iMage: VIKALPA

පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු වන බව පැහැදිලිය.

බොහෝ විට මෙම නැගිටීම සඳහා ආරාධනය කරනු ලැබූ කණ්ඩායම “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය තුලින් සියලු අධිකාරි වාදයන් අදහස් කරන්නට ඇත. රටේ පවතින ආර්ථික අහේනිය නිසාවෙන් ඒ පිළිබඳව පීඩා ලබන ජනතාව එම සටන් පාඨය සමග ඉදිරියට පැමිණ ඇති අතර රට පුරාම විශාල උද්ඝෝෂණ රැල්ලක ආරම්භය සිදු වූයේ එය දිගින් දිගට ගමන් කරමිනි. ඇත්තෙන්ම එය සැබෑ ජනතා අරගලයක් බව පැහැදිලිය.

එම ජනතා අරගලය තව තවත් පැතිරෙමින් පවතී. එයට අලුතින් හැඩ වැඩ ද එක් වෙමින් පවතී. ජනතාව තමන් කාලාන්තරයක් තිස්සේ යටපත් කරගෙන සිටි අධිපතීන්ට එරෙහිව තමන් ද මනුෂ්‍යයන් බව පෙන්වමින් ක්‍රියාකිරීම් ආරම්භ කර ඇති බව පෙනේ. මෙම අරගලය මට පෙනෙන හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පුරවැසි එකතුවකි.

තැනක ප්‍රභූන් ලවා පාලමක් හෝ මඟක් විවෘත කිරීම වෙනුවට කුඩා දරුවකු ලවා එය විවෘත කරනු දකින්නට ඇත. කදුරට කම්කරු ජනතාවගේ කොටස් තම විරෝධය තුළ ම ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටිති. ඔවුන් තමන්ට ද තිබිය යුතු ඉඩම් අයිතිය පිළිබඳ, එනම් තමනුත් මේ රටේ පුරවැසියන් ය, යන්න අයිතියක් ලෙස පිළිගන්නා ලෙස සටන් පාඨ ඉදිරිපත් කරයි.

ක්‍රමයෙන් උතුරේ සහ නැගෙනහිර ජනයා ද අරගලයට එක් වෙමින් සිටිති. ඇත්ත වශයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනයා මර්දනය කිරීමේදී, රණවිරු සටන් පාඨ කියමින් සිංහ කොඩිය ලෙළවමින් ගමන් කළ ජනතාව සමගම, ඇත්ත වශයෙන්ම තමන්ව යටපත් කිරීමේ මෙවලමක් වූ සිංහ කොඩිය යටතේම තමන් යටපත් කිරීමට සහාය දුන් ජනතාව අද ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ නැගිටින මොහොතේ උතුරේ සහ නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයා පැරණි කෝන්තර ක්‍රමයෙන් අමතක කරමින් ඔවුන් සමග අත්වැල් අල්ලා ගනිමින් සිටී. බහුතර සිංහල බෞද්ධයාට මේ තත්ත්වය තම මනස පැහැදිලි කර ගැනීමට ඉඩ පාදනු ඇතැයි මම විශ්වාස කරමි.

ජනතා අරගලයක් මතු වී මුළු දිවයින ම එකම අරගල බිමක් බවට පත් වී ඇති මේ මොහොතේ බොහෝ දෙනෙකු, මා ද ඇතුළු, මෙම නැගිටීමෙන් උද්දාමයට පත්වී සිටින බව සැබෑය. නමුත් ඒ උද්දාමය පමණක් ම අරගලය සහ විශේෂයෙන්ම රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් නැති බව මගේ වැටහීමයි.

මෙම අරගලය තුළ ම මේ තියන උද්දාමය තුළ ම කළ යුතු වන්නේ මෙම අරගලකරුවන්, විවිධ කණ්ඩායම්, විවිධ ජන කණ්ඩායම්, විවිධ ආගමික කණ්ඩායම් ඇතුළු කළයුතු කාර්යක් ඇති බව මගේ වැටහීමය. එනම් වචනයේ සැබෑ අර්ථයෙන්ම බහුවාර්ගික, බහු සංස්කෘතික රටක් ලෙස එකට එක් වී, ශක්තිමත්ව මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවය.

මෙම මොහොතේ ඇතිවී ඇති තත්වය පිළිබඳව අප සිතා බලන්නේ නම් නිදහසින් පසු ශ්‍රී ලංකාව ගමන් කර ඇති මාර්ගය දෙස නැවත බැලීමට සිදුවේ. අප අත් විඳින ‘නිදහස’ ලැබෙන විට අපට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී රටාවන් වැඩි දියුණු කරනවා වෙනුවට නිදහස ලැබීම සමග ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරීම ආරම්භ කිරීමේ ප්‍රතිඵල ය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් අතර සමානාත්මතාවයක් ඇති කර ගැනීමට ,එම ජන කණ්ඩායම්වලටත් තමන්ගේ ආත්ම ගෞරවය ඇතිව ජීවත්වීමට හැකි මට්ටමක් ඇතිකර ගැනීමට ඇති ඉඩ අහුරා ලෑම නිසා එදා ඇරඹෙන ප්‍රශ්නය දිගින් දිගට ගමන් කළ ආකාරය අපි දන්නෙමු. රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විවිධාකාරයෙන් කප්පාදු කරන ලද අතර රට තුළ දීර්ඝ කාලීන යුද්ධයක් පවා ඇරඹෙන්නේ ජන කණ්ඩායම්හි ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොකිරීම නිසාය.

එදා අප්‍රේල් කැරැල්ල ඇති වන්නේත්, ‍88 89 භීෂණ සමය ඇතිවන්නේත්, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොකිරීම හේතුවෙනි. ජනවාර්ගික අයිතීන් සඳහා උතුරේ දීර්ඝ කාලීන යුද්ධයක් ඇතිවන අතර රටේ සම්පත් විශාල වශයෙන් විනාශ වී ගියේය. තවද විශාල වශයෙන් ආයුධ සහ හමුදා සඳහා වියදම් කිරීමේ විනාශකාරී සංස්කෘතියක් රට තුළ ඇති විය. එහි අවසාන ප්‍රතිඵලය නම් ආර්ථික වශයෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මිනිස් අයිතීන් යටපත් කිරීම සඳහා තව තවත් මුදල් වැය කරන ආණ්ඩු රට තුළ ඇති වීමයි.

රටෙහි නායකයින් ලෙස පත්වන දේශපාලන නායකයින් විසින් අයථා ආකාරයෙන් මුදල් හම්බ කිරීම සහ බලය අයථා ලෙස පාවිච්චි කිරීම ආදී දේ තුළින් රටෙහි ආර්ථිකය සුනු විසුනු කර දමනු ලැබේ. මහා පරිමාන වශයෙන් ලෝකයට ණය වෙමින් ගොඩනගන ගුවන් තොටුපළවල්, වරායවල් සහ මාර්ග පද්ධතියක් කිසිම වැඩකට නැති ඒවා බවට පත් වෙයි. කිසිම නිෂ්පාදනයක් නොවන යටිතල පහසුකම් පමණක් ලෙස ඇති කරන මෙම ව්‍යාපාර තුළින් ලැබෙන එකම ප්‍රතිලාභය එම ව්‍යාපාර පවත්වා ගන්නා දේශපාලකයින්ට කොමිස් ගැනීම් පමණි. එම ව්‍යාපෘති සහ දූෂණයයෙහි ප්‍රතිඵලය ලෙස රටෙහි ආර්ථිකය විශාල අර්බුදයකට ඇද වැටුණි.

අප හොඳින් දන්නා පරිදි වාර්ගික අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් නොදීම රටේ කෝටි ගණනින් සම්පත් විනාශ කළා පමණක් නොව, එතෙක් රට තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතීන් විනාශ කළේය. එමෙන්ම ලක්ෂ ගණනින් මිනිස් ජීවිත විනාශ කරන ලදී. යුද්ධය රට තුල ජන කණ්ඩායම් අතර බිය සහ අවිශ්වාසය පැතිරවීය. ජනවාර්ගික ප්‍රශ්නයට මේ වන තුරු දේශපාලන විසඳුම් දී නැත. එදා සිට අද වන තුරු ම එකම ආකාරයකින් රට තුළ එය දැවෙන ප්‍රශ්නයක් ලෙස ඉදිරියට ගමන් කරයි.

රටෙහි එක ජන කණ්ඩායමකට හෝ තවත් කොටසකට ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීම තුළ සිදු වන්නේ රට තුළ ම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස අද මෙම අර්බුදය ගොඩනැගී ඇති අතර සිංහ කොඩිය කර තබා ගෙන යන අයට සිතීමට දෙයක් ඇත. එය ජාතික කොඩිය වූවා වුවත් රටේ සියලුම ජනවර්ග වලට පිළිගත හැකි ආකාරයකින් එම කොඩිය මෙතෙක් භාවිතා වී නැති බව අප, විශේෂයෙන් ම සිංහලයින් මතක තබා ගත යුතුය.

එසේ නම් එම වැරැද්ද නිවැරදි කර ගැනීමටත් අපට සිදුවන්නේ එම ජන කණ්ඩායම් සමග මේ පිළිබඳ අවංකව සංවාදයක යෙදීමෙන් පමණි. එසේ නොමැතිව අද ලංකාවේ සියලු දෙනා සමානයි. ලංකාවේ අද ජාතිවාදයක් නැත. ආගම් භේදයක් නැත. අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් කියා සියල්ල ඉතා ලස්සන “හකුරු ආප්පයක්” යැයි පවසන වචන වලින් පමණක් ප්‍රයෝජනයක් වේ යැයි මම නොසිතමි. පවතින වාතාවරණය තුල අප ආස්වාදයෙන් එවැනි වචන පාවිච්ච ද කලක් තිස්සේ බෙදා වෙන් කල ජන කණ්ඩායම් ජීවත් වෙන රටක, වෙනස්කම් නිසා යටපත් කර ඇති ජන කණ්ඩායම් ජීවත්වන රටක, නැවත ඔවුන් එකම කණ්ඩායමක් ලෙස ගොඩ නැගීමට නම් පුළුල් සමාජ සංවාදයක් විශේෂයෙන්ම දේශපාලන සංවාදයක් රට තුළ සිදු විය යුතු බව මගේ වැටහීමයි.

එමනිසා මේ පවතින විප්ලවකාරී වාතාවරණය සෑම කෙනකුටම විවෘත වේදිකාවක් සැපයා දී තිබේ. එම විවෘත වේදිකාව මේ මොහොතේ සිහි බුද්ධියෙන් පාවිච්චි කළ හොත් අපට මෙතෙක් කල් මග හැරී ගිය විවිධ ප්‍රශ්න වටහා ගැනීමටත් ඒවා සාමූහිකව විසදා ගැනීමටත් ඉඩ සැලසෙනු ඇති බව මම කල්පනා කරමි.

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් නොදෙන රටක් තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොවේ. එමෙන්ම අතීතයෙහි අප කා අතිනුත් සිදුවූ වැරදි නිවැරදි කර ගත හැකි වන්නේ අප විවෘතව ඒවා දෙස බැලීමට හුරු වූවහොත් පමණි. ඒවා අවංකව පිළිගන්නේ නම් පමණි. එනිසා අප කළ යුතු වන්නේ අප එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් අපේ වේදනාව හා සමානවම අනෙකාගේ වේදනාව ගැනත් සිතන මට්ටමකට පත් වෙමින් විවෘතව එකිනෙකා දෙස බැලීමට හුරු වීමය.

පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට සැබෑ වෙනසක් අපට වුවමනා නම්, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයෙන් අප මිදී ඇත්නම්, මෙතෙක් සිංහල ආණ්ඩු විසින් කළ විනාශයන් අප පිටු දකින්නේ නම්, අඩුම තරමින් අප තුළ ජාතිවාදය නැතිව අප ඔක්කොම ශ්‍රී ලාංකිකයන් යයි සිතන්නේ නම්, දැන් අප ගොඩ නඟා ගැනීමට යන පරිවාස/අන්තර්වාර ආණ්ඩුවට අගමැතිවරයා ලෙස දෙමළ හෝ මුස්ලිම් මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත් කර ගන්නා ලෙස අපට ඉල්ලා සිටිය හැක. ඔබ එයට එකඟ වන්නේ නම් මාස හයක් ඇතුලත පවතින පරිවාස/අන්තර්වාර ආණ්ඩුවකින් අප ඉදිරිපත් කරන මූලික වෙනස්කම් ගණනාවක් සිදු කර පාර්ලිමේන්තු මැතිවරණය තුළින් බලයට පත්වන පක්ෂයකට හෝ හවුලකට රට භාරදීම සුදුසු යැයි මම යෝජනා කරමි. පරිවාස හෝ අන්තර්වාර ආණ්ඩුවේ අගමැති සිංහල මන්ත්‍රී කෙනකු වූවොත් අප නැවතත් එකම වරද කිරීමට ඉඩ ඇති බව මගේ වැටහීමයි.


රංජිත් හේනායකආරච්චි
| Ranjith Henayaka Arachchi