iMage:ThyagiRuwanpathirana/ VIKALPA

අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ අපරාධය ට අද, ජූනි 15 දා ට වසර 7ක් ගතවිය.

දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ(15) අද වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය.

ඉන්පසු තත්ත්වය උණුසුම් වූයේත් ඇදිරි නීතිය දමා තිබිය දී ය. මුස්ලිම්වරුන්ට අයත් දේපල විශාල වශයෙන් ගිණිබත් වුයේත් ඇදිරි නීතිය දමා තිබිය දීය.

කෙසේනමුත් මෙම ප්‍රහාරයන්ට ‘බොදු බල සේනාව’ සම්බන්ධ යැයි චෝදනා නැගිණි. එසේම සියලු අපරාධයන් සිදුවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු කළ ‘සුභ අනාගතයක්‘ නම් ‘ආණ්ඩුව ශ්‍රී ලංකාව පාලනය කරන සමයෙහි ය’.

නමුත් 2015 ජනවාරි 8 වනදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වනතෙක් ‘සුභ අනාගතය‘ නම් පාලනයට ඒ අපරාධයට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට පැමිණවීමට අපොහොසත් විය. අපොහොසත් වූවා පමණක් නොව ඒ සදහා කිසිදු ක්‍රියාවලියක් ‘සුභ අනාගතය‘ නම් ආණ්ඩුවට කළ නොහැකි වූ හේතුව සැගවීමට නොහැකි වූයේ ඒ අපරාධයට හවුල් වූවා යැයි චෝදනා ලැබූවන් ඇතැමුන්ගේ සුරතලුන් වීමය.

නමුත් 2015 ජනවාරි 8න් පසු බලයට පත් වූ රනිල්, මෛත්‍රී ‘යහපාලන’ නම් වූ ආණ්ඩුව අවසාන වන තෙක්ම එම අපරාධයන් සිදුකළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කිරීමට ද නොහැකි වීම විශේෂත්වයකි.

නමුත්, රනිල් වික්‍රමසිංහ නම් එවකට විපක්ෂනායකවරයා මෙසේ කීවේය. ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල් (කියවන්න) විපක්ෂනායකව සිටි සමයේ ‘අපරාධයන් සිදුකළ මැරයන් හදුනනවා’ යැයි කියූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවටත් අලුත්ගම ‘කලු ජූනියක්’ කල අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කිරීමට නොහැකි විය. ‘නොහැකිවීම’ කෙසේ වෙතත් එයට දේශපාලන අභිලාෂයක් තිබුණා දැයි සැක සහිතය. එය එසේ වන්නේ එම අපරාධයට චෝදනා එල්ලවෙමින් තිබූ ගලගොඩ අත්තේ නම් භික්ෂුව සහ යහපාලන ආණ්ඩුව ඇතැම් ප්‍රභලයන් අතරේ පෙනේනට තිබූ ඇයි හොදයිකම්ය.

ප්‍රහාරයන්ට පෙර

එම බිහිසුණු රාත්‍රිය උදාවීමට පෙර බොදුබල සේනාවේ උම්මත්තක පිරිස් එම ප්‍රදේශයට ගොස් කළ තර්ජනයන් මුලු ලොවම දුටුවෝය. එහිදි බොදුබල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර නම් භික්ෂූව එහීදි සිදුකල ප්‍රසිද්ධ ප්‍රකාශය ප්‍රචණ්ඩත්වයට ආරාධනාවක් වැනිය. නමුත් නීතිය ගල්ගැසී බලා සිටියේ ය. ඇදිරි නීතිය දමා තිබිය දී, හමුදාව සහ පොලීසිය ද බලා සිටියදී මුස්ලිම්වරුන්ගේ ගෙවල් දොරවල් ගිණි ගත්තේය. ඔවුන්ට පහර දෙමින් ජීවිත කිහිපයක් බිලි ගත් හැටිත් දැන් ලෝකයට වසන් කිරීමට නොහැකිය.
(See; Publick Speech BBS)

දැන් එම අපරාධයට වසර 7ක් ගතවී තිබේ. ඉන්පසු ආණ්ඩු 2කක් ලංකාවේ පාලනය හොබවා දැන් 3වන ආණ්ඩුව හෙවත් එම අපරාධය සිදුකරන අවස්ථාවේ තිබූ රාජපක්ෂ ආණ්ඩුවේම තවත් පිටපතක් ලෙස ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් දැන් ලංකාව පාලනය කරයි.

නමුත් අලුත්ගම දර්ගාව ‘කලු ජූනියක්’ කළ ඒ අපරාධයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ඒ කිසිවෙක්ටවත් නොහැකි වී තිබේ. එබැවින් එවන් සහාසික අපරාධයන්ට වගකිවයුතු අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට නොහැකි පාලනයක් ‘නීතියේ පාලනයක්’ සමාජයක් තුළ ඇති කරනු ලබයිද? අපරාධයන්ගෙන් පීඩාවට පත් වූ වින්දිතයාට යුක්තිය ඉටුනොකරන ඕනෑම පාලනයකින් තවදුරටත් යුක්තිය බලාපොරොත්තු විය හැකිද? එබැවින් යහපත් ලංකාවක් පිළිබද අපේක්ෂා ඇති සියලු පුරවැසියන්ගේ මේ අවදියේ එක් සඨන් පාඨයක් වියු යුත්තේ ‘යුක්තිය’ පිළිබද සටන් පාඨයයි. එසේ නොමැතිව, මහවැලියේ සිට නෙලුම් කුලුන දක්වා විසල් ව්‍යාපෘති පමණක් සිදුකිරීමෙන් ඵලක් වන්නේ නැත.