iMage; Lakmal Baduge/ Trincomalee

‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ සිදු වනවා..” යැයි පුවතක් මාධ්‍ය වාර්තා කරන්නේ අද(23) වන දා ය.

කොළඹ රන් පාලම් තැනෙන විට, පාලමක් නැතිව, පාරුවෙන් පාසල් යන්න ගොස් කින්නියා දරුවෝ පාරුව පෙරළිලා මිහිදන් වෙන එක අධි තාක්ෂණික පාලම් තැනෙන රටක සිදුවීම කොතරම් ඛේදවාචකයක්ද? ‘කල්‍යාණී රන් පිවිසුම’, නෙලුම් කුළුනු, ඇවිදින මංතීරු ආදී තවත් බොහෝ ‘සංවර්ධන’ යැයි කියා ගනිමින්, උජාරු නම්වලින් ලංකාවේ ඉදිකිරීම් සිදුකරන විට, කොළඹින් ඈත ත්‍රිකුණාමලයේ සිදුවන මෙවන් දේවල් ‘අපරාධ’ නොවන්නේද?

සැබැවින්ම මේවා අනතුරු ස්වාභායක් ගත්තද, මේවා අපරාධය න් ය.

වසර 73ක් තිස්සේ සෑම පාලකයෙක් විසින්ම සිදුකරන, සිදුකරමින් ඇති මිනිසුන් ඛේන්ද්‍රීය නොවන ‘සංවර්ධනය’ යැයි කියා ගන්නා ප්‍රතිපත්තීන්වල ප්‍රතිඵලයන්ය. කෝටි ගණනින් මුදල් වැය කර අහස උසට බිල්ඩින් තැනුවත් මේ කුඩා දිවයිනේ, පාලමක් නැතිව අබලන් පාරුවන් පෙරලිලා දරුවන් මිය යාම වසර 73ක් රට පාලනය කල පාලකයන්ගේ වරදක් බව බහුතරයක් මිනිසුන් තේරුම් ගන්නේ කවදා ද? රොකට් යවන්න දත කන දේශපාලන පුත්තු ඉන්න රටක, පාලමක් නැතිව, පාරුවක් පෙරළිලා දරුවෝ මැරෙන එක දඩුවම් ලැබිය යුතු ‘අපරාධයක්’ යැයි වටහා ගන්නට තවත් කොපමණ කලක් ගතවේද?

අපරාධයක්!


කෝටි ගණනින් මුදල් වැයකර යෝධ ව්‍යාපෘති සිදුකරණ රටක් කොළඹින් ඈත මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන මාර්ගයක්, පාලමක් සකස් කර දීමට වසර 73ක් පාලනය කල කිසිදු පාලකයෙක් අසමත් වන්නේ නම්, වරදකරුවන් පාලකයන්ය. ‘යුද ජයග්‍රහණය’ සැමරීම සදහා කෝටි ගණනක් වියදම් කර සෑයවල් හදන රටේ, මේ දුප්පතුන් වෙනුවෙන් පාලමක් තනා දුන්නා නම් තවමත් ඒ දරුවන් හුස්ම ගන්නවා ඇත. ජීවිත දහස් ගණනින් මිහිදන් කර ඒ මිනී ඇටකටු මතින් අවිහිංසාවේ ධර්මය වන බුද්ධාගම භාවිතා කරමින් එහි සංඛේත ඉදි කිරීමට තිබෙන උනන්දුව මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කැපකිරීමට තවමත් මේ භූමිය සූදානම් නැත. කිසිදු පාලකයෙක් සූදානම් බවක් පෙන්වා නැත. පෙන්වමින් ඇත්තේ ද නැත. එබැවින් මිනිසුන්ගේ ජීවිතයේ සුවද වෙනුවට, දූෂණයට, වංචාවන්ට, ඝාතනයන්ට ආදී දේ වෙනුවෙන් වන කිසිවෙක්, කිසිදු දිනක කින්නියා වැනි තැන්වල දරුවන්ගේ සුවද හදුනා ගන්නේ නැත. මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

කේසර සමරසිංහ | Kesara Samarasinghe