අද රට කරවන අය, ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති.

වෙනදා මෙන් කල් මැරීමට කාලයක් අපට නැති බව ඔබට මේ වන විට, ඔබ මුහුණ දෙන ප්‍රශ්න විසින්ම සක්සුදක් සේ පැහැදිලි කර ඇති බව මගේ වැටහීමයි. රටපුරා පෝලිම්වල තෙල්, ගෑස් ඉල්ලන ජනතාවත් ඒ වාගේම අහස උසට නැගි බඩු මිලත් භාණ්ඩ හිඟයත්, බෙහෙත් හිඟයත්, රට විශාල අගාධයකට ඇද දමා ඇත.

සහල් මිල අහස උසට නැග ඇති අතර, දරුවනට කිරිපිටි නැතිකමින් ඔවුන්ට කැඳ වතුර දෙන තත්ත්වයකටවත් හැකියාවක් දෙමව්පියන්ට නැති වීම තුළ ඊළඟ පරම්පරාව මන්දපෝෂණයෙන් පෙළෙන පරම්පරාවක් බවට පත්වෙමින් පවතී. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන විට රටෙහි විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයට ගොදුරු වන අතර, නිදන්ගත රෝගවලින් පෙළෙමින් සිටි ජනයා ඖෂධ හිඟය නිසා මරණයට ගොදුරු වෙමින් වෙති. ප්‍රාදේශීය රෝහල් එකිනෙක වැසී යන අතර දොස්තරලා සහ හෙදියන් තෙල් පෝලිම්වල රස්තියාදු වන බව දකින්නට ලැබේ.

රටෙහි දරුවන්ගේ අධ්‍යාපනය නන්නත්තාර වී ඇත. අද පාසල් නොයන දරුවා හෙට රටට බරක් වන පුද්ගලයකු බවට පත්වන බව, ඒ වාගේම ඔවුන්ගේ හැකියාවන් වලින් රටට සේවයක් කිරීමට තිබෙන අවස්ථාව නැති කර ගන්නා තත්වයකට පත් කරන බවත් අප දන්නෙමු. නමුත් අද මේ ආණ්ඩුව කරන්නේ දරුවන්ව අධ්‍යාපනයෙන් විතැන් කිරීමයි. මේ තත්ත්වය වඩාත් උඝ්‍රව දැනෙන්නේ දුප්පත් සහ ග්‍රාමීය පවුල්වල දරුවන්ට වන අතර යහමින් මුදල් හදල් ඇති අයගේ දරුවන්ට ඔවුන් එක්කෝ වෙනත් රටකට යවා එසේ නැත්නම් පුද්ගලික ගුරුවරුන්ට පඩි ගෙවා උගන්වනු ලබයි.

ඉදිරි අනාගතයේ දී සිදුවන්නට යන්නේ මේ තුලින් අලුත් සමාජ බෙදීමක් රට තුළ ගොඩනැගී, ඇති-හැකි අයට සියල්ල හිමි වන මට්ටමකට රට පත්වීමයි. ඉදිරි අනාගතයේදී අද නැති-බැරි මිනිසුන්ට ඔවුන්ගේ දරුවන්ට සිදුවන්නේ අනෙකාගේ යටහත් කීකරු බැලමෙහෙවර කරන්නකු බවට පත්වෙන තත්ත්වයකට ඒම බව පැහැදිලිය.

රට මෙතනින් එහාට ගෙන යාමට නම් ඇත්ත වශයෙන්ම දැන් රටවැසියා මේ පිළිබඳව සිතා-බලා කතා කරන පුරවැසියෙකුගේ තත්ත්වයට පත්විය යුතුය.

 රට තුළ තරුණ ජනයා උද්ඝෝෂණය කරමින් ආරම්භ කර ඇත්තේ මෙන්න මේ පුරවැසියෙකු කළ යුතු කාර්යය ආරම්භ කිරීමයි. දැන් කළ යුත්තේ ඔවුන් සමග එකට එක්වී මේ කාලකන්නි දුර්දාන්ත ආණ්ඩුවෙන් රට මුදවා ගැනීමයි.

වෙනසකට විශාලම බාධාවක් වන්නේ රටෙහි පවතින ඒකාධිපති ස්වරූපයක් දරන ව්‍යවස්ථාවයි. අප කළ යුතු වන්නේ සියළුම රට වැසියන් එකට එක්වී උද්ඝෝෂණ කිරීම තුළින් සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ එකට ඉඳගෙන සර්ව පාක්ෂික රජයක් ගොඩනගා ගැනීමටත් ඒ තුළින් ප්‍රශ්න විසඳාගැනීමට එකට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමටත් බල කිරීමයි.

එසේ බල කිරීමේ දී සර්වපාක්ෂික රජයකට අවශ්‍ය ආකාරයට නීති සකස් කර ගැනීමට තුනෙන් දෙකේ බලයට සහයෝගය නොදෙන කිසිම මන්ත්‍රීවරයෙකුට ඊළඟ වතාවට එකම ඡන්දයක්වත් නොදෙන බවත්, ඔවුන්ට ගම්වලට ඇවිත් නැවත මිනිසුන් ඉදිරියට එන්නට ඉඩ නොදෙන බවත් අනතුරු හැඟවීමක් ලෙස පැවසීම අද කළ යුතු දෙයකි.

අපට මෙම ගරා වැටීම නතර කර ගැනීමට අවශ්‍ය නම් කල යුත්තේ යටත් වැසියන් සේ ජීවත් වෙනවා වෙනුවට පුරවැසියන් ලෙස එක්වීමයි. තමන්ගේ අයිතිය වන ජනතා පරමාධිපත්‍ය පිළිබඳව ඔබ කතා නොකළා වුවත්, කතා කරන අය සමග එකට එක්වන්න. අද රටේ තරුණ ජනයා මේ පිළිබඳ ව කතා කරමින් සිටී. බුද්ධිමත් පුරවැසියන් රට තුළ මේ ප්‍රශ්න ගැන කතා කරමින් සිටී. ඔවුන් අද වන විට සුළුතර විය හැක. නමුත් ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ පමණක් ප්‍රශ්නය නොව මුළු රටේම ජනතාවගේ ප්‍රශ්නයි.

ඒ නිසා යටත් වැසියකු හෝ බත් බැලයකු වී නොසිට පුරවැසියකු ලෙස නිදහස් මිනිසෙකු ලෙස තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජීවත්වීමේ අයිතිය උදෙසා ඉදිරිපත් වීම අද මෙරට පුරවැසි ජනයාගේ යුතුකමය.

මෙම ආණ්ඩුවට එරෙහිව නැගී සිටින්න. බලාසිටීමට කාලයක් ඉතිරිවී නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ආර්ථික කඩා වැටීම, ද්‍රරිද්‍රතාවය සහ කුසගින්න අපේ ගෙයි දොරකඩට පැමිණ දැන් එලි පත්තෙන් ගෙට ඇතුළු වී හමාර නිසාය. තව කල් මැරීමට අපට කාලයක් නැති බව රට පුරා තියෙන පෝලිම් වලිනුත් වෙළඳපොලවල්වල හිස් රාක්ක වලිනුත් වෙළඳ පොලක තිබෙන සීමිත බඩු ප්‍රමාණයහි මිල ඔබට ලඟා කරගත නොහැකි තැනක තිබීම තුළිනුත් ඔබට පැහැදිලිව හඬ නගා පවසන්නේ දැන් ඔබට ඉතිරි වී ඇති කාලයක් නොමැති බවත්, වහාම ඔබේ අයිතිය සඳහා, ඔබත්.., ”ගෝටා ගෙදර පල” විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන්ගේ පැත්ත ගත යුතු බවයි. හෙට ප්‍රමාද වැඩිය.

රටෙහි ජනතාව එකට එක්වී එක කොටසක් ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින මෙම ජනතා නියෝජිතයන්ට බලකර කියා සිටිය යුත්තේ පාර්ලිමේන්තුව තුල සිටිනවුන් එකට එක්වී මේ මොහොතේ රට මුහුණ දී ඇති තත්වයෙන් රට ගොඩ ගැනීමට සාමූහික විසඳුම් සෙවිය යුතු බවයි. එනම් පක්ෂ, පාට, වර්ග භේදයකින් තොරව එකට එක්වී සෑම ජන කණ්ඩායමක්ම සෑම පක්ෂයක්ම නියෝජනය වන ආකාරයේ ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ඔවුනට බල කිරීමයි. රටෙහි ප්‍රශ්න විසඳාගැනීමට සහ මෙතෙක් මෙවැනි අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට ඉවහල් වූ ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට ද, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්දයක් ලබාදෙන ලෙස ඔවුන්ට බල කිරීම තුළින් එය කරවීමයි. එසේ නැතිව අප බලා සිටිය හොත් සිදුවන්නේ පාර්ලිමේන්තුව තුළ සිටින ඔවුන් එදා ඔවුන් ක්‍රියාකල ආකාරයෙන්ම මෙදා උන් කරමින් සිටින ආකාරයෙන්ම හෙටත් ඔවුන් එය ම කරමින් කල් මැරීමයි. රට තවත් අගාධයෙන් අගාධයටම ගමන් කරවීමයි.

එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, පසුව වසරක් හෝ වසර එකහමාරක් ඇතුළත නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් අලුත් තත්ත්වයක් ඇති කරගත හැකි වන්නේ අද පවතින මේ ප්‍රශ්නයනට කෙටි විසඳුම් සොයා ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් ඇති කරගත්තොත් පමණි. එසේ නැත්නම් මෙරට දුගී ජන ස්ථරයන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමටයි. මන්දපෝෂණයෙන් පෙළෙන සමාජයක කොටස්කරුවන් වීමටයි. 

ලංකාවේ මොනවා හෝ කන්න තිබුනා වුවත් පෝෂදායි ආහාර හිඟ වීම තුළ මන්දපෝෂණයත් එතුළින් රෝග ඇතිවීමත් එම රෝගවලින් මියයෑමත් එකිනෙකට බැඳී ඇති දම්වැලකි.

අද ලංකාව මුහුණ දී ඇති මෙම දුර්දාන්ත තත්ත්වය ඇති කරනු ලැබුවේ ලංකාවේ මෙතෙක් දේශපාලන බලය හෙබවූ දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් විසිනි. ඒ වාගේම මෙයට රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද ලැබී ඇත.

මොනයම් තත්ත්වයක් තුළ හෝ ආණ්ඩුවක් කෙරෙහි රටෙහි ජනතාවගේ විශ්වාසය නැතිනම් අසීරු අවධියක රටේ ඇතිවන ප්‍රශ්නවලට එම රජය සමග එක්ව මුහුණ දීමට ජනතාව සූදානම් නැත. මේ ආණ්ඩුව හෝ දේශපාලන බලාධිකාරය පිළිබඳව රටෙහි සියයට අනුවක්වත් දෙනා අබමල් රේණුවක විශ්වාසයක් තබා නොමැත.

ඒ වාගේම රට තුළ මෙතෙක් ඇති වී ඇති මේ සියලුම ප්‍රශ්න රටෙහි දේශපාලන බල අධිකාරිය විසින් ඔවුන්ගේ මුග්ධ අත්තනෝමතික පුද්ගලික ලාභ සඳහා කල ක්‍රියාදාමයන් තුලින් ඇතිකළ ඒවා බව රටේ ජනතාව මෙන්ම ලෝකයේ ජනතාවත් පැහැදිලිවම දනිති. ඒ නිසාම ලොව කිසිම රටක් අද පවතින දේශපාලන අධිකාරයට සහාය දෙන මට්ටමක් හෝ විශ්වාස කරන මට්ටමක් ඇත්තේ නැත.

එනිසාම ජනතාව, රජය සමග එකට වැඩ කරන මට්ටමකට ගෙන ඒම කළ හැකි වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සහ එය විසින් ගන්නා තීරණ ජනතාව සමග විනිවිද භාවයක් ඇති ව සාකච්ඡා කරමින් ක්‍රියාත්මක කරනවානම් පමණි. එසේ වූවිට ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලීමටත් රටෙන් පිට වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහය ලබාගැනීමටත් හැකිවේ. අද පවතින තත්වය තුළ එවැනි සහයක් රට තුළ හෝ පිටින් ලංකාවට නොලැබෙන හෙයින් නුදුරු අනාගතය ලංකාව ඉතා අඳුරු යුගයකට ගමන් කරන බව පැහැදිලිය. 

අද මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය තුළ ඉදිරියේ රට ට සිදුවිය හැකි ව්‍යසනයන් විශාල ප්‍රමාණයකි. අප රටට හුරු නැති ඉඩම් අහිමි වීම තුළ තම දේපළ අහිමි වීම තුළ නගරවලට සංක්‍රමණය වී පැල්පත් අටවා ගැනීමක් මෙතෙක් ලංකාවේ සිදුවූවානම් සිදු වුණේ ඉතා කලාතුරකිනි. පිලිපීනයේ මැනිලා නගරය, පේරු රටේ ලීමා නගරය, කොලොම්බියාවේ බොගෝටා නගරය, කෙන්යාවේ නයිරෝබි නගරය වැනි නගර වසා පැතිර ඇති පැල්පත් අපරාධයන්හි තෝතැනිය. මෙසේ නගරවලට සංක්‍රමණය වෙන ග්‍රාමීය දුප්පතුන්ගේ වැඩි වීම තුළ ලංකාවෙහිද අලුත් පැල්පත් සංස්කෘතියක් නිර්මාණය වීමට බෙහෝ දුරට ඉඩ තිබේ.

නාගරික පැල්පත් යනු මොනවාදැයි ලාංකිකයින්ට එවිට හඳුනා ගැනීමට හැකි වනු ඇත. මංකොල්ලකෑම්, මිනීමැරුම්, හොරකම් කිරීම් සහ නොයෙකුත් අපරාධයන් ගෙන් පිරුණු නාගරික පැල්පත් සංස්කෘතියක් ඇතිවීම මෙහි ඊළඟ පියවර බව අමතක නොකරන්න. මා කරන්නේ නැති යක්ෂයකු මවා පෑමයයි කෙනෙකු කියනු ඇත, නමුත් මේ අද තත්වය දීගට පැවතුනොත් ඉහත තත්ත්වය ඇතිවීම වලක්වා ගත නොහැක.

ග්‍රාමීය වශයෙන් ගොවිතැන් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන කුඩා ගොවීන්ට සිදුවන්නේ තමන්ගේ ඉඩම් පවත්වා ගැනීමට නොහැකි හෙයින් ලොකු කොම්පැනිවලට සහ ව්‍යාපාරිකයින්ට මෙම ඉඩම් තුට්ටු දෙකට විකුණා ඉඩම්වල කම්කරුවන් බවට පත්වීම සහ නගරයට සංක්‍රමණය වන දුප්පතුන් බවට පත්වීමටයි.

තව ද අද පවතින තත්වය තුළ ඉදිරි කාලයේදී තමන්ගේ ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවන ණය කරුවන්ට සිදු වන්නේ තමන්ගේ ලීසින් කළ වාහනය හෝ ගෙයක් සාදා ගැනීමට ගත් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වීම තුළින් ඒවා අහිමිවීමයි. එවැනි පිරිස් ලක්ෂ ගණනක් සිටින බව අමතක නොකරන්න.

අද රටෙහි සියළුම රට වැසියන් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් මෙම දුර්දාන්ත රජය වෙනස් කිරීම සහ සර්ව පාක්ෂික රජයක් ගොඩ නැගීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බල කරමින් තම ශක්තිය වන තමන්ගේ පරමාධිපත්‍ය පාවිච්චි කළ යුතුය. ඒ නිසා අද අප නොපමාවම කල යුත්තේ සර්ව පාකෂික ආණ්ඩුවක් සකසා ගන්නා ලෙස පාර්ලිමේන්තුව තුල සිටින නියෝජිතයින්ට බල කිරීමයි. එසේ බල කිරීමට ජනතාවට අයිතියක් ඇත.

රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi