iMage: Vikalpa File/ 09 May_ #MainaGoGama

සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාලු මුව දොර කේන්ද්‍ර කරගත් ජනතා නැගිටීමට නිර්දය ලෙස පහරදීම නිසා ඊට ප්‍රතිචාර ලෙස රට තුළ පැතුරුණු හිංසාකාරී ක්‍රියාවන්ට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ එවකට සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ත්‍රාඩ මැර කල්ලියයි. එය දැන් ලෝකයම දන්නා සත්‍යයකි. රාජපක්ෂ විසින් මුදා හරින ලද මැරයින්ගේ තුච්ච ප්‍රහාරයට පොලිසිය සහ අනෙකුත් බලධාරීන්ගේ සහාය ලැබුණු බවත් පැහැදිලිය. පොලු මුගුරු ගෙන, මරමු, කොටමු, ගිනි තියමු, කියමින් පැමිණ යකඩ පොලු යනාදියෙන්ද නිරායුධ තරුණ තරුණියන්ට පහර දෙනු පොලිසියේ නිලධාරීන් බලා සිටියේ සිනාසෙමිනි. එමගින් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ මේ සියල්ල සැලසුම්කර මෙහෙය වූ බවයි. යකඩ පොලු අතට දී රාජ්‍ය අනුග්‍රහය ඇතුව, නිරායුධ තරුණ තරුණියන්ට සහ සාමකාමීව තම විරෝධතාවයන් දක්වමින් සිටි පුරවැසි ජනයාට නිර්දය ලෙස පහර දෙන ආකාරයයි.

නමුත් රාජ්‍ය අනුග්‍රහය සහ පොලිසියේ සහ හමුදාවන්හි සහාය ලද මැර දේශපාලඥයින්ගේ නින්දිත පහරදීම් වලින් කුපිතවූ ජනයාගේ විරෝධය රට පුරාම එකවර මතු වූ ආකාරය දකින්නට ලැබුණි. එම විරෝධය ප්‍රති-හිංසාකාරීව දියත්ව ගෙවල් ගිනි තැබීම් සහ පහරදීම් වලින් පිරුණු රාත්‍රියක් බවට පත්විය. ඇඳිරි නීතිය නොසළකා ජන පිරිස් දේශපාලකයින්ට සහ ඔවුන්ගේ අනුගාමික මැරයින්ට එළව එළවා පහර දුන්හ. කොළඹට පිටින් ගෙන එන ලද මැරයින්ගේ වාහන කුඩු කරමින් ඒවා ගිනිබත් කරමින් මැරයන්ට පහර දී බේරේ වැවට තල්ලු කර දමනු ලැබීය. එම ජනතා විරෝධය ලෝකයටම මේ අයුරින් දකින්නට ලැබුනද වුවත් රටෙහි ජනාධිපතිවරයා වන ගෝඨාබය රාජපක්ෂ එය දැක තිබුණේ වෙනත් අයුරකින් බව ඔහුගේ ජාතිය ඇමතීමේ “උඹ බබා” කතාවෙන් පෙන්නුම් කරනු ලැබීය. 

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ගැඹුරුම අර්බුදයකට ගොස් ඇති මොහොතක රටේ තරුණ ජනයා පෙරට විත් මෙම ආණ්ඩුවට ගෙදර යන ලෙස පවසමින් ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය කියමින් ගාලු මුවදොර සහ අරලියගහ මැදුර ඉදිරිපිට කඳවුරු බැඳ ගත්තේය. පසුව රට පුරාම විවිධ නගරවල ජනයා සංවිධානය වී එම සටන් පාඨ වලින්ම සන්නද්ධ වෙමින් තම විරෝධය නොනවත්වා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ එක දිගට පවත්වා ගත්තේය. 

රට පුරා සිදු වූ එවැනි සියලුම උද්ඝෝෂණයන්හි පැවති ප්‍රධාන සටන් පාඨය වූයේ රාජපක්ෂලා බලයෙන් පහ කළයුතු බවයි. රාජපක්ෂලාගෙන් රට බේරාගත යුතු බවයි. රට පුරා එක හඬින් සෑම තැනකම ජනයා කියා සිටියේ ‘ගෝඨා ගෝ හෝම්’ ‘මහින්ද ගෝ හෝම්’ නැත්නම් රාජපක්ෂ රෙජීමය ඉල්ලා අස් විය යුතු බවයි.

එසේ කියමින් ඔවුන් ඉල්ලා හිටියේ මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කර අලුත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කළ යුතු බවයි. නිදහසින් පසු ලංකාවේ මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වූයේ දේශපාලන පක්ෂ  පාර්ලිමේන්තු තුළින් බලයට පැමිණිය ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් රට තුළ ක්‍රියාත්මක නොවීමයි. එහි දේශපාලන ක්‍රමවේදය වූයේ පක්ෂවල හිතවතුන් සහ ඔවුන්ගේ කල්ලි විසින් රටෙහි දේපල ඔවුන්ගේ පෞද්ගලික දේපලක් බවට පත් කරගනු ලැබීමය. රට තුළ ක්‍රියාත්මක වුයේ ගජ-මිතුරු දේශපාලනයකි.

සිංහල ජාතිකවාදය මුල්කරගත් ජාතිවාදී දේශපාලනය විසින් රටේ සුළුතර ජන කණ්ඩායම්වලට වෙනස්කම් කරමින් ඔවුන් රටෙහි තෙවන පන්තියේ හෝ සිවු වන පන්තියේ පුරවැසියන් බවට පත් කරන ලදී. එහි දී දෙමළ ජනයා තම අයිතීන් ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සහ සන්නද්ධ අයුරින් කළ සටන් විශාල ජන සංහාරයක් තුළින් ඒවා මැඩ පවත්වන ලදී. නමුත් එම ප්‍රශ්නවලට කිසි දිනක විසඳුම්ද ලබා දුන්නේ නැත. එදා නිදහස ලැබු අවස්ථාවේ තිබුණාටත් වඩා අන්ත තත්ත්වයකින් අද වන විට සුළු ජන කණ්ඩායම්වල අයිතීන් පැහැරගෙන ඇත. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් දිගින් දිගටම ඔවුන් සටන් කළා වුවත්, දකුණේ සිංහල ජාතිකවාදී දේශපාලනය සහ එම දේශපාලන උදව්කරුවන් එම දෙමළ ජනයාගේ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ අබමල් රේණුවක සිතිවිල්ලක් හෝ යොමු කළේ නැත. 

කෙසේ වුවත් දැන් රටෙහි තරුණ ජනයා සහ අද උද්ඝෝෂණවල යෙදී සිටින සියළුම ජනතාවන් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ලංකාවට අත්‍යාවශ්‍ය බවත් මේ තියන තත්ත්වයන් තුළ එම නව දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගිය යුතු බවත්ය. 

ජනාධිපතිවරයාට ගෙදර යන්නට කියා කියන විට ඔහුට එම භාෂාව නොතේරෙන ආකාරයකින් විවිධ හේතූන් දක්වමින් ඔහුගේ බබා උක්කුං දේශපාලනය නැවතත් අරඹා ඇති බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කරමින්, දැන් අලුතෙන් පටන් ගෙන ඇති දේශපාලන නාඩගම හොඳින් කියාපායි. 

අලුත් දේශපාලන සංස්කෘතියක් ඉල්ලන රටක පැරණි යල්පැන ගිය කූට උපායන් සහ ඩීල් මගින් ඔවුන්ගේ හිතවතුන්ගේ උවමනාවන් ඉටු කරන දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ අගමැති කරන මෙම නාඩගම ජනාධිපති‍වරයාගේ සහ රාජපක්ෂලාගේ ආරක්ෂාව සඳහා නටන උඹ බබා නාඩගමක් බව පැහැදිලිය. ඉතින් මෙවැනි තත්වයක් තුළින් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලකයින් කිසි දිනක තම වැරදි තේරුම් නොගන්නා, වැරදි හදා ගැනීමට කිසිම ආකාරයක උත්සාහයක් නොගන්නා දේශපාලන කුලකයක් බවයි.

අවුරුදු 30ක පමණ ජනවාර්ගික යුද්ධය තුළින් ලංකාවෙහි උතුරේත් දකුණේත් මිනිසුන් ලක්ෂ ගණනක් මිය ගිය අතර උතුරේ දෙමළ ජනයාගේ ගම් බිම් බෝම්බ සහ ගින්දරින්, තුවක්කුවෙන් විනාශ කරනු ලැබීය. එම යුද්ධ ඇති වීමට හේතු වූ හේතූන් එසේම පවතිද්දි රටේ යුද්ධයක් ඇති වුණේ කුමන හේතුවකින් ද කියාවත් නොසිතන දේශපාලනයක පශ්චාත් යුද්ධ වසර 13ක පමණ කාලයක් ලංකා පාර්ලිමේන්තු දේශපාලනය ක්‍රියාත්මක වූ ආකාරය පෙන්නුම් කරයි. මෙයින් පෙන්නුම් කරන්නේ රටේ ප්‍රශ්න ඇතිවීමට ඇති හේතු තේරුම් ගත නොහැකි හෝ සංවේදීභාවයක් නැති දේශපාලන අධිකාරයක් ලංකාවේ දේශපාලන බලය ලෙස පැවතුන බවයි.

දැන් පසුගිය මාස දෙකක පමණ කාලයක් රටෙහි ආහාර, මුදල් ආදී සියලුම දේ හිඟ වී ඇති අතර මිනිසුන්ට උයා-පිහා ගැනීමට අවශ්‍ය ගෑස් ටික පවා නැති, පිටරටකින් කිසිම බඩුවක් ගෙන්වා ගැනීමට ඩොලර් නැති, ඇත්තෙන්ම බංකොලොත් වූ රටක් බවට පත්වී ඇත. ඒ අතර එයට එරෙහිව මාස ගණනක් තිස්සේ ඇති වන මෙම උද්ඝෝෂණයන්ට හේතුවූ හේතුවලට විසඳුම් දෙනවා වෙනුවට මේ මුග්ධ දේශපාලඥයින් වූ, රාජපක්ෂ කල්ලිය කරනු ලැබුවේ තක්කඩි මැර කණ්ඩායම උසිගන්වා ඔවුන්ව සුරා පානයෙන් මත්කරවා, යකඩ පොලු අතට දී මෙම උද්ඝෝෂකයින්ට පහරදීමට මෙහෙයවීමයි.

නමුත් ජනතා විරෝධයේ තරම ඉන් පසු මුළු ලෝකෙටම දකින්නට ලැබුණු අතර තවමත් රටේ ජනාධිපතිවරයා පමණක් නොව දේශපාලනඥයින් විශාල ප්‍රමාණයක් මේ සිදුවීම්වලින් කිසිවක් ඉගෙන ගෙන නැති බව දැනට ඔවුන් නටන්නට හදන මෙම නාඩගම්වලින් පෙන්නුම් කරමින් තිබේ. ඇත්තෙන්ම ඔවුන් කිසි දිනක තමන්ගේ වැරදි වලින් ඉගෙන ගැනීමට සූදානමක් නැති තක්කඩි රැලක් බව ඔවුන් පෙන්නුම් කරමින් සිටී.

අනෙක් අතට ඇත්තෙන්ම මෙම තක්කඩින්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට එවා ඇත්තේ මේ රටේ ජනතාවයි. අද ඔවුන් තම ඡන්දයෙන් මෙවැනි හොරුන් මිනීමරුවන් සහ තක්කඩින් පාර්ලිමේන්තුවට එවීමේ ප්‍රතිඵල අත්විඳිමින් සිටින අතර ඊට එරෙහිව නැගුණු තරුණ ජනයා සමග ඔවුන් අද අත්වැල් ගනිමින් සිටී. පමා වී හෝ ජනතාව තමන් කළ වැරැද්ද තේරුම් ගෙන ඇති බව පෙන්නුම් කරමින් පවතී.

එනමුත් ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලනඥයින් මේ සිදුවීම් එකකින්වත් යමක් තේරුම් ගත් බවක් පෙන්නුම් කරන්නේ නැති බව මගේ වැටහීමයි. ඔවුන් සිතන්නේ තමන්ගේ වාසිය තමන්ගේ බලය සහ තම හිතවතුන්ගේ බලය වැනි ඉතා පටු කාරණාවන් පමනක් බව ඔවුන් අද ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලන බල කෙළියෙන් පෙන්නුම් කරයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවතත් වංගු ගසා පොඩි වෙට්ටුවක් දමා තමන් ගිය ගමන දිගටම කරගෙන යාමටයි. එතුලින් ඔවුන් කරමින් පවතින්නේ නැවත වරක් මේ රට ලේ ගංඟාවක ගිල්වීමට මං පෙත් විවර කිරීම බව පැහැදිලිය.

අද වන විට ගාලු මුව දොර ‘ගෝඨා ගෝ ගම’ සහ රටෙහි විවිධ නගරවල සහ රට පුරා ඇති වන උද්ඝෝෂණවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ ඔවුන්ගේ මෙම වෙට්ටු දේශපාලනයට අරගලයේ යෙදී සිටින ජනයා මට්ටු නොවන බවයි.

ඔවුන් අද වන විට ආරම්භයේ දී සිටියාට වඩා සංවිධානාත්මක බවකින් ක්‍රියාත්මක වෙමින් රට පුරාම සංවිධානය ජාල ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් වෘත්තීය සමිති සහ විවිධ සමාජ බලවේග සමඟ අත්වැල් බැඳ ගනිමින් පෙරට ගමන් කරමින් සිටී. ඔවුන් හිංසාවට එරෙහිව අවිහිංසාව ප්‍රචලිත කරන අතර ඉවසීමෙන් විවිධ කණ්ඩායම් අතර සහයෝගීතාවය සහ සහභාගිත්වය ගොඩනගා ගනිමින් තිබේ. මෙම සටන් පාඨ අතරට සුළුතර ජන කණ්ඩායම් වල අයිතීන් තහවුරු කරන බලය බෙදා හදා ගැනීමේ සටන් පාටත් දැන් දැන් එකතු වෙමින් පවතී.

ආරම්භයේ දී සිංහල ජනයාගේ පැත්තෙන් පමණක් ගොඩනැගුණු මෙම විරෝධයට අද කඳු කරයෙන්ද, උතුරු කරයෙන්ද, නැගෙනහිරන්ද, දෙමළ සහ මුස්ලිම් ජනයාගේ සහාය ලැබෙමින් පවතී. එදා එම ජන කණ්ඩායම් තම අරගල තම අයිතීන් වෙනුවෙන් කරන විට තම අරගලයට සිංහල ජනයාගේ  කොටසකින් පමණක් සහය ලැබුණා වුවත් අද ඔවුන් තමන්ගේත් සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් මෙම අරගලයේ කොටස්කරුවන් වෙමින් සිටිති.

ප්‍රශ්නය බැරෑරුම් බව අපි හැම දන්නෙමු. නමුත් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට අපට රටක් වශයෙන් රටේ ජනතාව වශයෙන් එකට එක් වූවොත් හැකි බව පැහැදිලිය. එනිසා දැන්වත් අප සියලු ජන කණ්ඩායම් සහ සියලු දේශපාලන බලවේග අතර සංවාදයක් ගොඩනගා ගෙන මෙම අගාධයෙන් ගොඩ ඒමට මාර්ගයක් සොයමු.

කූඨ දේශපාලන වෙට්ටු දැමීම් හඳුනා ගනිමු.

නිවට රාජ්‍ය මර්ධනයට එරෙහි වෙමු.

සියලු අයිතීන් දිනාගන්නා තුරු එක්ව ගමන් කරමු.

රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi