iMage: Vikalpa Cartoon

අද (10) ජගත් මානව අයිතිවාසිකම් පිළිබද දිනය බව ලෝකයම දන්නා බව රහසක් නොවේ. ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩා විදින කාලයක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙවර මානව අයිතිවාසිකම් දිනයේ තේමාව ලෙස තෝරා ගෙන ඇත්තේ ‘සමානත්වය – අසමානත්වය අවමකරමින්, මානව අයිතිවාසිකම් පෙරට ගෙන යාම’ ය. ‘වෙනස්කොට නොසැලකීම’ මානව හිමිකම්වල එක් ප්‍රධාන ලක්ෂණයකි. නමුත් කොවිඩ් වසංගතයත් සමග විශේෂයෙන් ලංකාවේ වෙනස්කොට සැලකීමේ නිධන්ගත ලක්ෂණය නැවතත් සීග්‍රයෙන් ඉහළට එසවිනි. එය කොවිඩ් රෝගීන් ට වෙනස් කොට සැලකීමේ සිට කොවිඩ් සෑදිමෙන් මිය යන මිනිසුන්ගේ මෘත දේහයන්ට පවා වෙනස්කොට සැලකීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබිණි. එහි විශේෂය වූයේ එය සමාජය තුළින් සේම, ප්‍රධාන වශයෙන් ආණ්ඩුව තුළින් ද මතුවීමය.

ලංකාවේදී වෙනස්කොට සැලකීම, ජනවාර්ගික, ආගමික, වරප්‍රසාදිත වැනි ප්‍රපංචයන් මුල් කර ගනිමින් වසර ගණනාවක් පුරා දලුලා වැඩෙන්නක් විය. එය වසර ගණනාවක් ප්‍රචණ්ඩත්වයේ බීජ රෝපණය කළේය. ඒ ප්‍රචණ්ඩත්වය විසින් ඇති කළ තත්ත්වයන් මිනිස් සංහාරයන් තුළින් අවසන් විය. එසේ අවසාන වුවත් තැනින් තැන මතු වූ ප්‍රචණ්ඩත්වයන් නිසා ලංකාවේ භූමිය තුළ තවමත් පීඩා විඳින මිනිසුන්, ඒ පීඩාවෙන්ම දිවි ගෙවති.

වසර ගණනක් තිබූ ඒ ප්‍රචණ්ඩකාරී පීඩාව, වසංගතය නීසා වඩා ත්‍රව් විය. මානව හිමිකම් පිළිබද එවැනි තේමාවක් ලෝකය යෝජනා කරන විට, අද අපි දිවි ගෙවන්නේ එවන්න තත්ත්වයකයි.

මානව හිමිකම් දිනට පෙර ලංකාව

පසුගිය කාලයේ දෙසැම්බරයේ මානව හිමිකම් දිනයට පෙර සිදුවූ සිදුවීම් ඉතාමත් තියුණුය. එය 2021 දෙසැම්බරයේ 09වනදාත් එසේමය. 2011 දෙසැම්බර් 09 වනදාත් එසේමය. උදාහරණ දෙකක් බලමු.

එකක් නම්, ලලිත් කුමාර් වීරරාජ්-කූගන් මුරුගානන්දන්, දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා, 2011 මානව හිමිකම් දිනයට පෙර එනම් 2011 දෙසැම්බර් 09 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේය. ඔවුන් දෙදෙනා පිළිබද කිසිදු තොරතුරක් අදටත් නැත.

අනෙක නම්, තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස්, අතුරුදහන් කිරීම ඇතුලු බරපතල වැරදි ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවකු ලංකාවේ ඉතිහාසයේ පළමු වරට පළාත් ආණ්ඩුකාරවරයකු ලෙස පත් කිරීමයි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස මෙළෙස පත් කර තිබේ. මෙයත් සිදුකර ඇත්තේ මානව හිමිකම් දිනය කට උඩ තබා ගෙනය.

මේ සිදුවීම් දෙක බැලූ බැල්මට ස්වාභාවයෙන් දෙකක් ලෙස පෙනුනත් අභ්‍යන්තරයෙන් දිවෙන්නේ එකම මාදිලියක ස්වාභාවයකි. එනම් අපරාධයකට යුක්තිය ඉටු කිරීමට වසර 10ක් ගතවුවත් නොහැකි වූ රාජ්‍යක්, එය අපරාධ රාජ්‍යක ලක්ෂණයක් නොවේද? එසේම අතුරුදහන් කිරීම ඇතුලු වැරදි කිහිපයකට චෝදනා ලබූවකු රාජ්‍ය යේ ඉහළ තනතුරකට පත්කිරීම තුළින් පෙන්නුම් කරන්නේ, එම පාලනය එම ‘අපරාධයන්’ සදහා කිසිදු දිනක ‘යුක්තිය’ ලගා කර දිමට කල්පනා නොකරන පාලනයක් බවය. මේ උදාහරණ දෙක ලංකාවේ මානව හිමිකම් පිළිබද හරස්කඩක් පිළිබද කියවා ගැනීමට හොදටම ප්‍රමාණවත්ය.

ලංකාවේ මානව හිමිකම් දිනයට පෙර දින උදාහරණ දෙකක් පමණක් වුවත්, වසරේ බොහෝ අවස්ථාවන් වලදී එවැනි පන්නයේ හෝ ඊට ආසන්න ලෙස සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් බහුල රටක් ලෙස ලොව හමුවේ නිරාවරණය වී අවසන්ය.

ලංකාවේ පසුගිය දශක කිහිපය පුරාම මිනිස් ඝාතනවලට, පැහැරගෙනයාම්වලට, අතුරුදහන් කිරීම්වලට, කිසිදු ආකාරයක යුක්තියක් පේන තෙක් මානයක නැත. නීතියට පිටින් සිදුකරන ඝාතනවලට විරුද්ධවීම සමාජයේ බහුතරය මෙන්ම, පාලකයන් ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතනද මග හැර ඇත. තවද බන්ධනාගාරවල සිටින රැදවියන් ද ඝාතනයට ලක්වීම පිළිබද ශ්‍රී ලංකා රාජ්‍ය නම් දැරූ බව නොරහසකි. එසේම පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය ද මේ වන විට සුලභ ලක්ෂණයක් වී ඇත. අධිකරණය වෙනුවට පොලීසිය විසින් දඩුවම් දීමේ මෘග පිළිවෙත කරා ඉතා සීග්‍රයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඇදී යන බව පෙනී යයි. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වැරදිකරුවන් බව තීරණය කරනු ලබන්නේ අධිකරණය විසින් නොව, පොලීසිය විසින් බව පසුගිය ආසන්න කාලය තුළ සිදුවූ ඝාතනයන්ගෙන් පෙනී යයි.

මානව හිමිකම් පිළිබද ලාංකීය ප්‍රගතිවාර්තාව එවැනි තත්ත්වයක් ගන්නා විට, මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය පවත්වා ගැනීම පිළිබද ප්‍රශ්ණය සීග්‍රයෙන් අප ඉදිරියට පැමිණෙමින් තිබේ. එබැවින් වසර ගණනාවක යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් පවත්වා ගත් ලාංකීය සමාජය, ‘විනය’ පෙරට දමා ගෙන පසු පසට ඇද ගැනීමේ අශීලාචාර (අ)දේශපාලනයට, ප්‍රතිදේශපාලනයක් සමාජය තුළ පැළ කල යුතුය. එය මානව හිමිකම් මත පදනම් වූ, ප්‍රජාතන්ත්‍රීය පාලනයක් මිස හුදු ‘ආණ්ඩු පෙරළීම’ පමණක් වූ දේශපාලනයක් නොවිය යුතුය.

එපමණක් ද නොව මානව හිමිකම් දිනයේ දී අප පසක් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ, දශක ගණනක් පුරා සිදුකරන ලද අපරාධයන්ට වගකිව යුතු සහ එම අපරාධයන්ට සහය වූ සහයකයන් නීතිය හමුවට පමුණුවා, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පළමු පියවර බවයි. එසේ නොවන තාක් කල් ලංකාවේ මානව හිමිකම් ප්‍රගති වාර්තාව සතුටුදායක වාර්තාවක් වන්නේ නැත. රාජ්‍ය ශීලාචාර රාජ්‍යක් වන්නේ ද නැත.

දකුණු අප්‍රිකානු කළු ජාතික ශිෂ්‍ය නායකයෙකු වූ ස්ටීව් බිකෝ විසින් තමන්ට එරෙහි නඩු විභාගයේදී මෙසේ කියයි.

‛‛මම කථා කරන්නේ වචන ගැන නොවෙයි. මම කතා කරන්නේ පොළිසිය විසින් අසරණ මිනිසුන්ට පහර දෙමින් කරන හිංසාව ගැන….මම කතා කරන්නේ ආයුධ නැති කලු මිනිසුන්ට පොළිසිය වෙඩි තැබීම ගැන….මම කතා කරන්නේ පැල්පත් නගරවල මිනිසුන්ව බඩගින්නේ තබා කෙළින්ම නොව වෙනත් ආකාරයකින් කරන හිංසාව ගැන….කදවුරුවල සිටින ජනතාවගේ බලාපොරොත්තු රහිතකම ගැන….ඔවුන්ගේ අසරණකම ගැන….මම හිතන හැටියට මේ සියල්ල එකතුකළ විට අර මිනිසුන් කතා කළ වචනවලට වඩා ලොකු ත්‍රස්තවාදයක් එතැන තියනවා.’’