iMage: Jai_Bhim

‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇති මැන්ඩෙලා රීති (Mandela Rules) මඟින් සිරකරුවන්ට හිමි විය යුතු අවම මානූෂීය තත්ත්වයන් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ලේඛන ගත කොට ඇත. ශ්‍රී ලංකාව ද සිරකරුවන්ගේ අයිතිවාසිකම් නීතිය මඟින් පිළිගනු ලබන අතර ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයේ ඇති ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න මෙම කතිකාව ශ්‍රී ලංකාව තුළ ද යම් ආකාරයකට ස්ථාපිත වී ඇති බවට සාක්ෂියකි. කෙසේ වෙතත් ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යනුවෙන් කතිකාවක් ගොඩ නැඟීමට හේතු වන්නේ සිරකරුවන් දෙස මනුෂ්‍යයන් මෙන් නොබැලීමට සමාජයේ යම් ප්‍රවණතාවයක් පවතින බව ලෝකයේ මේ සම්බන්ධයෙන් යම් උනන්දුවක් දක්වන කොටසක් විසින් අවබෝධ කර ගැනීම හේතුවෙනි.

මෙම ලිපිය තුළින් යම් කතිකාවක් ඇති කිරීමට උත්සහ දරනුයේ ‘සිරකරුවන්ගේ පවුල් වල අයද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳවය. මේ පිළිබඳව ප්‍රමාණවත් කතිකාවක් මේ වන තුරුම ඇති නොවන්නට හේතු වන්නට ඇත්තේ, මිනිසුන්ට සිරකරුවන්ගේ පවුල් වල අයට මුහුණ දෙන්නට සිදු වන තත්ත්වයන් පිළිබඳව ඇති නොදැනුවත්කමය.

සිරකරුවන්ගේ පවුල් වල අයට මානුෂීය සැලකීමක් නොලැබෙන බවට දැනීමක් බොහෝ මිනිසුන් තුළ නොමැත්තේ, හා ඒ පිළිබඳ ප්‍රමාණවත් කතිකාවක් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී නොමැත්තේ, එම පවුල් වල කතාන්දරයන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී නොමැති නිසා වන්නට ඉඩ ඇත.

පසුගිය දින වල ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් ඉතා ආසාවෙන් නැරඹූ දමිළ නළු සූර්යයා රංගනයෙන් දායක වූ ජෙය භීම් (Jay Bhim) දමිළ චිත්‍රපටය සිරකරුවන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන ඛේදවාචකයේ එක් පැතිකඩක් මනාව පෙන්නුම් කරයි. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේදී ඉන්දියානු සමාජයේ පහත් යැයි සම්මත කුලයක පුද්ගලයෙකු පොලීසිය විසින් රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සෙවීමේ දී ඔහුව සොයා ගැනීමට අපහසු වන බැවින් ඔහුගේ භාර්යාව, සහෝදරයින් ඇතුලූ පවුලේ සාමාජිකයින් පොලිස් ස්ථානයට ගෙනවිත් අමානුෂික වධහිංසනයන්ට ලක් කරන ආකාරය අන්තර්ගත වේ.

මීට සමාන වූ සිදුවීමකදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද 2021 දෙසැම්බර් මස 6 වන දින SCFR 531/2012 යන නඩුවේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට විරුද්ධව නඩු තීන්දුවක් ලබා දෙන ලද අතර එහිදී ද සිදු වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් විසින් අපරාධයක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ විට එම පුද්ගලයාගේ සහෝදරියට දුරකතනයෙන් තර්ජනය කොට පොලිස් ස්ථානයට කැඳවාගෙන හිරිහැරයට ලක් කිරීමකි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවේදී දරන ලද මතය අනුව පෙනී යන්නේ යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරනු ලබන හෝ වරදකරු කරනු ලබන පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයන්ට දඩුවම් කිරීමට හෝ හිරිහැර කිරීමට හැකියාවක් ලංකාවේ නීති ක්‍රමය තුළ නොමැති බවයි.

කෙසේ වුවත් 2021 දෙසැම්බර් මස 6 වන දින ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙලෙස තීන්දු කරන විට 2021 දෙසැම්බර් මස 9 වන දින අපට මහනුවරින් අසන්නට ලැබෙන්නේ මෙයට පරස්පරවිරෝධී සිදුවීමකි. එනම් මහනුවර කතෝලික පදවියේ, මානව හිමිකම් කාර්යාලය විසින් බන්ධනාගාරගතවූන්ට සාධාරණ නඩු විභාගයක් ලබා දීමටත්, මානව ගරුත්වය සහ මානුෂීය තත්ත්වයන් යටතේ සිටීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් ‘බන්ධනාගාරගතවූවන්ගේ පවුල් එකමුතුව’ නම් කණ්ඩායම විසින් සිදු කලා වූ කාර්යභාරය ඇගයීමට ලක්කිරීමට දරණ ලද ප්‍රයත්නයක් මහනුවර පොලීසිය විසින් අධිකරණ නියෝගයක් මඟින් වැලැක්වීමකි.

2008 වර්ෂයේ සිට මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වන මෙම මානව හිමිකම් දින සැමරුමේදී මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කල විවිධ ආගම් හා ජාතීන්ට අයත් මානව හිමිකම් නීතිඥවරුන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, ආගමික පූජකවරුන්, රජයේ නිළධාරීන් හා වින්දිතයින් ඇතුලු විවිධ කණ්ඩායම් මින් පෙර ඇගයීමට ලක්කොට තිබූ අතර 2018 වර්ෂයේ දී 1980 දශකයේ අග භාගයේ දී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ කණ්ඩායමක් ද ඇගයීමට ලක් කොට ඇත. මෙම වසරේත් මෙම මානව හිමිකම් දින සැමරුම දෙසැම්බර් මස 11 වන දින පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර එදින මහනුවර මානව හිමිකම් කාර්යාලය සමඟ වසර 10ක පමණ කාලයක් කටයුතු කර තිබුණු බන්ධනාගාරගතවූවන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ එකමුතුව ඇගයීමට ලක් කිරීමට සැලසුම් කර තිබී ඇත. මෙලෙස ඇගයීමට ලක් කිරීමේදී බන්ධනාගාරයේ සිටින හෝ සිටි පුද්ගලයින් කලා යැයි සලකනු ලබන වරදේ ස්වාභාවය නොසලකා අදාල පවුලේ සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් පමණක් එම ඇගයීම සිදු කිරීමට කටයුතු යොදා තිබී ඇත.

මෙදින ඇගයීමට ලක් කිරීමට නියමිතව සිට ඇති කණ්ඩායමෙහි වයස අවුරුදු දෙකහමාර, පහ, නමය වයස්වල කුඩා දරුවන් තිදෙනෙකු තනිවම උස්මහත් කරමින් බන්ධනාගාරයේ සිටි එම දරුවන්ගේ මව බැලීමට නිතර දෙවේලේ බන්ධනාගාරයට ගිය වයස අවුරුදු 76ක් වන මිත්තනියක ද සිට ඇත. එම දරුවන්ගේ පියාව අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් මව ව අත්අඩංගුවට ගෙන වසර 7ක පමණ කාලයක් රිමාන්ඞ් බන්ධනාගාර ගත කොට තිබී පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන අවස්ථාවේදී එම මව ව නිදහස් කොට ඇති අතර එම කුඩා දරුවන් තිදෙදෙනා හදා වඩා ගනිමින් ඔවුන්ගේ මව ව බන්ධනාගාරයෙන් මුදවා ගැනීමට දරන ලද ප්‍රයත්නය වෙනුවෙන් එම මිත්තනියව අගය කිරීමට සැලසුම් කොට තිබී ඇත. මෙම අගය කිරීමට ලක් කිරීමට සිටි බන්ධනාගාරගතවූවන්ගේ පවුල් වල සාමාජිකයන් අතර සිංහල ජාතිකයන්ට අමතරව දමිළ ජාතිකයන් ද සිටීම හේතුවෙන් මෙම උත්සවය පැවැත්වීමෙන් ජාතීන් අතර අසමඟිතාවයක් ඇති විය හැකි බවට මහනුවර පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා මෙම අධිකරණ නියෝගය ලබා ගෙන ඇත.

මෙහිදී පැන නඟින ගැටළුව වන්නේ බන්ධනාගාරගතවූවන්ගේ පවුල් වල සාමාජිකයන්ට තම සාමාජීය ජීවිතය තුළ තමන් විසින් සිදු කරනු ලබන යහපත් දෑ පිළිබඳව අගය කිරීමකට ලක් වීමට අයිතියක් නොමැතිද යන්නයි. දරුවෙකුට පාසලේ ක්‍රීඩා උත්සවයේ දී යම් ඉසව්වක් ජයග්‍රහනය කිරීම වෙනුවෙන් ලැබීමට තිබෙන ත්‍යාගයක් එම දරුවාගේ පවුලේ සාමාජිකයෙකු බන්ධනාගාරගතව තිබීම හේතුවෙන් විදුහල්පතිතුමා විසින් ප්‍රධානය නොකර සිටීමට මෙය වෙනස් වන්නේ කෙසේ දැයි සිතා ගත නොහැක. එසේ හෙයින් මෙවැනි සිදුවීම් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සිදු වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණක් වන අතර එම හේතුව නිසා සැකකරුවන්ගේ හා සිරකරුවන්ගේ පවුල් වල අයට මානුෂීයව සැලකිය යුතු බවට කතිකාවතක් ශ්‍රී ලංකාවේ ද ගොඩනැඟිය යුතුව තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

සැකකරුවකු අධිකරණයක් මඟින් වැරදිකරුවෙකු කරන තෙක් ඔහු වරදක් කර නොමැති නිර්දෝශී පුද්ගලයෙකු බවට නීතිය ඉදිරියේ පිළිගනු ලබයි. නමුත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින සැකකරුවන් ප්‍රමාණය අධිකරණ මඟින් දඩුවම් නියම කර ඇති සිරකරුවන් ප්‍රමාණයට ද වඩා වැඩිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින බහුතරයක්, නීතිය ඉදිරියේ අහිංසක නිර්දෝශී පුද්ගලයන් වේ. එමෙන්ම ලොව අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අපරාධ විසඳීමේ ක්‍රමවල ඇති නොයෙකුත් අඩුපාඩුකම් හේතුවෙන්, අහිංසක පුද්ගලයින් වැරදිකරුවන් සේ බන්ධනාගාරගතව දඩුවම් ලබන අවස්ථා ද ඕනෑ තරම් ඇත. ඒ අනුව ගත් කල අධිකරණ මඟින් දඩුවම් නියම කර බන්ධනාගාරගතව සිටින සියලූම සිරකරුවන් ද වරදකරුවන් නොවේ. ශ්‍රී ලංකාවේ අපරාධ නඩුවක් අසා නිම කිරීමට සාමාන්‍යයෙන් වසර 17ක පමණ කාලයක් ගත වේ. එලෙස නඩු විසඳීම ප්‍රමාද වීම, නිවැරදි, අහිංසක පුද්ගලයින් බන්ධනාගාර ගතව සිටින කාලය තවදුරටත් දීර්ඝ වීමට හේතු වේ.

නිවසේ ගෘහ මූලිකයා බන්ධනාගාරගත වීමත් සමඟම බොහෝ පවුල් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටෙන අතර, එදා වේල සොයා ගැනීමට සහ දරුවන් පාසල් යැවීමට නොවිඳිනා දුක් විඳීමට ඔවුන්ට සිදු වේ. එතෙක් මෙතෙක් සමීපව ඇසුරු කල අසල්වැසියන්ගේ හා නෑදෑ හිතමිතුරන්ගේ කොන් කිරීම් හමුවේ මනසින් නොවැටී දිවි ගෙවීමම ඔවුන්ට විශාල අභියෝගයකි. රැඳවියන්ට ඇප ලබා ගැනීමට තමන් සතු රන් භාණ්ඩ උකස් තබන අතරේ නඩු විභාගයන්ට නීතිඥ සහය ලබා ගැනීමට නිවසත්, ඉඩමත් උගසට තැබීමට සිදු වන පවුල් ද සිටී. මෙලෙස තම පවුලේ සාමාජිකයන් බන්ධනාගාරගත වීම හේතුවෙන් පීඩාවට පත් වන්නේ බොහෝ විට කාන්තා පාර්ශවය වන භාර්යාවන්, මව්වරුන් හා දියණියන් ය.

ශ්‍රී ලාංකීය සමාජය තුළ වරදක් ඇතිව හෝ නැතිව යම් අයෙකු බන්ධනාගාරගත වීම එම පවුල්වල බිරින්දෑවරුන් ද, කිසිවෙකුටත් වරදක් කර නැති මුත් වැරදිකරුවන් මෙන් සමාජයෙන් ගැරහුම් ලබන වියපත් දෙමාපියන් ද, අපමණ අඟහිඟකම් මධ්‍යයේ මිතුරන්ගේ අවලාද අසමින් කෙසේ හෝ අධ්‍යාපනයෙන් ජයග්‍රහණ ලබන දරුවන් ද සමාජයෙන් බැට කා වින්දිතභාවයට පත් වීමට හේතු වන අතර, ඔවුන්ගේ පවුල් වල සියලු දෙනා දෙසම මුලු මහත් සමාජයම වරදකරුවන් ලෙස බලන පරිසරයක් නිර්මාණය කරයි. එලෙස අපරාධයකට ගොදුරුවන්නා වින්දිතයෙකු වන්නේ යම් සේ ද, එම අපරාධය සම්බන්ධයෙන් බන්ධනාගාරගතවන්නාගේ පවුලේ සාමාජිකයන් ද එම අපරාධය හේතුවෙන් යම් ආකාරයක වින්දිතභාවයකට පත් වී අනාරක්ෂිත වන බවක් ශ්‍රී ලාංකීය සමාජය තුළ පෙනෙන්නට තිබේ. මෙලෙස සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද මනුෂ්‍යයන් ලෙස පිළිගැනීමක් සමාජයෙන් නොලැබෙන ප්‍රවණතාවයක් අප සමාජයේ දක්නට ඇති බැවින් ‘සිරකරුවන්ගේ පවුල් වල අය ද මනුෂ්‍යයෝය’ යනුවෙන් කතිකාවක් ගොඩනැඟීමේ ප්‍රභල අවශ්‍යතාවයක් අප ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතී.

සුරේන් පෙරේරා | Suren Perera