iMage: vikalpa/ 22July

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිව්රුම් දීමෙන් පසු, ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිටි නිරායුද විරෝධතාකරුවන්, ජනමාධ්‍යවේදීන්, නිතිඥයින් ඇතුලු මිනිසුන්ට සහ ගැහැණුන්ට 21දා අළුයම ආයුද සන්නද්ධ මුහුණු වසාගත් හමුදාව යොදවා සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැකීමට ලංකාවේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිය යුතු නොවේ. මක්නිසාද යත් එවැනි ම්ලේච්ඡ ක්‍රියාවක් හෙළා දැකිය නොහැක්කේ එවැනිම ම්ලේච්ඡ හදවත් ඇති සොම්බි ශරීරවලට පමණක් වන නිසාය. ඒත් සමගම එම ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් කිරීම අනිවාර්ය වුවත්, වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවෙන් එම ඉල්ලීම සිදුකිරීම, කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ ඇට සොයනවාට සමාන වන්නේ ය. නමුත් මේ ප්‍රහාරයට සම්බන්ධ, ප්‍රහාරයට අණදුන් සියලු දෙනා මතු දිනක හෝ අධිකරණයක් ඉදිරියට පමුණුවා දඩුවම් දිය යුතුමය.



රාජපක්ෂලාට සහය පළකරමින් පැමිණි මැරයන්ගේ දහවල – මැයි 9

අප්‍රේල් මස 9වනදා ආරම්භ කළ ගෝල්ෆේස් විරෝධතාවය සාමකාමීව සිදු වුවත්, මැයි 9 වනදා රාජපක්ෂ හිතවාදී මැරයින්, පොළීසියත් සමග, පොළීසියේ ආශිර්වාදයෙන් ගෝටාගෝගමට කඩා වැදී, විරෝධතාකරුවන්ට පහර දී එහි ඇති කුඩාවලට ගිණි තැබුවෝය. එම ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාළ ලැබූහ. නමුත් ඒ පහර දීම් සහ ගිණි තැබීම්වලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ රාජපක්ෂලා ඇතුලු මහමොළකරුවන් ට නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඉන්පසු සිදුවූයේ විශාල මහජන නැගීමේ බලපෑම් සගහත බව නිසා ජූලියේ මුළ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදුවීමයි.

ම්ලේඡයින්ගේ රාත්‍රිය – ජූලි 22

කෙසේ නමුත් එතෙක් විරෝධතාකරුවන් විසින් සිය පාලනයට ගෙන තිබූ සියලු රාජ්‍ය ගොඩනැගිළිවලින් ඉවත්වීමට ඔවුන් තීරණය කළේ පසුගිය සතියේය. එසේම ජනාධිපතිකාර්යාලයේ එළිමහනෙන් ද අද(22) වන විට විරෝධතාකරුවන් ඉවත් වීමට තීරණය කර තිබුණි. ඒසේ තිබියදී සන්නද්ධ හමුදාව 22 දා අළුයම ගෝටාගෝගමට කඩාවැදී එම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළේය. එසේම ගෝල්ෆේස් පෙදෙසට ඇතුළුවන සියලු මාර්ග අවහිර කරමින් පොලු, මුගුරු රැගෙන පැමිණි ආයුද සන්නද්ධ හමුදාවෝ එහි සිටි සියලුම දෙනාට පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 9දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ඔවුන්ගේ ඇතැමෙක් තවමත් බරපතල තත්ත්වයේ පසුවෙයි.

‘ම්ලේච්ඡ ලෙස පහරදුන් හමුදා ඇඳුම් ඇඳ සිටි පිරිස එම ප්‍රහාරයන් එල්ල කළේ, මගේ ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වා තමන් කරන්නේ ජනමාධ්‍ය වාර්තාකරණයක් බව දිගින් දිගටම ප්‍රකාශ කරද්දී’

මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් ප්‍රකාශ කරයි.

”ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මගේ හිසට සහ කොඳු ඇට පෙළට බැටන් පොලුවලින් පහර දුන්නා. මම බිම වැටුණු විට ඔවුන් මාව පාරේ ඇදගෙන ගියා.”

අද(22) පාන්දර ආරක්ෂක අංශ පහර දීමෙන් පසු, හමුදා සමාජිකයින්ගේ වධ හිංසාවට භාජන වූ තවත් ජනමාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර ඇත.

ම්ලේච්ඡ දහවල සහ ම්ලේච්ඡ රාත්‍රිය

මැයි 9 වනදා රාජපක්ෂලාට සහය පළ කරමින් පැමිණි මැරයින් පැමිණියේ දහවල්ය. ඔවුන්ට පොලීසියේ සහය හිමිව තිබිණි. ඉහළ පොලිස් නිළධාරියෙන් වූ දේශබන්ධු තෙන්කෝන් මැරයින් සමග ගමන් ගත්තේය. මයිනාගෝගම ගිණිතියමින්, ගෝටාගෝගම දක්වා පැමිණි මැරයින් අතර මග නවතා දෑමීමට විහිලු සහගත උත්සහයන් පොලීසිය විසින්ත ගත්ත ද නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. මැරයින් රිසි සේ පැමිණි ගෝටාගෝගමට පහර දී ගිණි තැබූහ. පසුව එම මහරදීමෙන් කෝපයට පත් ජනයා විසින් ලංකාවේ බොහෝ තැන්වල ප්‍රචණ්ඩත්වය වැපිරෙව්වේය.

නමුත්, අද(22) අළුයම ම්ලේච්ඡ රාත්‍රියේ ගෝටාගෝගම වටකලේ ‘රාජපක්ෂ ගුණ වයමින් පැමිණි මැරයින්’ වැනි අය නොව, නිළ ඇදුම් හැදගත් ආයුද සන්නද්ධ මුහුණු වසාගත් හමුදා සාමාජිකයන්ය. ඔවුන් පැමිණියේ රාත්‍රියේ(අළුයම) ය. පහර දුන්නේ නිරායුද විරෝධතාකරුවන් අතුලු පුරවැසියන්ටය.

රාජ්‍ය අනුග්‍රහයෙන් මැයි 9 රාජපක්ෂලා විසින් මැරයින් එව්වේය. දැන්, ජූලි 22, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අණින් මුහුණු වසාගත් සන්නද හමුදාව එව්වේය. ඔවුන්ට ගෝටාගෝගම ‘සුද්ද’ කිරීමට අණදුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවේ නම් වෙන කවුරුන්ද? දැන් මැයි සහ ජූලි ම්ලේඡත්වයේ සංඛේතයන් බවට ඉතිහාසයට එක්වනු ඇත. 83 ජූලි, කලු ජූලියක් කළේ ද වික්‍රමසිංහ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය බවට නොරහසකි. එසේම මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයන් දියත් කිරීමට ඉඩකඩ සළසා දුන් 2014 ජූනිය ද කළු වී හමාරය. දැන් මැයි, ජූනි සහ ජූලි ලංකා ඉතිහිසයේ කළු සංඛේතය. නමුත් මැයි අපරාධයන්ගේ වින්දිතයන්ට ද, 2014 ජූනියේ අපරාධයන්ගේ ගොදුරු බවට පත් වූ වින්දිතයන්ට ද යුක්තිය ඉටු වී නැ. ජූලිය ද එසේ ම ය.

නමුත් ඒ ඉතිහාසය නැවත වරක් මුණ නොගැසීම සදහා, පෙරමුණ ගෙන, මර්දනයට එරෙහිව පෙළගැසීම සියලු පුරවැසියන්ට අත්හළ නොහැකි වගකීමකි. ශිෂ්ට රටක් අප බලාපොරොත්තු වන්නේ නම් එය කළ යුතුමය. රාක්ෂයා පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිලි පොරවාගෙන නම්, රාක්ෂයාගේ ආගමනයත්, ක්‍රියාකාරීත්වයත් නවතා දැමීම පුරවැසි අයිතියකි.