ස’ පේල් වී නැතැයි කීවේ ස’මය.

“මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය. ජනාධිපති රාජපක්ෂට අනුව ලෝකයේ හොදටම කර තිබූ රට ලංකාවය. එම ප්‍රකාශය කරන විට ඔහුගේ මුහුණේ මාංශපේශි හැඩ රුව දැන් වුනත් වීඩියෝවකින් බලා ගත හැකිය. ඔහු සිටියේ කේන්තියෙනි. ඒ වීනය සිංගප්පූරුව වැනි රටවල් කොවිඩ් වසංගතයට මුහුණ දුන් හැටි ඔහු වෙත එවීම නිසාය.

ධර්මිෂ්ඨ රාජ්‍ය පාලකයකු නම් ඔහු කියා සිටිය යුතු වූයේ “වෙනත් රටවල් සාර්ථකව වසංගතය මැඩපැවැත්වූ උදාහරණ මට එවූ සියලු දෙනාට ම මා ස්තුති වෙනවා. වඩාත් හොඳින් කිරීමට අපි එවැනි රටවලින් ඉගෙන ගන්න ඕන.” කියාය.

රට පාලනය කරන රාජපක්ෂලා වසංගතයට මුහුණ දුන්නේ ලෝකයේ සාර්ථක අත්දැකීම් මගින් ඉගෙන ගනිමින් නොවේ. එම සාර්ථක අත්දැකීම් පදනම් වී තිබුණේ විද්‍යාවට මුල් තැන දීම, වසංගතය මැඩපැවැත්වීමේ මූලිකත්වය සුව සේවාවන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීම සහ මහජන සභාගිත්වය යනු සාධක මතය.

සාර්ථක ලෙස වසංගතය මැඩ පැවැත්වූ කිසිම රටක් ඒ කාරිය හමුදාපතිට බාර දුන්නේ හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් මිථ්‍යාමය ප්‍රතිකාර ප්‍රවර්ධනය කළේ හෝ මහජනයා දස දහස් ගණනින් අල්ලා ගෙන ගොස් සිරගත කළේ හෝ නැත.

කොවිඩ් වසංගතය සහ ඊට මුහුණ දීමේ අවිධිමත් සැලසුම් රාජපක්ෂලාගේ නොහැකියාව රටට පෙන්වන ඛේදවාචකයක් බවට දිනපතාම පත්වෙමින් තිබේ. වත්මන් ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ ඉතාම භයානක තත්වයකට මුහුණ දී සිටින බව කියන්නට තරම් දෙයක් නොවේ.

රෝහල් පිරී ගොසිනි. දැඩි සත්කාර ඒකකයන්ට දරා ගත නොහැකි තරම් රෝගීන්ය. අවශ්‍ය තරම් පහසුකම් නැත. සෞඛ්‍ය ඇමතිණී වන ප්‍රනාන්දු පුල්ලේ සුව සේවා පවත්වා ගැනීම පිනිස දානපතියන්ගෙන්ද රාජ්‍ය නොවන සංවිධානවලින්ද සහාය ඉල්ලයි. ඒ අතරවාරයේ රාජපක්ෂලා බිලියනයක් තරම් කොවිඩ් අරමුදලක් කොට්ටය යට තබා ගෙන සිටිති. රටෙහි ප්‍රධාන වෛද්‍ය සහ හෙද සමිති සමාගම් සියල්ල රට මුහුණ දී තිබෙන වසංගත අනතුර ගැන මාස ගණනාවක් පුරා ආණ්ඩුවට කරුණු දක්වමින් සිටිති. වසංගතය පාලනය කිරීම වෛද්‍ය සංගම් ඉදිරිපත් කළ නිර්දේශ වැඩි හරියක් රාජපක්ෂලා කුණු කූඩයට දැම්මෝය. අද පවා සිදුවන්නේ එයයි. රට වසා දැමීමකින් තොරව පැතිර යන වසංගතය පාලනය කළ නොහැකි බවට ලොවම පිළිගත් වෛද්‍ය වෘත්තිකයින් පවා කියා සිටියදී රාජපක්ෂලා රුසියානු සංචාරකයින් ගැන පාරම් බාමින් සිටියහ. රාජපක්ෂ මස්සිනකු වන මිග් උදයාංග රුසියානු සංචාරකයින් නැගෙනහිර වෙරළට ගෙන යන බවට කයිවාරු ගසා පැය 24ක් යන්නට මත්තෙන් ගුවන් තොටුපල වසා දැමීමට රාජපක්ෂලාට සිදුවිය.

එයම සැළැස්මක් නැතිකමේ දුෂ්ඨ සංකේතයකි. එම රාජපක්ෂ මස්සිනාම ගෙන්වූ මුඛ ආවරණ බාගෙට දමා ගත් යුක්රේනියානුවන් කොපමණ වයිරස ගෙන ආවේදැයි දන්නා කෙනෙක් නැත. දැන් යුක්රේනියානුවන් එන්නේත් නැත.

දැන් දිනපතා වාර්තා වන අසාදිත පිරිස 3500ක් තරම් වන මුත් වෛද්‍ය අංශ දක්වන්නේ අඩුම ගණනේ එමෙන් දෙතුන් ගුණයක්වත් සමාජයේ සිටින බවයි. ඔවුන් වේගයෙන් තවත් පිරිස් වෙත වයිරසය බෝ කරති. මසකට කොවිඩ් මරණ 1000 ඉක්මවන සීමාවට රට ගමන් කරමින් සිටී.

දැන් ශ්‍රී ලංකාවේ ද සොයා ගෙන ඇති ඉන්දියානු වයිරස ප්‍රභේදය කොතරම් භයානක විය හැකිද යන්න බ්‍රිතාන්‍ය කලබල වී සිටින තරමින් පෙනේ. එම ප්‍රභේදය පැතිර ගියහොත් කොවිඩ් සමාජ තහංචි ඉවත් කිරීමට තිබූ සැළසුම් කල් දැමීමට සිදුවෙතැයි එරට බියට පත්ව සිටී.

ශ්‍රී ලංකාවේ රාජපක්ෂලා ඉන්දියානු වයිරස ප්‍රභේදය ගෙන්වා ගත්තේ ඉල්ලං කෑමක් ලෙසය. ඉතා අඩු මිලකට ශ්‍රී ලංකාවේ සංචාරයට ඉන්දියානුවන් කැඳවන ලද්දේ එරට වසංගතය මහා පරිමාණයෙන් පුපුරා යමින් තිබියදීය. සමාජ ජාලයන්හි වයිරස වේගයෙන් පැතිරෙන එක් හඩ පටයකින් කියැවෙන්නේ වයසගතවූවන් නොසළකා හරිමින් ආණ්ඩුව ඔවුන් මැරෙන්නට හරින බවය. එම හඩපටිය නම් ගම් ඇතිවම ප්‍රකාශ කරන්නේ වයස්ගත වූවන් 40 දෙනෙකු පමණ ලොරියක නංවාගෙන හමුදාව රැගෙන ගිය බවයි. සමාජ ජාලයන්හි පැතරගිය කොවිඩ් වධ කඳවුරක රඳවා සිට මියගිය මහේශ්ගේ කතාව රාජපක්ෂලාගේ කොවිඩ් දේශපලනයේ රෙදි ගලවයි.

දෙදිනකට පෙර මා දන්නා අයකු එන්නත ලබා ගැනීමට පැය හතක් පෝලිමේ වේලෙමින් සිටියේය. ඔහුට වාසානාවට එන්නත ලැබුණු නමුත් ඔහුට පසු පසින් සිටි සිය ගණනාවකට එන්නත් අවසන් වූ නිසා හැරී යාමට සිදු විය. ඔවුහු රාජපක්ෂලාගේ පරම්පරාවම සිහිකරමින් දෙසේදෙවෙල් තැබූහ.

මා දන්නා තවත් අයකු එන්නත ලබා ගත්තේ බොරු ලිපිනයක් සහ බොරු වයසක් දීමෙනි. ඔහුට දෙවැනි එන්නත ලැබෙන දවසක් කීමට එහි සිටි කිසිවකු සමත් වූයේ නැත. එසේ නමුත් දේශපාලන සහ නිලධර පංතියේ වහලුන්ට පෝලිමක් නැත. ඔවුනට හොර පාරෙන් එන්නත ලැබේ. රාජපක්ෂ දේශපාලනය යනු ගජමිතුරු දේශපාලනයි. මාමන්ඩි ගුවන් ටිකට්වලින් ගසා කයි. සේනාධිපති නිරෝධයනයෙන් ගසාකයි. ඇන්ට්ජන් බාර දිලිත්ටය. බැසිල් ඇමෙරිකාවේ සැප ගනියි. රාජපක්ෂලා මෙරට එන්තත ලබා දෙන්නේ කිසිදු සැළැස්මකින් තොරවය. පොදු ජනයාට පැය ගණන් පෝලිම්වල සිටීමට සිදු වනවා පමණක් නොව එන්නත් අවසන් වූ පසු හිස් අතින් ආපසු යාමට ද සිදුවෙයි. එන්තත් චිට් දේශපාලනය රාජපක්ෂලාගේ ගෙන ආ තවත් සාපයකි.

ආණ්ඩුව මුල් වටයේදී ප්‍රමාණවත් තරම් එන්නත් ලබා ගැනීමට උනන්දු වූයේ නැත. අංක එකේ රාජපක්ෂ වහලකු වන වාසුදේව නානායක්කාර ලංකාවේ දේශීය ඖෂධ තිබෙන බැවින් බටහිර එන්නත් අවශ්‍ය නැතැයි කීවේ පාර්ලිමේන්තුවේදීය. නමුත් ලැජ්ජා නැතිව ගොස් ඒන්නත මහජනයාට කලින් ලබා ගත්තේය. අන්තිමේදී මෙරට ජනයාට ලැබුණේ චීනයෙන් ගෙන්වන ලද සියනොපර්ම් එන්නතයි. එය තිබෙන්නේ අනෙක් එන්නත් තුනටම පසුපසිනි. වයස 60ට වැඩි පුද්ගලයින් සහ ගර්භණී මව්වරුන්
සඳහා එය අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන සේ පරීක්ෂාවට භාජනය කර නැත. එසේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

නමුත් දැන් මෙරට වයස 60ට වැඩි ජනයාටත් සයිනොපර්ම් එන්නත විදිනු ලැබේ. ලෝකයේ සෑම සංවර්ධිත රටකම එන්නත ලබා දුන්නේ 80ට වැඩි, 70-80 අතර, 60-70 අතර 50-60 අතර වයස් කාණ්ඩ වලට අනුපිළිවෙළිනි. ඊට අමතරව සුව සේවාවන්ට, පොදු ප්‍රවාහණ සේවකයින්ට, සුපිරි වෙළදසැල් සේවකයිනට සහ අසනීප තත්වයන් ඇති අයට ප්‍රමුඛත්වය දෙන ලදී. එමෙන්ම එන්නත් ලබා දෙනු ලබන්නේද ක්‍රමවත් ලෙස සකස් කරන ලද ලැයිස්තු අනුවය.

මෙරට දී පෝලිමේ එම ඕනෑම අයකුට එන්නත ලබා ගත හැකිය. බෙහෝ රටවලදී ප්‍රථම එන්නත දුන්නේ දෙවැනි එන්නත වෙන්කර තබා ගනිමිනි. නමුත් රාජපක්ෂලාට කිසිදු සැළැස්මක් නොතිබූ බැවින් ලද ඇස්ට්‍රා සෙනකා එන්නත් සියල්ලම ප්‍රථම වටය සඳහා පාවිච්චි කළේය. දැන් එම එන්නත් ලද මහජනයාට දෙවැනි එන්නත ලබා ගැනීම ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. නමුත් රාජපක්ෂලාට එවැනි ප්‍රශ්ණයක් ඇති බවත් පෙනෙන්නට නැත. ඔවුන් සම්පූර්ණ එන්නත ක්‍රියාවළියම සම්පූර්ණ කර ඇති
සැටියකි. ඔවුන් එන්නත ලබා ගත්තේ කවදා කොතැනකදී ද කියා දන්නා කෙනෙකුත් නැත.

නිදසුනක් ලෙස එන්නත් දීම මැතිවරණ දෙපාර්ථමේන්තුව සහ සෞඛ්‍ය දෙපාර්ථමේන්තුව එක්ව ක්‍රියාවට නැගූයේ නම් මෙම අපිළිවෙළ බොහෝ දුරට අඩු කර ගන්නටත් එන්නත ලබා ගන්නා අයගේ නම් නිවැරදිව සටහන් කර ගන්නටත් තිබුණි. එසේ වී නම් දෙවැනි එන්නත ද ඒ පිළිවෙළට දීමට ද තිබුණි. ඒ වෙනුවට රාජපක්ෂලා තමන්ගේ කෝකටත් තෛලය වන බලය පාවිච්චි කිරීම සහ යුද හමුදාවට බාරදීම මගින් වසංගතය මැඩ පැවැත්විය හැකි යැයි සිතුවේය. ඒ කොතරම්ද යත් දිස්ත්‍රික්ක 25ටම කොවිඩ් මැඩළීම සම්බන්ධීකරණය සඳහා යුද හමුදා ජෙනරල්වරු 25දෙනෙකු ද පත් කළේය. අද ඒ ජෙනරල්වරුන්ට වූ දෙයක් දන්නා අයෙක්වත් නැත. රටපුරා

ගිනි ජාලාවක් මෙන් වසංගතය පැතිර යන්නට පටන් ගත්තේ එළෙස ජෙනරල්වරු පත්කිරීමෙන්ද පසුය. අන්තිමේදී යුද හමුදාවත් බැරි වැඩ බාරදීම නිසා දෙකේ කොළයට වැටුනි. රාජපක්ෂලාගේ කතානායකවරයා පාර්ලිමේන්තුවෙහි දී ම ධම්මික පැණිය ඔජ වඩා බිව්වේ රටේ හැම දෙනාට ම බීපල්ලා යැයි කියන්නට මෙනි. ධම්මික පැණිය ආණ්ඩුව කොතරම් අඥාණ ලෙස විශ්වාසයට ගත්තේ ද යත් එය ගැන පරීක්ෂා කිරීමට විද්වත් වෛද්‍ය කමිටුවක් ම පත් කළේ ය. පවිත්‍රා දේවී සෞඛ්‍ය
ඇමැතිවරිය එය පානය කර රටටම අණබෙර ගැසුවේ ය. ජයසුමන සෞඛ්‍ය ඇමතිවරයා එය නියම ඖෂධය බවට මාධ්‍ය සාකච්ඡා පවා තිබ්බේය.

අගමැති රාජපක්ෂගේ රාජකීය වෛද්‍යවරයා වතුර මුට්ටිවලට මතුරා ගංගාවන්ට දමා වසංගතය මැඩලිය හැකි යැයි කීවේ ය. මැති ඇමැත්තෝ රෙදි ඇදන්ම ගොස් රූපවාහිනි කැමරා ඉදිරියේ මුට්ටි පූජාව කළෝ ය. ඉන් පසුව අපට කීවේ ඉන්දියාවේ වසංගතය මැඩළීම පිනිස ඒ රාජකීය හොර වෙදා විශේෂ ගුවන් යානයකින් එරට බලා යන බවයි. මුට්ටි වෙදා ගිය ඉන්දියාවෙහි ගංගාවන්ට දැන් දැමෙන්නේ මුටිටි නොව කොවිඩි මළ සිරුරැය.

රාජපක්ෂලාගේ සාමන්‍ය දැනුම සහ අඥන දේශපාලනය තේරුම් ගැනීමට ධම්මික පැණියට හැත්ත බුරුත්ත පිටින්ම දමනය වූ සැටියෙන් මෙන්ම මුට්ටි පූජාවෙන් සහ ඉන් පසු ගෝඨාභය වියතකු වන ජයසුමන ප්‍රචාරය කළ අයුර්වේද චූර්ණයෙන්ද සිතා ගත හැක. එයට කලින් ජයසුමන නාවික හමුදාවට දුම් මුට්ටි විජ්ජාවක් පෙන්වු
නමුත් ඉන් වූ බිජ්ජක් නැත. රාජපක්ෂලා ගිලී ඉන්නේ අවිදු අදුරෙහිය. නූතන ලෝකයට ශ්‍රී ලංකාව ගෙනයා හැකි නූතන දැක්මක් ඔවුනට නැති බව පෙන්වන
හොඳම නිදසුන වසංගතය හමුවේ ඔවුන් දැක්වූ සහ දක්වන අඥාන ප්‍රතිචාරයන්ය.

නව කොරොන වැනි භයානත වයිරසයක් හමුවේ පවා පැණි සහ මුට්ටි මගින් මගින් වසංගතය පළවා හැරිය විශ්වාස කළේත් එසේ කළහැකි යැයි රට හමුවේ කීවේත් ඔවුන්ය. දැන් පැණිත් නැත. මුට්ටිත් නැත. දුම් හට්ටිත් නැත. ඇත්තේ දිනෙන් දින ඉහළ යන කොවිඩ් මරණ සහ රටපුරා කැරෙන සාප කිරීම් පමණය.

අද රට පුරා අපට පෙනෙන්නේ කට්ට කපටි කෛරාටිකයකු විසින් ප්ලාස්ටික් බෝතලයක දැමූ නයකුට, දේවතාවකු යැයි කියා වැදුම් පිදුම් කළ පවුලක් රට පාලනය කරන විට සිදු විය හැකි නස්පැත්තියයි.

රාජපක්ෂ දේශපාලනය දැන් ගමන් කරන්නේ එහි අවසාන අදියර කරාය. එය දැන් ඇවිදින මළමිනියක් වැනි සොම්බියෙකි. එය දැනටමත් සදාචාරාත්මකව පරාජය වී හමාරය. එය බලයේ සිටියද ඒ මළකුණක් ලෙසනි. නමුත් මතක තබා ගත් යුත්තේ සොම්බින්ටත් පැටවුන් ගසමින් ඉබේම දෙඟුන තෙඟුන වීමේ මාරක හැකියාවක් ඇති බවයි. සොමිම්බියෙක් පැරදවීමට තවත් සොම්බියකුට බැරිය. ඊට නව ජවයක් සහිත අලුත්ම ආත්මයක් අවශ්‍ය වේ.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya