෙන්, වාර්ගික, ලිංගික හෝ වෙනත් කුමන අනන්‍යතා අනෙකාට ද හුස්ම ගැනීමට පමණ හිමි ශරීරයක් සහිත සිටීමට, සිංහල බෞද්ධ වාර්ගික වාදීන්ගේ පිළිසරණ පැතීමට සිදු වනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon