iMage/Video: VIKALPA


‘#MainaGoGama’ | 09May-11.30AM

ගාලුමුවදොර පිටිය ආසන්නයේ(#GotaGoGama) සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිසට අරලියගහ මන්දීරයේ සිට පැමිණි මැර පිරිසක් විසින් ඊයේ(09) පහර දුන්නේය. එම පහරදීමෙන් විශාල පිරිසක් තුවාළ ලැබූ අතර, විරෝධතා භූමියේ තිබූ දේපලවලට ද පැමිණි මැර පිරිස දැඩිලෙස හානි කළෝය. එසේම පැමිණි මැර පිරිස එම තත්ත්වය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද පහර දුන්නේය.

කෙසේ නමුත් ඊයේ(9) ඇති කළ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබද පරීක්ෂන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලීස් මූළස්ථානය උපුටා දක්වමින් අද(10) මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර, ‘මයිනාගේගම’ ට සහ ‘ගෝඨාගෝගමට’ පහර දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගත යුතු යැයි නීතිඥවරු පිරිසක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. නීතිඥ ගුණරත්න වන්නිනායක සදහන් කරන්නේ, හිටපු අගමැතිවරයා මේ ප්‍රහාරය සැළසුම් කළ බවත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පොළිස්පති, බස්නාහිර භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවයි. එබැවින් එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නීතිඥ ගුණරත්න වන්නිනායක සදහන් කරයි.

පොළිසියටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි

සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි ‘මයිනාගෝගම’ විරෝධතාකරුවන්ට, මහින්ද රාජප්කසට සහය පළකරමින් පැමිණි මැරයින් පළමුව පහර දුන්නේය. එවිට ද පොලීසිය බලා සිටියා මිසක් වෙන කිසිවක් කළේ නැත. මයිනාගෝගම විනාශකර, පහර දී, මැරයින් ‘ගොඨාගෝගම’ දක්වා ගමන් ගනිමින් සිටි මැර පිරිස ඉදිරියට පැමිණීම වළක්වන ලද්දේ ඉතාමත් ළදරු ආකාරයටය. පොළිස් නිළධාරීන් 10-15ක් අතර ප්‍රමාණයක් ‘ වළක්වන බවට පෙන්වීමට’ මාර්ගය හරස් කළත් මැරයින් එම ඉතා කුඩා ‘හියුමන් බැරියර්’ බිද දමා ඉදිරියෙට ඇදුනේය. පසුව පැමණි වතුර බවුසර ද වතුර නොගසා, දිගින් දිගටම පසුපසට ගමන් ගත්තේය. ගොල්ෆේස් හෝටලය තෙක් කිසිදු ආකාරයක් ජල විදිනයන් ද භාවිතා නොකිරීමට පොලීසිය පරිස්සම් විය. පසුව ගෝල්ෆේස් හෝටල් හංදිය පසුකරමින් පැමිණි මැර පිරිස ට විටින් විට හියුමන් බැරියර් දමමින්, පොලීසිය මැරයින්ට ඉදිරියෙන් දිව්වේය. එම කිලෝමීටර කිහිපයම පොළිසිය ගොඨාගෝගම දෙසට දිව්වේය. ජල විදින යන්ත්‍ර ද රිවස් කළේය. කිසිදු අකාරයක කදුලු ගැස් ද භාවිතා කලේ නැත. මැරයින් පොළිසිය පසුපසින් ගමන් පැමිණියේය. අවසානයේ මැරයින් ‘ගෝඨාගෝගමට’ පැමිණ විරෝධතාකරුවන්ට පහර දී, දේපළ විනාශ කීරිම ආරම්භ කර පැය භාගයකටත් වඩා ගිය පසු ජල විදිනය බාවිතා කලේය. ඉන් පසු කදුලු ගැස් ප්‍රහාරයන් ආරම්භ කළේය. නමුත් මෙහි විශේෂයක් තිබිණි. කදුලුගෑස් 4ක් 5ක් ගෝඨාගෝගම ඇතුලට විදින විට, මැරයින් දෙසට එක් කදුලු ගෑස් ප්‍රහාරයක් පමණක් විදීමට ද පොලීසිය ක්‍රියා කලේය. එසේම මැර පිරිස ගෝටාගෝගමේ දේපළ විනාශ කරන විට පොලීසිය සහ විශේෂකාර්ය බලකාය ඒ දෙස බලා සිටියේය. සාමකාමී විරෝධතාකරුවයන්ට පහර දෙන විට පොලීසිය නොදැක්කේ සේ සිටියේය.

ගොඨාගෝගම හි දේපළ විනාශ කරමින්, සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී තුවාල සිදුකළ මැරයින්ට පොලීසිය විසින් පහසුකම් සපයන ලද්දේ එළෙසිනි.

එපමණක් ද නොව, මැරයින් සමග පැමිණි සනත් නිශාන්ත පාර්ලිමේන්තු මංත්‍රීවරයා සහ මැර පිරිස සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් නැමැත්තා එකට එක්ව ගමන් ගත්තේය. වෙනත් විදකට කියනවා නම්, නියෝජ්‍ය පොලිස්පතිවරයා මැරයින්ට ආරක්ෂාව සළසමින් ගමන් ගත් අයුරු දැකගැනීමට හැකිවිය.

iMage Credit; NewsWir


‘#GotaGoGama ‘

දැන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය කලින් සැලසුම් කරමින් කරන ලද්දක් බවත්, පොලීසිය මැරයින්ට සහය වූ බවත් සීඅයිඩී ය ලවා පරික්ෂණ කිරීමට දෙයක් නැත. අරලිය ගහ මන්දීරයේ සාකච්ඡා කරමින් පොලීසිය සහයෙන් පැමිණි මැරයින් ගෝඨාගෝගමට පහර දුන්නේය. දේපළ විනාශ කළේය. එබැවින් පොලීසියේම අංශයක්වන සීඅයිඩී යෙන්, පොළිසියේ පහසුකම් මැද, මැරයින් විසින් සිදුකළ එම ම්ලේච්ඡ ප්‍රහාරයට සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද?

එබැවින් ඉදිරියේදී පත්වන ප්‍රගතිශීලී ආණ්ඩුවක් විසින් පොළිසියේ එම හැසිරීම ගැන විදිමත් පරීක්ෂණයක් සිදුකර දේශබන්දු තෙන්නකෝන් ඇතුලු එම පොලිස් නිළධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. මක්නිසා යත් මැරයින්ගේ මැර ක්‍රියාවන්වලට වඩා, නිළ ඇදුමක් ඇදගෙන, සාමය ආරක්ෂා කිරීමට සිටිනවා යැයි කියන පොළිසිය, මැරයින් ආරක්ෂා කිරීමත්, මැරයින්ට මැර ක්‍රියාවේ යෙදීමට පහසුකම් සැලසීමත් ඉතාමත් බරපතල අපරාධයක් වන නිසාය.